Skip to content

පටුනට යන්න

වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා

වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු

වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා

කැළඹුණු මුහුදෙන් නැඟෙන විශාල රළ පහර නැවේ ගැටෙන ආකාරය දුටු යෝනා බියට පත් වුණා. චණ්ඩමාරුතය නිසා ඒ මේ අත පැද්දෙන නැව බේරාගැනීමට කපිතාන්වරයා ඇතුළු සේවක පිරිස දැඩි වෙහෙසක් දරයි. තමා අතින් සිදු වූ වරදක් නිසා නැවේ සිටින සියලුදෙනාම අනතුරකට මුහුණ පා සිටීම ගැන යෝනාට මොන තරම් දුකක් ඇති වෙන්න ඇද්ද!

යෝනාට එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණේ ඇයි? ඊට හේතුව ඔහු අතින් වරදක් සිදු වී තිබීමයි. එම වරද කුමක්ද? එම වරද නිසා යෝනාට යෙහෝවා දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය නැති වී ගියාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා බැලීමෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. උදාහරණයකට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙන අය අතින් පවා වැරදි සිදු විය හැකි බවත් ඒවා නිවැරදි කරගත හැක්කේ කෙසේද කියාත් අපට එයින් දැනගත හැකි වෙනවා.

ගලීලයෙන් අනාගතවක්තෘවරයෙක්

බොහෝදෙනා සිතන්නේ යෝනා මුරණ්ඩු හා අකීකරු අනාගතවක්තෘවරයෙක් කියායි. නමුත් ඔහු තුළ යහපත් ගුණාංග තිබුණු බව අප අමතක නොකළ යුතුයි. යෝනාව අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමට තෝරාගත්තේ යෙහෝවා දෙවියි. ඔහු මුරණ්ඩු අකීකරු කෙනෙක් නම් එවැනි බැරෑරුම් පැවරුමක් භාර දීම සඳහා යෙහෝවා දෙවි ඔහුව තෝරාගනීවිද?

බයිබලයේ 2 රාජාවලිය 14:25හි යෝනාගේ පෞද්ගලික තොරතුරු බිඳක් හෙළි කර තිබෙනවා. එහි පෙන්නුම් කරන ආකාරයට යෝනා ගාත්-හේෆෙර් නගරයේ වැසියෙක්. එම නගරය පිහිටා තිබුණේ නාසරෙත් නුවරේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින්. * යෝනා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ කාලයේදී ඊශ්‍රායෙල් රාජ්‍ය පාලනය කළේ දෙවෙනි යෙරොබොවම් රජයි. ඒ වන විට අනාගතවක්තෘවරුන් වූ එලියා හා එලිෂා යන දෙදෙනාම මිය ගොස් සිටියා. එවැනි අනාගතවක්තෘවරුන්ව යොදාගෙන යෙහෝවා දෙවි ඊශ්‍රායෙලයෙන් බාල් නමස්කාරය තුරන් කරන්න උත්සාහ කළත් ඊශ්‍රායෙල්වරුන් නැවත නැවතත් බාල් නමස්කාරයේ යෙදුණා. එමෙන්ම ඊශ්‍රායෙල් රාජ්‍ය පාලනය කළ යෙරොබොවම් රජත් ‘යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළා.’ (2 රාජාවලිය 14:24) මෙවැනි තත්වයක් යටතේදී යෝනා අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කරන විට ඔහු බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න ඇති. නමුත් ඔහු විශ්වාසවන්තව තම පැවරුම ඉටු කළා.

දිනක් යෙහෝවා දෙවි යෝනාට විශේෂ පැවරුමක් භාර දුන්නා. එම පැවරුම යෝනාට මහත් අභියෝගයක් වුණා. ඔහුට ලැබුණු එම විශේෂ පැවරුම කුමක්ද?

