Skip to content

පටුනට යන්න

වැරදි සෙවීමට ගත් උත්සාහයක්

වැරදි සෙවීමට ගත් උත්සාහයක්

වැරදි සෙවීමට ගත් උත්සාහයක්

රුඩොල්ෆ් ස්ටුවර්ට් මාර්ෂල්

මගේ භාර්යාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණ එක ගැන මම සතුටු වුණේ නැහැ. ඒ නිසා මට ඕනෙ වුණා කොහොම හරි සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් පරස්පර විරෝධියි කියලා එයාට පෙන්වන්න. හැබැයි මට ඕනෙ වුණේ පූජකවරයෙක් ලවා ඒ දේ කරන්නයි. ඒ නිසා මම පූජකවරයෙකුව හමු වෙන්න ගියා. එතකොට ඒ පූජකවරයා මට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය පාවිච්චි කරන නිසා අපි ඒ අය එක්ක කතා කරන්නේ නැහැ.” ඒක ඇහුවම මට පුදුම හිතුණා. ඒ නිසා මම තීරණය කළා සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගෙන ඒ අයගේ ඉගැන්වීම් පරස්පර විරෝධියි කියලා මගේ බිරිඳට පෙන්වන්න. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 43යි.

මම අධ්‍යාපනය හැදෑරුවේ කතෝලික පාසැල්වල සහ විශ්වවිද්‍යාලවලයි. වර්ෂ 1969දී ආර්ථික විද්‍යාවට මට උපාධියක් ලැබුණා. ඒ වගේම විවිධ ආගම් ගැනත් දර්ශනවාදය ගැනත් මම ඉගෙනගත්තා. ඒ වුණත් ඒ කිසිම දෙයකින් මට බයිබලය ගැන දැනගන්න ලැබුණේ නැහැ.

අධ්‍යාපන කටයුතු හදාරන අතරවාරයේ මම පැට්‍රීෂියා මක්ජීන්ව විවාහ කරගත්තා. එයත් මං වගේම කතෝලිකයෙක්. ඒ වෙද්දී අපි දෙන්නම ආචාර්ය උපාධිය ලබාගෙන තිබුණා. වර්ෂ 1977දී අපිට පුතෙක් ලැබුණා. එයාගේ නම ස්ටුවට්. පුතා ඉපදුණාට පස්සේ අපි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පදිංචියට ගියා. එහෙදී මම රජයේ උසස් ආයතනයක සේවය කළා. ඒ ආයතනයෙන් සිද්ධ වුණේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රාන්තයේ ආර්ථිකයට බලපාන ආකාරය ගැන සොයා බැලීමයි. අවුරුදු 23ක් තිස්සේ මගේ රාජකාරිය වුණේ ඒකයි. මම ඒ රැකියාව කළේ හරිම සතුටින්. ඒ කාලයේදී අපි පවුලක් විදිහට හරිම සතුටින් කල් ගෙව්වා. විශේෂයෙන්ම මගේ පුතා ගැන මම හුඟක් සතුටු වුණා. ඒ වගේම මගේ ආදරණීය බිරිඳ මට ලොකු සහයෝගයක් දුන්නා. මමත් එයාට පුළුවන් උපරිමයෙන් උදව් කළා.

වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු

අපේ පුතාට වයස අවුරුදු දෙකේදී තමයි පැට්‍රීෂියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ. ඊට අවුරුදු තුනකට පස්සේ එයා සාක්ෂිකාරියක් ලෙස බව්තීස්ම වුණා. මම හිතුවේ සාක්ෂිකරුවන් නිවාඩු දින සහ රුධිරය ශරීරගත කිරීම සම්බන්ධයෙන් හරිම පටු අදහස් දරන කට්ටියක් කියලයි. නමුත් සමහර විෂයන්වලදී මම ඔවුන්ගේ අදහස් පිළිගත්තා. ඒත් 1987 එක් දිනක මම නොසිතූ විදිහට ප්‍රසිද්ධියේ සාක්ෂිකරුවන්ගේ පැත්තට කතා කළා. ඒක වුණේ කොහොමද කියලා දැන් මම කියන්නම්.

විශාල ව්‍යාපෘතියකට කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයට ඩොලර් බිලියන හයක අරමුදලක් අවශ්‍ය වුණා. මෙතරම් මුදලක් විශ්වවිද්‍යාලයට ලබා දීමෙන් ප්‍රාන්තයේ ආර්ථිකයට කිසිම සෙතක් සැලසෙන්නේ නැහැ කියලා මම පැහැදිලි කළා. ඒත් මේ ව්‍යාපෘතියෙන් කොතරම් ප්‍රයෝජන ලැබෙනවාද කියා පැහැදිලි කරන්න විශ්වවිද්‍යාලයේ වග කිව යුතු අය නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් දෙදෙනෙකුට ආරාධනා කර තිබුණා. එක් විද්‍යාඥයෙක් පැවසුවේ එම ව්‍යාපෘතියෙන් විශ්වයේ ආරම්භය ගැන පැන නඟින ප්‍රශ්නවලට පිළිතුරු දැනගත හැකි බවයි. එමෙන්ම අනික් විද්‍යාඥයාද පවසා සිටියේ එමගින් මිනිසුන්ගේ ආරම්භය ගැන දැනගන්න හැකි වෙයි කියලයි.

