Skip to content

පටුනට යන්න

දෙවිගේ අරමුණු ඉටු කිරීමට හවුල් වෙමින්

දෙවිගේ අරමුණු ඉටු කිරීමට හවුල් වෙමින්

දෙවිගේ අරමුණු ඉටු කිරීමට හවුල් වෙමින්

දිනක් යේසුස් දේශනා කරමින් සිටි විට සෙනඟ අතර සිටි එක් ස්ත්‍රියක් කෑගසා මෙසේ පැවසුවා. “ඔබව දැරූ කුසද ඔබට කිරි දුන් පියයුරුද සන්තෝෂවත්ය!” එවිට යේසුස් ඒ ස්ත්‍රියට පැවසුවේ මෙයයි. “එසේ නොව, දෙවිගේ වචනය අසා එය පවත්වන අය සන්තෝෂවත්ය!” (ලූක් 11:27, 28) සෑම කෙනෙක්ම තම මව වූ මරියාව දේවත්වයෙන් සලකනවා දකින්න යේසුස්ට අවශ්‍ය වුණා නම් ඔහු ඒ ස්ත්‍රියට එසේ පැවසුවේ ඇයි?

යේසුස් කෙදිනකවත් තම මවව දේවත්වයෙන් සැලකුවේ නැති අතර එසේ කරන්න කියා තම ගෝලයන්ට පැවසුවෙත් නැහැ. මරියා ගැන බොහෝදෙනා දරන අදහස් බයිබලයේ ඇති තොරතුරුවලට කොතරම් එකඟද කියා දැන් අපි සලකා බලමු.

“ස්ත්‍රීන් අතරින් ආශීර්වාද ලද්දී”

මරියාව හමු වීමට ගාබ්‍රියෙල් දේවදූතයා පැමිණි අවස්ථාවේදී ඔහු ඇයට මෙසේ පැවසුවා. “බොහෝ සෙයින් ප්‍රසාදය ලද තැනැත්තිය, ඔබට සුබ දවසක් වේවා! යෙහෝවා ඔබ සමඟය.” (ලූක් 1:28) එම වදන් මේ ආකාරයටත් පරිවර්තනය කර තිබෙනවා. “නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමි ඔබ කෙරෙහිය.” ගාබ්‍රියෙල් දේවදූතයාගේ පැමිණීමෙන් දින කිහිපයකට පසු එලිසබෙත්ද මරියාට මෙසේ පැවසුවා. “ඔබ ස්ත්‍රීන් අතරින් ආශීර්වාද ලද්දීය. ඔබේ කුසේ පලයද ආශීර්වාද ලද්දේය!” (ලූක් 1:42) ගාබ්‍රියෙල් දේවදූතයා සහ එලිසබෙත් මරියාට ගෞරවයෙන් කතා කළේ ගැලවුම්කරුව මෙලොවට බිහි කිරීමේ වරප්‍රසාදය ඇයට දී තිබූ නිසයි. නමුත් මරියාට එසේ ආමන්ත්‍රණය කර තිබීමෙන් අදහස් වෙන්නේ ඇයව දේවත්වයෙන් සැලකිය යුතු බවද? නැහැ.

බොහෝ කතෝලිකයන් එම වදන් පදනම් කරගෙන මරියාට යාච්ඤා කළත් එසේ කිරීම බයිබලයේ අනුමත කර නැහැ. යාච්ඤා කරන ආකාරය උගන්වන්න කියා යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් ඉල්ලූ විට යේසුස් පැහැදිලිව පැවසුවේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි” කියා දෙවිට යාච්ඤා කරන්න කියායි. ඔහු කිසිවිටක තම මව වූ මරියාට යාච්ඤා කරන්න කියා ඉගැන්වූයේ නැහැ.—මතෙව් 6:9.

පාලනයට හවුල් වෙමින්

බොහෝදෙනා මරියාව “ස්වර්ග රාජිනිය” ලෙසද හඳුන්වනවා. ඒ වුණත් බයිබලයේ කිසිම තැනක ඇයව එසේ අමතා නැහැ. නමුත් ඇය මේ වන විට ස්වර්ගයේ විශේෂ කාර්යභාරයක් කරමින් සිටිනවා කියා බයිබලයේ පෙන්නුම් කර තිබෙනවා. ඒ පැවරුම කුමක්ද?

තමා සමඟ යම් පිරිසක් ස්වර්ගයේ පාලකයන් ලෙස කටයුතු කරන්න යන බව යේසුස් තම ගෝලයන්ට පැවසුවා. (ලූක් 22:28-30) මේ පිරිසට අයත් වන්නේ යේසුස්ට විශ්වාසවන්තව සිටි අයයි. ඔවුන් ස්වර්ගයට ගොස් දෙවි ඉදිරියේ “පූජකයන්” ලෙස කටයුතු කරන අතර ‘පොළොව කෙරෙහි රජකම් කිරීමටද නියමිතයි.’ (එළිදරව් 5:10) ඒ පිරිසට යේසුස්ගේ මව වූ මරියාද ඇතුළත් බව බයිබලයේ පෙන්නුම් කරනවා. එසේ පවසන්නේ ඇයි?