යෝනාගේ පැවරුම

යෙහෝවා දෙවි යෝනාට දුන් පැවරුම මෙයයි. “නිනිවය නම් මහත් නුවරේ වැසියන්ගේ දුෂ්ටකම් මට පෙනිණ. දැන් එතැනට ගොස් මගේ විනිශ්චය ගැන එහි වැසියන්ට කියන්න.” (යෝනා 1:2, නව ලොව පරිවර්තනය, NW) එම පැවරුම යෝනාට දුෂ්කර එකක් වීමට හේතුව සලකා බලමු. නිනිවය පිහිටා තිබුණේ ගලීලයේ සිට නැඟෙනහිර දෙසට වෙන්න කිලෝමීටර් 800ක් පමණ දුරකින්. පයින් ගමන් කරන කෙනෙකුට ඒ සඳහා මාසයක් පමණ ගත වෙනවා. නමුත් දුර ප්‍රමාණය යෝනාට අභියෝගයක් වුණේ නැහැ. ඔහුට අභියෝගයක් වුණේ නිනිවයේ සිටි කෲර මිනිසුන්ට දෙවිගේ විනිශ්චය පණිවුඩය ප්‍රකාශ කිරීමයි. දෙවිට නමස්කාර කළ සෙනඟ පවා යෝනා ප්‍රකාශ කළ පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවා නම් දෙවිට නමස්කාර නොකළ නිනිවයේ වැසියන් ඔහුට හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියා යෝනාට සිතන්න පුළුවන්ද? “ලේ පිපාසිත නගරය” ලෙස හඳුන්වන නිනිවයට තනිවම යන අනාගතවක්තෘවරයෙකුට සාර්ථක විය හැකිද?—නාහුම් 3:1, 7NW.

දෙවිගෙන් ලැබුණු පැවරුම ගැන යෝනාට කෙසේ හැඟුණාද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් ඒ පැවරුම ඉටු කිරීමට යෝනා අදිමදි කළා. දෙවි ඔහුට නැඟෙනහිර දෙසින් පිහිටි නිනිවයට යන්න කියා පැවසූ විට ඔහු බටහිර දෙසට යන්න තීරණය කළේ ඒ නිසයි. යෝනා මුහුදුබඩ නගරයක් වූ යොප්පාවට ගොස් තර්ෂීෂ් බලා පිටත් වීමට නියමිත නැවකට ගොඩ වුණා. සමහර විශාරදයන් පවසන්නේ තර්ෂීෂ් පිහිටා තිබුණේ ස්පාඤ්ඤයේ කියායි. එසේනම් මේ ගමන කිලෝමීටර් 3,500ක් පමණ දුරයි. මෙවැනි ගමනකට අවුරුද්දක්වත් ගත වෙනවා. නිනිවයට ගොස් දෙවිගේ විනිශ්චය පණිවුඩය ප්‍රකාශ කරනවාට වඩා මෙවැනි දීර්ඝ ගමනක් යන එක හොඳයි කියා යෝනාට හැඟෙන්න ඇති.

මින් පෙනී යන්නේ යෝනා බියගුලු මිනිසෙක් බවද? එසේ සිතිය නොහැකියි. ඊට හේතුව ඔහු ඇතැම් අවස්ථාවලදී ඉතා නිර්භීත ලෙස ක්‍රියා කර තිබීමයි. නමුත් අපි සියලුදෙනා අතින් වැරදි සිදු වෙනවා හා සමානව යෝනා අතින්ද යම් අඩු පාඩුකම් සිදු වුණා.—ගීතාවලිය 51:5.