එතකොට ඒ සමිතියේ සභාපති මා දිහා හැරිලා මගෙන් මෙහෙම ඇහුවා.

“ඔයා හිතන්නේ මේ ප්‍රශ්න දෙකට උත්තර ලබාගන්න අපි ඩොලර් බිලියන හයක් ගෙවන එක පාඩුයි කියලද?”

එතකොට මම මෙහෙම කිව්වා. “ඒ ප්‍රශ්න දෙකට උත්තර හොයන එක වැදගත් තමයි. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ඇවිත් ලබා දෙන සඟරාවලත් ඒ ප්‍රශ්නවලට උත්තර තියෙනවා. මම හිතන්නේ ඩොලර් බිලියන හයක් වැය කරනවාට වඩා ශත 25කට ලබා දෙන සඟරාවලින් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කියලයි.”

මම කිව්ව දේට නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් දෙන්නත් අනික් හැමෝමත් හයියෙන් හිනා වුණා. හැබැයි කිසිම කෙනෙක් මම කියපු දේ ප්‍රතික්ෂේප කළේ නැහැ.

කාලයක් යද්දී අපේ ගෙදර තත්වය වෙනස් වුණා. පැට්‍රීෂියාට සාක්ෂිකරුවන්ගේ වැරදි පෙන්වන්න මම අවුරුදු හයක් තිස්සේ උත්සාහ කළත් එයින් කිසිම පලක් වුණේ නැහැ. සාක්ෂිකරුවන් එක්ක දේශනා සේවයේ හවුල් වෙන්න පැට්‍රීෂියා කැමති වුණා. ඒක දැනගත්තම මම කලකිරුණා. එයාගේ කාලය ඒ දේවලට යෙදෙව්වොත් විශ්වවිද්‍යාලයේ රාජකාරී වැඩකටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය යොදවන්න ලැබෙන්නේ නැහැ. මෙච්චර උගත් කෙනෙක් ඒ වගේ වැඩකට කාලය යොදවන එක නිෂ්ඵල දෙයක් කියලයි මට හිතුණේ. මම ඒ ගැන මොනවා කිව්වත් පැට්‍රීෂියා ඒ තීරණය වෙනස් කළේ නැහැ.

ඒ නිසයි මට වඩා බයිබලය ගැන දන්න පූජකවරයෙක් මාර්ගයෙන් සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් බොරු බව මම පැට්‍රීෂියාට ඔප්පු කරන්න උත්සාහ කළේ. සාක්ෂිකරුවන්ගේ එක ඉගැන්වීමක් වැරදියි කියලා ඔප්පු කළොත් අනික් ඉගැන්වීම් ගැනත් එයාට ඉබේම සැක මතු වෙයි කියලා මට හිතුණා. ඒත් මේ කතාවේ මුලින්ම සඳහන් කළ විදිහට මගේ බිරිඳත් එක්ක කතා කරන්න ඒ පූජකවරයා කැමති වුණේ නැහැ. ඒ වෙලාවේ තමයි මම තීරණය කළේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගෙන ඔවුන්ගේ ඉගැන්වීම් බොරු බව මගේ බිරිඳට පහදලා දෙනවා කියලා.

