Skip to content

පටුනට යන්න

යේසුස් ගැන ඇති විවිධ අදහස්!

යේසුස් ගැන ඇති විවිධ අදහස්!

යේසුස් ගැන ඇති විවිධ අදහස්!

“යේසුස් තමයි ඉතිහාසයේ සිටි විශිෂ්ටතම පුද්ගලයා.”—ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙක් වන එච්. ජී. වෙල්ස්.

“ඉතිහාසයේ සිටි වීරවරුන් අතරින් යේසුස් කැපී පෙනෙනවා.”—ස්විට්සර්ලන්තයේ උපත ලැබූ ඉතිහාසඥයෙක් මෙන්ම ආගම් පිළිබඳ අධ්‍යයනය කරන ෆිලිප් ෂැෆ්.

ඇත්තෙන්ම ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස හැඳින්විය හැක්කේ කාවද? මනුෂ්‍යයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ කෙසේද? කෙනෙකුගේ යුධ දක්ෂතාවලින්ද? කෙනෙක් සතු කායික ශක්තියෙන්ද? කෙනෙක් සතු බුද්ධිමය හැකියාවෙන්ද? එසේත් නැත්නම් කෙනෙකුගේ ආදර්ශය හා ඉගැන්වීම් සමාජයට කොතරම් හොඳ බලපෑමක් කර තිබෙනවාද යන කාරණයෙන්ද?

ඉතිහාසඥයන්, විද්‍යාඥයන්, විශාරදයන්, ලේඛකයන් සහ දේශපාලන නායකයන් ඇතුළු තවත් අය යේසුස් ක්‍රිස්තුස් ගැන පැවසූ අදහස් කිහිපයක් සලකා බලන්න.

“ගත වූ වසර දෙදහසේදී පමණක් නොව මුළු ඉතිහාසයේම සිටි බලවත්ම මිනිසා යේසුස් කියා පැවසීමට හොඳ හේතු තිබෙනවා.”—ඇමරිකාවේ බයිබල් විශාරදයෙක් මෙන්ම ලේඛකයෙක්ද වන රෙනෝල්ඩ්ස් ප්‍රයිස්.

“කිසිම වරදක් නොකළ යේසුස් තමන්ගේ සතුරන් ඇතුළු අන් සියලුදෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළා. එය පුදුමාකාර ක්‍රියාවක්.”—ඉන්දියාවේ දේශපාලනික නායකයෙක් වූ මොහන්දාස් කේ. ගාන්ධි.

“මම පොඩි කාලෙදී බයිබලයෙනුත් තල්මුඩය කියන යුදෙව් ආගමික පොතෙනුත් කාරණා ඉගෙනගත්තා. මම යුදෙව්වෙක් වුණත් යේසුස්ගේ ජීවිත කතාව ඉගෙනගද්දී මට පුදුම හිතුණා.”—විද්‍යාඥයෙක් වූ ඇල්බට් අයින්ස්ටයින්.

“දෙවිගේ පුත්‍රයා ලෙසත් මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙසත් එදා මෙදා තුර සිටි හොඳම පුද්ගලයා යේසුස් කියලයි මට හිතෙන්නේ. ඔහු කියපු කරපු හැම දෙයකින්ම අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්.”—පෝලන්තයේ උපත ලැබූ ලේඛකයෙක් වූ ෂොලෙම් ආෂ්.

“අවුරුදු 35ක් තිස්සේ මම කිසිම දෙයක් විශ්වාස කළේ නැහැ. ඒත් මීට අවුරුදු පහකට කලින් ඉඳලා මට යේසුස් කෙරෙහි විශ්වාසයක් ඇති වුණා. ඇත්තටම ඔහුගේ ඉගැන්වීම් නිසා මගේ ජීවිතය වෙනස් වුණා.”—රුසියාවේ නවකතාකරුවෙකු මෙන්ම දාර්ශනිකයෙකු වූ කවුන්ට් ලියෝ ටොල්ස්ටෝයි.

“යේසුස් තරම් මිනිසුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කළ කිසිවෙක් මිනිස් ඉතිහාසයේ සිට මේ දක්වා ජීවත් වී නැහැ. යේසුස්ගේ ඉගැන්වීම්වලින් මිනිසුන් අදටත් ප්‍රයෝජන ලබනවා.”—ඇමෙරිකාවේ ඉතිහාසඥයෙක් මෙන්ම ලේඛකයෙක් වන කෙනෙත් ස්කොට් ලටෝරෙටී.

“යේසුස්ගේ ජීවිත කතාව ප්‍රබන්ධයක් ලෙස සැලකිය යුතුද? සොක්‍රටීස් නම් දාර්ශනිකයා සිටි බවට තිබෙන්නේ සාක්ෂි සුළු ප්‍රමාණයක් වුණත් කිසිම කෙනෙක් ඔහු සිටි බව සැක කරන්නේ නැහැ. නමුත් යේසුස් සිටි බවට ඊට වඩා සාක්ෂි තිබියදීත් යේසුස් සිටියාද කියා සැක කළ යුතුද? කොහෙත්ම නැහැ.”—ප්‍රංශයේ දාර්ශනිකයෙක් වූ ෂාන්-ෂාක් රොසෝ.

මින් පැහැදිලි වන්නේ අප සැමට අනුගමනය කළ හැකි හොඳම ආදර්ශය යේසුස් ක්‍රිස්තුස් බවයි. යේසුස් විසින් තෝරාගත් ඔහුගේ අනුගාමිකයෙක් වූ පාවුල් අපට දිරිගැන්වූයේ යේසුස් දෙස “මහත් ඕනෑකමින් බලා” සිටින්න කියායි. (හෙබ්‍රෙව් 12:2; ක්‍රියා 9:3) එසේනම් ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් අපට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? යේසුස් මාර්ගයෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?