යම් අවස්ථාවලදී යෙහෝවා දෙවි කරන්න කියා පවසන දේවල් ඉටු කිරීම දුෂ්කරයි කියා අපට හැඟිය හැකියි. ක්‍රිස්තියානීන් හැටියට මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න අපට වගකීමක් තිබුණත් යම් අවස්ථාවලදී එය කිරීමට අපි භය වෙන්න පුළුවන්. (මතෙව් 24:14) නමුත් “දෙවිට සියල්ල කළ හැකි” බවට යේසුස් දුන් පොරොන්දුව අපි අමතක නොකරමු. (මාක් 10:27) එය අමතක වුණොත් දෙවිගෙන් ලැබෙන පැවරුම් ඉටු කිරීම අමාරු බව යෝනාට මෙන් අපටත් හැඟිය හැකියි. යෝනා නැවෙන් ගමන යන විට සිදු වුණේ කුමක්ද?

යෝනා කරදරයකට මුහුණ දෙයි

යෝනා නැවට ඇතුල් වී සුව පහසුවෙන් සිටිය හැකි තැනක් තිබෙනවාද කියා බලන්න ඇති. නැව කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදී යද්දී දෙවි දුන් පැවරුමෙන් තමා දැන් නිදහස් කියා යෝනාට සිතෙන්න ඇති.

නමුත් නොසිතූ ලෙස තත්වය වෙනස් වුණා. සැඩ කුණාටුවකට හසු වූ නැව ඒ මේ අත පැද්දෙන්න පටන්ගත්තා. රළ පහර එන්න එන්නම දරුණු වුණා. නිමක් කොනක් නොපෙනන සයුරක චණ්ඩමාරුතයකට හසු වීම බිය උපදවනසුලු අද්දැකීමක්. මේ චණ්ඩමාරුතය ඇති කළේ යෙහෝවා දෙවි බව යෝනා ඒ මොහොතේ දැනගෙන සිටියාද කියා අපිට හරියටම පවසන්න බැහැ. නැවේ සිටි අය නොයෙක් දෙවිවරුන්ගෙන් පිහිට පැතුවත් ඉන් ඵලක් නැති බව යෝනා දැක්කා. චණ්ඩමාරුතය කොතරම් දරුණුද කියනවා නම් ‘නැව ගිලෙන්න පටන්ගත්තා’ කියා යෝනා වාර්තා කරනවා. (යෝනා 1:4NW; ලෙවී කතාව 19:4) මෙවන් තත්වයක් උද්ගත වී තිබුණත් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලන්න යෝනාට ශක්තියක් තිබුණේ නැහැ. ඊට හේතුව යෝනා දෙවි දුන් පැවරුම නොසලකාහැර තිබීමයි.

කිසිවක් කර කියාගත නොහැකිව අසරණ වූ යෝනා නැවේ පහළම තට්ටුවට ගොස් නින්දට වැටුණා. * නමුත් නැවේ කපිතාන්වරයා යෝනාව දුටු විට ඔහුව අවදි කර අන් අය මෙන් ඔබත් ඔබේ දෙවිට කන්නලව් කර උපකාර ඉල්ලන්න කියා පැවසුවා. මේ චණ්ඩමාරුතය අසාමාන්‍ය එකක් බව නැවේ සිටි හැමදෙනාටම පැහැදිලි වී තිබුණා. මේ චණ්ඩමාරුතය ඇති වුණේ නැවේ සිටින කෙනෙක් අතින් සිදු වී ඇති වරදක් නිසාද කියා ඔවුන් කල්පනා කළා. ඒ නිසා දාදු දමා ඒ වරදකරුව සොයාගැනීමට නැවියන් තීරණය කළා. ඒ වෙලාවේ යෝනාගේ හදගැස්ම වැඩි වූ බවට කිසිම සැකයක් නැහැ. අවසානයේදී යෝනා වරදකරු බව ඔප්පු වුණා. එසේ වීමට යෙහෝවා දෙවි ඉඩහැරියා.—යෝනා 1:5-7.