වැරදි සෙවීමේ ප්‍රතිඵලය

මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරද්දී මගේ හිතට වැඩියෙන්ම කාවැදුණේ බයිබලයේ සඳහන් වෙලා තිබුණු අනාවැකියි. මීට අවුරුදු ගාණකට කලින් මම ඉතිහාසය ගැන ඉගෙනගනිද්දී පුරාණ බැබිලෝනියේ වැටීම ගැන තොරතුරු අධ්‍යයනය කළා. ඒත් ඒ නගරය විනාශ වෙන්න අවුරුදු 200කට විතර කලින් ඒ විනාශය සිද්ධ වෙන්නේ කොහොමද කියලා බයිබලයේ සඳහන් වෙලා තිබුණු බව මම දැනගෙන හිටියේ නැහැ. ඒ නගරය විනාශ කරන්නේ සයිරස් කියන රජ කියලත්, ඒ නුවර වැටලීමට කලින් ඒ නුවරට ආරක්ෂාව දුන් යුප්‍රටීස් ගඟ වෙනතකට හරවනවා කියලත් බයිබලයේ සඳහන් කරලා තිබුණා. (යෙසායා 44:27–45:4) ඒ වගේම මම ඉතිහාස පාඩම්වලින් මහා ඇලෙක්සැන්ඩර් ගැනත් ඉගෙනගෙන තිබුණා. ඒත් ග්‍රීසියේ රජුගේ මරණයත් සමඟම එහි පාලනය ඔහුට වඩා බලයෙන් අඩු සෙන්පතීන් සතරදෙනෙකුට බෙදී යන බව බයිබලයේ සඳහන් වී තිබුණු බව මම දැනගෙන හිටියේ නැහැ. (දානියෙල් 8:21, 22) මේ තොරතුරු මම පෞද්ගලිකව අධ්‍යයනය කළ නිසා ඒවා ලියැවිලා තියෙන්නේ සිද්ධීන් ඉටු වීමට කලින් බව මට පැහැදිලි වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගද්දී බයිබලයේ තියෙන දේවල් සත්‍යයයි කියලා මට තහවුරු වුණා. මම මීට කලින් අවුරුදු ගාණක් තිස්සේ කතෝලික ආගම ගැන හදාරලා තිබුණත් මට ඒ සහතිකය ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මේ දැනුම මට ලැබුණට පස්සේ මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරලා ඔහුගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඕනේ කියලා මම තීරණය කළා. (යෙසායා 43:10) ඒ නිසා 1991දී මම බව්තීස්ම වුණා. ඊළඟ අවුරුද්දේ අපේ පුතත් බව්තීස්ම වුණා.

මගේ බිරිඳට වයස අවුරුදු 50 සම්පූර්ණ වුණාම විශ්වවිද්‍යාලයේ රැකියාවෙන් එයාට විශ්‍රාම ගන්න අවශ්‍ය සැලසුම් මම යෙදුවා. එයා ආශාවෙන් හිටියේ බයිබලයේ සඳහන් සත්‍යය අනික් අයට කියලා දෙන්න වැඩිපුර කාලයක් යොදවන්නයි. ඒ නිසා එයා හැම මාසෙකම පුරෝගාමියෙක් විදිහට ඒ වෙනුවෙන් පැය 83ක් විතර වැය කළා. වර්ෂ 1994 වෙද්දී එයා රැකියාවට යොදවපු කාලය අඩු කරගෙන තිබුණු නිසා සේවය වෙනුවෙන් වැඩිපුර කාලයක් යොදවන්න එයාට පුළුවන් වුණා. මමත් කැමැත්තෙන් හිටියා දේශනා සේවයේ වැඩිපුර හවුල් වෙන්න. ඒ වගේම ක්‍රිස්තියානි සභාවේ වැඩවලට උපරිමයෙන් සහය වෙමින් රාජ්‍ය ශාලා ඉදි කරන ප්‍රදේශවල ගණකාධිකාරීවරයෙක් ලෙස ස්වේච්ඡාවෙන් සේවය කරන්නත් මට ආශාවක් තිබුණා.

දවසක් මම වැඩ කරපු කාර්යාලයට අලුතින් කෙනෙක් වැඩට ආවා. ඇය කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්ව සිටියත් බයිබලය ගැන ඇති වෙලා තිබුණු සැකයන් නිසා ඇයට දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය අඩු වෙලා තිබුණා. හැබැයි ඒ මිත්‍රත්වය නැවත ඇති කරගන්න මම ඇයට උපකාර කළා. ඒ නිසා ඇය නැවතත් ඇගේ ගම් පළාතට ගිහින් දෙවිට වැඩිපුර සේවය කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිත් එක්ක ඇයට නැවතත් කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්න උදව් කරන්න මට පුළුවන් වීම ගැන මම හුඟක් සතුටු වුණා.

වර්ෂ 1995දී මම නැවත වතාවක් අධ්‍යාපන කටයුතු ගැන පැවැත්වූ විශේෂ රැස්වීමකට සහභාගි වුණා. ඒ කමිටුවේ සභාපති ප්‍රාන්ත නියෝජිතයාගෙන් ඇහුවා ඩොලර් බිලියන හයේ ව්‍යාපෘතියට මොකද වුණේ කියලා. එතකොට එයා කිව්වා ඒ ව්‍යාපෘතිය ටැක්සස් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයකට පැවරුවත් හේතු තුනක් නිසා ඒක සාර්ථක වුණේ නැහැ කියලා. පළමුවෙනි හේතුව තමයි ව්‍යාපෘතිය පටන්ගන්නත් කලින් ඩොලර් බිලියන හය බිලියන නවය දක්වා ඉහළ යෑම. දෙවෙනි හේතුව ඒ මුදල් 1991 ඉරාකයේ සිදු වූ යුද්ධය වෙනුවෙන් වැය කිරීමට සිදුවීම. තුන්වෙනි හේතුව තමයි ජීවිතයේ ප්‍රශ්නවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශත 25කට ලබා දෙන සඟරාවලින් පිළිතුරු ලබාගත හැකිවීම.

