Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

පොන්තියුස් පිලාත් සීසර්ට භය වීමට හේතුව කුමක්ද?

යේසුස්ව ඝාතනය කිරීමට යුදෙව් ආගමික නායකයන්ට අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ට එසේ කිරීමට බල කරමින් පැවසුවේ මෙයයි. “ඔබ මොහුව නිදහස් කර හැරියොත්, ඔබ සීසර්ගේ මිත්‍රයෙකු නොවේ.” (යොහන් 19:12) එය ඇසුණු විට පිලාත් භය වුණා. ඊට හේතුව කුමක්ද?

මෙහි “සීසර්” කියා හඳුන්වා තිබෙන්නේ එවකට රෝම පාලකයාව සිටි ටයිබීරියස්වයි. ඔහු නිතරම අන් අය දෙස සැකෙන් බැලූ කෙනෙක්. යම් කෙනෙක් ඔහුට එකඟ නැහැ කියා සිතුණොත් ඔහු එම පුද්ගලයාව ඝාතනය කළා. ඔහු ගැන එක් විශ්වකෝෂයක සඳහන් වූ දෙය සලකා බලන්න. “ටයිබීරියස් තමන් කැමති දේවල් කරගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම් කෙනෙක්. ඔහුගේ කාලයේ ජීවත් වූ ඉතිහාසඥයන් සඳහන් කරන්නේ ටයිබීරියස් විනෝදය වෙනුවෙන් ඉතාමත් පහත් මෙන්ම කෲර දේවල් කළ බවයි. ඔහුට යම් කෙනෙක්ව ඝාතනය කිරීමට අවශ්‍ය වුණා නම් ඒ තැනැත්තා කවුරු වුණත් ඔහු එම පුද්ගලයාව ඉතා කුරිරු ආකාරයට ඝාතනය කළා.”—The New Encyclopædia Britannica.

ටයිබීරියස් මොන වගේ කෙනෙක්ද කියා පිලාත් හොඳින්ම දැන සිටියා. ඒ නිසා ඔහුට ටයිබීරියස් කෙරෙහි භයක් තිබෙන්න ඇති. යුදෙව් ආගමික නායකයන්ගේ බල කිරීම මත ඔහු යේසුස්ව මරණයට පත් කිරීමට අවසර දුන්නේ ඒ හේතුව නිසා විය හැකියි.—යොහන් 19:13-16.

යේසුස් තම ගෝලයන්ගේ පාද සේදුවේ ඇයි?

පුරාණයේ සිටි ඊශ්‍රායෙල් ජනයා භාවිත කළ පාවහන් පැතළි අඩියකින් යුත් පටි සහිත ඒවා වුණා. ඒ නිසා දූවිලි හෝ මඩ තැවරී පාද කිලිටි වීම සාමාන්‍ය දෙයක්.

ඒ හේතුව නිසා කෙනෙක් නිවසකට ඇතුල් වීමට පෙර පාවහන් ගලවා දැම්මා. ඉන්පසු නිවසේ ස්වාමියා හෝ සේවකයෙක් පැමිණ අමුත්තාගේ පාද සේදුවා. එය අතීතයේ චාරිත්‍රයක්ව පැවතුණා. ඒ බව බයිබලයේ සඳහන් සිදුවීම්වලින්ද පැහැදිලි වෙනවා. උදාහරණයකට ආබ්‍රහම්ව හමු වීමට පැමිණි අමුත්තන්ට ආබ්‍රහම් පැවසූ දෙය සලකා බලන්න. “ඔබේ පාද සෝදන්න මම වතුර ටිකක් ගෙනත් දෙන්නම්. ඉන්පසු ගස යටට වී ටිකක් විවේක ගන්න. මම ඔබට කන්න රොටි ගෙනත් දෙන්නම්.”—උත්පත්ති 18:4, 5, නව ලොව පරිවර්තනය; 24:32; 1 සාමුවෙල් 25:41; ලූක් 7:37, 38, 44.

මෙම තොරතුරු සලකා බැලීමෙන් පාස්කු දින රාත්‍රියේදී යේසුස් තම ගෝලයන්ගේ පාද සේදුවේ ඇයි කියා අපට තේරුම්ගත හැකියි. ඒ අවස්ථාවේදී පාද සේදීමට ගේහිමියාවත් සේවකයෙක්වත් සිටියේ නැහැ. එමෙන්ම ගෝලයන්ගෙන් කිසිවෙකුත් එම කාර්යය කිරීමට ඉදිරිපත් වූයේද නැහැ. එමනිසා යේසුස් වතුර බේසමක් සහ තුවායක් ගෙන ගෝලයන්ගේ පාද සෝදා පිස දැමුවා. එසේ කිරීමෙන් නිහතමානිකම සහ ප්‍රේමය ගැන යේසුස් ඔවුන්ට වටිනා පාඩමක් ඉගැන්වූවා.—යොහන් 13:5-17.