තමා සියලු බලැති යෙහෝවා දෙවිගේ සේවකයෙකු බවත් දෙවිගෙන් ලැබුණු පැවරුමක් ඉටු නොකර පලා යන නිසා මෙම චණ්ඩමාරුතය ඇති වූ බවත් යෝනා නාවිකයන්ට පැවසුවා. එය ඇසීමෙන් බියට පත් වූ නාවිකයන් නැවත් එහි සිටින අයවත් බේරාගැනීමට තමන් කුමක් කළ යුතුද කියා යෝනාගෙන් ඇසුවා. එවිට යෝනා ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ මාව මුහුදට වීසි කරන්න. එවිට මුහුද නිශ්චල වෙයි.” (යෝනා 1:12NW) සමහරවිට එම ගැඹුරු මුහුදේ ගිලී මරණයට පත් වීම ගැන යෝනාට බියක් දැනෙන්න ඇති. නමුත් යෝනා එවැනි දෙයක් කිරීමට ඉදිරිපත් වුණේ තමන්ගේ වරදින් නැවේ සිටි අයගේ ජීවිත අනතුරට පත් වෙනවා දකින්න ඔහු අකමැති වූ නිසයි.

යෝනා බියගුලු මිනිසෙක් නම් එවැනි දෙයක් කිරීමට ඔහු පෙලඹෙයිද? ඉතා අසීරු තත්වයක් යටතේ ඔහු අන් අය වෙනුවෙන් තමාගේ ජීවිතය පරදුවේ තැබීමට තීරණය කිරීම ගැන යෙහෝවා දෙවිට කෙසේ හැඟෙන්න ඇද්ද! යෝනා මෙන් අපිත් අපේම අවශ්‍යතාවලට වඩා අන් අයගේ අවශ්‍යතාවලට මුල් තැන දී කටයුතු කිරීමට උත්සාහ කරමු. (යොහන් 13:34, 35) මානසිකව හා ශාරීරිකව පීඩා විඳින අයට උපකාර කරන්න අපි ඉදිරිපත් වන විට යෙහෝවා දෙවි ඒ ගැන කොතරම් සතුටු වෙනවා ඇද්ද!

යෝනාව මුහුදට දැමීමට නැවේ සිටි අය කැමති වුණේ නැහැ. ඒ නිසා කෙසේ හෝ නැව ගොඩබිම වෙත ගෙනයන්න ඔවුන් දැඩි උත්සාහයක් දැරුවා. නමුත් චණ්ඩමාරුතය දරුණු වූ නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. අවසානයේදී නාවිකයන් යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා යෝනාව මුහුදට හෙළුවා.—යෝනා 1:13-15.

යෝනාට කුමක් සිදු වෙයිද?

මුහුද මැද යෝනා පිහිනන්න දැඩි උත්සාහයක් දරන්න ඇති. නමුත් දරුණු රළ පහරට හසු වූ යෝනා කෙමෙන් කෙමෙන් ගිලෙන්න පටන්ගත්තා. ඒ වන විට ඔහුගේ සියලු බලාපොරොත්තු සුන් වී තිබෙන්න ඇති.

මේ බියකරු මොහොතේ තමාට නැවත කිසි දිනක යෙහෝවා දෙවිගේ ශුද්ධ මාලිගාව දැකගැනීමට අවස්ථාව නොලැබෙයි කියා යෝනාට සිතුණා. මුහුදේ පතුළටම කිඳා බසින විට මුහුදු පැළෑටි ඔහුගේ හිස මත එතුණු බව යෝනා සඳහන් කරනවා.—යෝනා 2:2-6.

නමුත් හදිසියේම යම් විශාල දෙයක් තමා වෙතට ඇදී එන බව යෝනාට දැනුණා. ඒත් එය කුමක්ද කියා ඔහුට හරියටම පැහැදිලි වුණේ නැහැ. ඇත්තෙන්ම එය කුමක් විය හැකිද? ඒ විශාල මත්ස්‍යයෙක්. ඌ එකවිටම කට ඇර යෝනාව ගිලගත්තා.