එතකොට හැමෝම හිනා වුණා. සමහරු මං දිහා බැලුවා. ඒ වෙලාවේ මම එතන හිටිය හැමෝටම කිව්වා “දැන් සාක්ෂිකරුවන් සඟරා බෙදාහරින්නේ අය කිරීමකින් තොරව නිසා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න එක තවත් පහසුයි” කියලා.

අර්ථවත් ජීවිතයක්

මගේ බිරිඳ රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ මම මගේ ඉදිරි අවුරුදු පහ ගැන සැලසුම් කළා. දේශනා සේවයට වැඩි කාලයක් යොදවන්න ඕනෙ නිසා මට අර්ධකාලීන රැකියාවක් කරන්න පුළුවන්ද කියලා මම හොයලා බැලුවා. නොහිතපු විදිහට මම කලින් රැකියාව කරපු රජයේ ආයතනය අර්ධකාලීන රැකියාවක් කරන්න මට අවස්ථාව දුන්නා. ඒ නිසා 1998දී මමත් පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා.

දවසක් මමයි මගේ බිරිඳයි දේශනා සේවයේ යන්න සූදානම් වෙද්දී නිව්යෝර්ක් නගරයේ බෘක්ලින්වල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒගොල්ලන් මගෙන් ඇහුවා බෘක්ලින්වල ව්‍යාපෘතියක වැඩ කරන්න කැමතිද කියලා. මම හරිම ආශාවෙන් කිව්වා ඔව් මම කැමතියි කියලා. ව්‍යාපෘතියේ වැඩට යන්න ඕනෙ නිසා මම රැකියාවෙන් අස් වුණා. ඊටපස්සේ අවුරුදු එකහමාරක් විතර ශාඛා කාර්යාලයේ සේවය කරන්න අපිට පුළුවන් වුණා. අපි කැලිෆෝනියාවේ ෆෙයාෆීල්ඩ්වල සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවක් හදන්න ස්වේච්ඡාවෙන් සහය වුණා. ඊටපස්සේ අපි අපේ නිවස විකුණලා පොඩි නිවසක පදිංචියට ගියා. මම වේලාසනින් රැකියාවෙන් අස් වුණ නිසා යෙහෝවා දෙවිට වැඩිපුර සේවයක් කරන්න මට අවස්ථාව ලැබුණා. මේ වෙද්දී නයිජීරියාවේ, දකුණු අප්‍රිකාවේ, කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල විවිධ ව්‍යාපෘතිවල අපි සේවය කරලා තියෙනවා.

ඇත්තෙන්ම මමත් මගේ බිරිඳත් අනික් මිනිසුන්ට බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් කියා දීමෙන් ලොකු ප්‍රීතියක් අත්දකිනවා. මම විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබා තිබුණත් වැඩියෙන්ම ප්‍රයෝජන ලැබෙන්නේ යෙහෝවා දෙවි ලබා දෙන දැනුමෙන් බව මට හොඳින්ම පැහැදිලි වෙලා තියෙනවා. මේ පොළොවේ තියෙන කිසිම අධ්‍යාපනයකට වඩා වෙනස්ව වඩා වැදගත් දේවල් ගැන නිවැරදි තොරතුරු ලැබෙන්නේ ඒ තුළින් පමණයි. අන් අයගේ හදවතට කාවදින ආකාරයෙන් බයිබලයේ සඳහන් සත්‍ය තොරතුරු කියා දීමට යෙහෝවා දෙවි තම සෙනඟව හොඳින් පුහුණු කර තිබෙනවා. ඒ නිසා තමයි මමත් දිගටම බයිබලයේ ඇති සත්‍ය තොරතුරු ඉගෙනගන්න පෙලඹුණේ. ඇත්තටම අපි ලබපු අධ්‍යාපනයෙන් මේ විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම ගැනත් අපි දැන් ගත කරන ජීවිතය ගැනත් මමයි මගේ බිරිඳයි හුඟක් සතුටු වෙනවා.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරද්දී මගේ හිතට වැඩියෙන්ම කාවැදුණේ බයිබලයේ සඳහන් වෙලා තිබුණු අනාවැකියි

[27වන පිටුවේ පින්තූරය]

මමයි පැට්‍රීෂියයි විවාහා වූ දවස

[29වන පිටුවේ පින්තූරය]

මමයි බිරිඳයි බයිබලයේ ඇති සත්‍ය තොරතුරු අනික් අයට කියා දෙමින්