යේසුස්ගේ මරණයෙන් පසුව එනම් “පෙන්තකොස්ත මංගල්‍ය දවස අතරතුරේදී” සිදු වූ දෙයින් එය පැහැදිලි වෙනවා. එදා මරියා සහ ඇගේ අනිකුත් දරුවන් ඇතුළු 120දෙනෙකුගෙන් යුත් පිරිසක් “නොකඩවා යාච්ඤා කරමින් සිටියා.” එම පිරිසට තවත් “ස්ත්‍රීන්ද” ඇතුළත් වුණා. (ක්‍රියා 1:12-15) ඔවුන් යාච්ඤා කරමින් සිටින විට දෙවිගේ බලය ඔවුන් සියලුදෙනාට ලැබුණු අතර ඉන්පසු ඔවුන් විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා.—ක්‍රියා 2:1-4.

මරියාටත් එහි සිටි වෙනත් ස්ත්‍රීන්ටත් දෙවිගේ බලය ලැබීමෙන් පැහැදිලි වන්නේ යේසුස් සමඟ ස්වර්ගයේ සිට පොළොව පාලනය කිරීමට දෙවි ඔවුන්ව තෝරාගත් බවයි. ඒ නිසා මරියා දැන් යේසුස් සමඟ ස්වර්ගයේ සිටිනවා කියා පැවසිය හැකියි. (රෝම 8:14-17) මරියා ඇතුළු යේසුස් සමඟ පාලනයට හවුල් වන අනික් අය දෙවිගේ අරමුණු ඉටු කිරීම සඳහා මොන තරම් උතුම් කාර්යයක් ඉටු කරනවාද කියා සලකා බලන්න.

මිනිසුන්ට ආශීර්වාද ගෙන දීම

යේසුස් සමඟ ස්වර්ගයේ පූජකයන්, විනිශ්චයකරුවන් හා රජවරුන් ලෙස සේවය කිරීමට යන සංඛ්‍යාව 1,44,000ක් බව බයිබලයේ පෙන්වා දෙනවා. (එළිදරව් 14:1, 4; 20:4, 6) ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට පොළොවේ සිටින යහපත් මිනිසුන්ට උපකාර කරනවා. ප්‍රතිඵලයක් ලෙස එම යහපත් මිනිසුන්ට මානසිකව හා ශාරීරිකව පරිපූර්ණ තත්වයක් ලබාගත හැකියි. (එළිදරව් 21:1-4) එම ප්‍රීතිමත් කාලය තුළ ජීවත් වීමට ලැබීම දෙවිට නමස්කාර කරන අයට මොන තරම් ප්‍රීතියක් ගෙන දෙයිද! *

අතීතයේදී මරියා යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් කළා. ඒ හා සමානව අදත් ඇය ස්වර්ගයේ සිටිමින් දෙවිගේ අරමුණු ඉටු කරනවා. මරියා තුළ තිබූ කීකරුකම, නිහතමානිකම සහ දේවභක්තිය අනුකරණය කිරීම කොතරම් වටිනවාද! එමෙන්ම පීඩා හමුවේ විඳදරාගැනීම සම්බන්ධයෙන්ද ඇය තබා ඇත්තේ මොන තරම් කදිම ආදර්ශයක්ද! ගැලවුම්කරුව මෙලොවට බිහි කිරීම නිසාත් ඇය දැන් ස්වර්ගයේ සිටිමින් යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීමට හවුල් වන නිසාත් මරියා අප සැමගේ ගෞරවය ලැබීමට වටිනවා.

මරියාගෙන් අපට ඉගෙනගත හැකි වැදගත්ම පාඩම නම් අනිකුත් ඇදහිලිවන්තයන් මෙන් ඇයත් යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමයි. ස්වර්ගයේ සිට පාලනයේ හවුල් වන අනිකුත් අය සමඟ එක් වී ඇය මහත් හඬින් මෙසේ පවසනවා. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාටත් [යෙහෝවා දෙවිටත්] බැටළු පැටවාටත් [යේසුස් ක්‍රිස්තුස්ටත්] සදාකාලයෙන් සදාකාලයට ආශීර්වාදයද ගෞරවයද මහිමයද පරාක්‍රමයද වේවා.”—එළිදරව් 5:13; 19:10.

[පාදසටහන]

^ 13 ඡේ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8වන පරිච්ඡේදය බලන්න.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මරියා තුළ තිබූ කීකරුකම, නිහතමානිකම සහ දේවභක්තිය අනුකරණය කිරීම කොතරම් වටිනවාද!