ඒ යෝනාගේ අවසානයද? යෝනාට නම් එසේ සිතෙන්න ඇති. නමුත් පුදුමයකට මෙන් ඔහුගේ ජීවිතයට කිසිම හානියක් සිදු වුණේ නැහැ. යෝනාව ගිලගන්න ඒ විශාල මත්ස්‍යයාව එව්වේ යෙහෝවා දෙවියි. * (යෝනා 1:17) ඒ බව යෝනා තේරුම්ගත් විට ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි මහත් ගරුබියක් ඇති වුණා.

මත්ස්‍යයාගේ බඩ තුළ සිටි යෝනා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එම යාච්ඤාව බයිබලයේ යෝනා පොතේ දෙවන පරිච්ඡේදයේ සඳහන් වී තිබෙනවා. එම යාච්ඤාවේ ඇති අදහස් බොහොමයක් ගීතාවලිය පොතේ ඇති අදහස්වලට සමානයි. ඉන් පෙනී යන්නේ යෝනාට ශුද්ධ ලියවිල්ල ගැන කොතරම් හොඳ අවබෝධයක් තිබුණාද යන්නයි. එම යාච්ඤාවේදී ඔහු දෙවිට මෙසේද පැවසුවා. “ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවි වන ඔබගෙන් පමණය. ඒ නිසා මම ඔබට පොරොන්දු වූ දේ එලෙසම ඉටු කරන්නෙමි. මම ස්තුති ප්‍රශංසා දෙමින් ඔබට පුද පූජා ඔප්පු කරන්නෙමි.” (යෝනා 2:9NW) යෙහෝවා දෙවි ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙවිට ස්තුති කරන්න යෝනා අමතක කළේ නැහැ.

යෙහෝවා දෙවිට ඕනෑම කෙනෙකුව, ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයකදී ගලවාගැනීමට හැකියාව තිබෙන බව යෝනා තේරුම්ගත්තා. ඔහු දින තුනක් පුරා “මත්ස්‍යයාගේ බඩේ” සිටියදී යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කළා. (යෝනා 1:17) එවැනි දෙයක් කළ හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. ඇත්තෙන්ම අපිත් මේ මොහොතේ ජීවත් වන්නේ යෙහෝවා දෙවි නිසා බව මතක තබාගැනීම වැදගත්. (දානියෙල් 5:23) ඒ ගැන අපි යෙහෝවා දෙවිට ස්තුතිවන්ත විය යුතු නැද්ද? ඒ නිසා අපි නිතරම යෙහෝවා දෙවිට කීකරුව සිටීමට උත්සාහ කළ යුතුයි.

දින තුනක් පුරා මත්ස්‍යයාගේ බඩේ සිටි යෝනාව අවසානයේදී මත්ස්‍යයා ‘ගොඩබිමට වැමෑරුවා.’ (යෝනා 2:10NW) ඒ නිසා ගොඩබිම සොයා පිහිනන්න යෝනාට අවශ්‍ය වුණේ නැහැ. නමුත් ගොඩබිමට පැමිණි පසු යා යුතු මාර්ගය යෝනාට සොයාගැනීමට සිදු වෙන්න ඇති. නමුත් වැඩි වෙලාවක් යෑමට පෙර ‘යෙහෝවා දෙවි දෙවෙනි වරටත් යෝනාට’ මෙසේ පැවසුවා. “නිනිවය නම් විශාල නුවරට ගොස් මම ඔබට පවසන දේ එහි වැසියන්ට කියන්න.” (යෝනා 3:1, 2NW) යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් කළ දේවල් අගය කර මේ වතාවේදී යෝනා දෙවිට කීකරු වෙයිද?

මේ වතාවේදී නම් යෝනා දෙවිට කීකරු වුණා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෝනා, යෙහෝවා දෙවි පැවසූ ලෙස නිනිවය නුවර බලා ගියේය.” (යෝනා 3:3NW) මේ සිද්ධියෙනුත් අපට වටිනා පාඩමක් ඉගෙනගත හැකියි. යෝනා අතින් වැරදි සිදු වුණත් ඔහු ඉක්මනින්ම ඒවා නිවැරදි කරගත්තා. යෝනා හා සමානව අපේ අතිනුත් වැරදි සිදු වන අවස්ථා තිබෙනවා. (රෝම 3:23) අපිත් යෝනා මෙන් අපේ වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන යෙහෝවා දෙවිට කීකරු වෙන්න උත්සාහ කරනවාද?

යෝනාගේ කීකරුකම නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා. උදාහරණයකට තමාව මුහුදට දැමීමෙන් පසු මුහුද නිශ්චල වූ බව යෝනාට දැනගන්න ලැබෙන්න ඇති. යෝනා නිර්භීතව තම ජීවිතය පරිත්‍යාග කළ නිසා නැවේ සිටි අයගේ ජීවිත බේරුණා. මේ සියල්ල දුටු නැවියන් ඔවුන් ඇදහූ දෙවිවරුන්ව අතහැර යෙහෝවා දෙවිට පූජා ඔප්පු කළා.—යෝනා 1:15, 16.

කාලයකට පසු තවත් දෙයක් සිදු වුණා. යේසුස් තමා මරණයේ සැතපී සිටීමට නියමිත දින තුන සමාන කළේ යෝනා විශාල මත්ස්‍යයාගේ බඩේ සිටි දවස් තුනටයි. (මතෙව් 12:38-40) අනාගතයේදී යෙහෝවා දෙවි යෝනාට නැවතත් මේ පොළොව මත ජීවත් වීමට අවස්ථාව සලසා දෙන කාලයේදී යේසුස් පැවසූ දේ ඔහුට දැනගන්න ලැබෙයි. (යොහන් 5:28, 29) ඒ ගැන ඔහු එදාට කොතරම් සතුටු වේවිද! ඔබත් යෝනා මෙන් ඔබේ වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන අන් අය ගැන සැලකිලිමත් වෙමින් දෙවිට කීකරුව සිටියොත් දෙවි ඔබටත් ආශීර්වාද කරන බව ස්ථිරයි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. යෝනා ගලීලයට අයත් නගරයක හැඳී වැඩුණු බව සැලකිල්ලට ගන්න. යේසුස් සම්බන්ධයෙන් පරිසිවරුන් කියා සිටියේ “ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙකුව නැඟිටුවනු ලබන්නේදැයි සොයා බලන්න” කියායි. (යොහන් 7:52) ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙක්නොපැමිණි බවත් ඉදිරියට නොපැමිණෙන බවත් පරිසිවරුන් අදහස් කරන්න ඇති බව බයිබල් පරිවර්තකයන් හා පර්යේෂකයන් පවසනවා. ඉන් පැහැදිලි වන්නේ පරිසිවරුන් ඉතිහාසයත් බයිබල් අනාවැකිත් සැලකිල්ලට ගෙන නැති බවයි.—යෙසායා 9:1, 2.

^ 17 ඡේ. යෝනා කොතරම් තද නින්දකට වැටුණාද කියනවා නම් එක් බයිබල් පරිවර්තනයක පෙන්නුම් කරන්නේ ඒ අවස්ථාවේ ඔහු නින්දෙන් ගෙරෙවූ බවයි. (Septuagint) සිදු වෙමින් තිබූ දේවල් ගැන යෝනා කිසිම තැකීමක් නොකළා කියා අපි නොසිතිය යුතුයි. ඊට හේතුව සාමාන්‍යයෙන් දැඩි මානසික පීඩනයක් යටතේදී කෙනෙක් නිදාගැනීමට නැඹුරු වීමයි. උදාහරණයකට ගෙත්සෙමන උයනේදී යේසුස් හා අවදිව සිටිය යුතුම මොහොතක පේතෘස්, යොහන් හා යාකොබ් නින්දට වැටුණා. ඊට හේතුව ඔවුන් “ශෝකයෙන්” සිටි නිසා විඩාබර වීමයි.—ලූක් 22:45.

^ 25 ඡේ. යෝනාව ගිල දැමුවේ කුමන වර්ගයේ මත්ස්‍යයෙක්ද කියා ස්ථිරව පවසන්න බැහැ. නමුත් මධ්‍යධරණී මුහුදේ මිනිසෙකුව ගිල දැමීමට හැකියාව ඇති විශාල මෝරුන් සිටින බව පැවසෙනවා. එමෙන්ම මීටර් 15ක් හෝ ඊට වඩා වැඩි දිග ප්‍රමාණයකින් යුත් තල්මස් මෝරුන්ද සාගරයේ ජීවත් වෙනවා.

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යෝනා පොත විශ්වාස කළ හැකිද?

▪ යෝනා පොතේ සඳහන් වී ඇති සිද්ධීන් ඇත්තෙන්ම සිදු වූ ඒවාද? අතීතයේ පටන් බොහෝදෙනා යෝනා පොත ගැන ප්‍රශ්න කරනවා. වර්තමානයේදී පවා යෝනා පොතේ ඇති විස්තර බොහෝදෙනා හඳුන්වන්නේ සුරංගනා කතා ලෙසයි. උදාහරණයකට එක් පූජකයෙක් යෝනා හා මත්ස්‍යයා සම්බන්ධ සිදුවීම විස්තර කළේ මේ ආකාරයටයි. යෝනා යොප්පාවට ගොස් “සයින් ඔෆ් ද වේල්” (තල්මහගේ ලකුණ) ලෙස නම් කර තිබූ නවාතැන්පළකට ගොස් නවාතැන් ගෙන තිබෙනවා. නමුත් එහි බිල්පත ගෙවීමට තරම් මුදලක් ඔහු ළඟ නොතිබුණු නිසා එහි අයිතිකරු ඔහුව නවාතැන්පළෙන් එළවා දැමුවා. එම පූජකයා පවසන ආකාරයට යෝනාව තල්මහ ගිලගෙන ඉන්පසු ඔහුව පිටතට වැමෑරුවේ ඒ ආකාරයටයි. ඇත්තෙන්ම විවේචකයන් උත්සාහ කරන්නේ යෝනා හා සම්බන්ධ සිදුවීම් බොරු කියා පෙන්නුම් කිරීමටයි.

යෝනා පොත මෙතරම් විවේචනයට ලක් වී තිබෙන්නේ ඇයි? ඊට හේතුව එහි ආශ්චර්යවත් සිදුවීම් සඳහන් වී තිබීමයි. බොහෝ විවේචකයන් ආශ්චර්යවත් සිදුවීම් විශ්වාස නොකරන නිසා ඔවුන් මෙම පොත විශ්වාස කරන්නේ නැහැ. ඔබත් එවැනි කෙනෙක්ද? එසේනම් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘“පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය” කියා බයිබලයේ සඳහන් මුල්ම වගන්තිය මම විශ්වාස කරනවාද?’ (උත්පත්ති 1:1, නව ලොව පරිවර්තනය) ලොව වටා සිටින බොහෝදෙනා එය විශ්වාස කරනවා. බයිබලයේ වාර්තා වී ඇති සියලුම ආශ්චර්යවත් සිදුවීම් ගත් කල ඉන් එකක්වත් උත්පත්ති 1:1හි විස්තර කර ඇති ආශ්චර්යවත් සිදුවීම්වලට සම කරන්න බැහැ.

අහසත් පොළොවත් එහි ඇති සියල්ලත් නිර්මාණය කළ දෙවිට මුහුදේ කුනාටුවක් ඇති වීමට සැලැස්වීම අමාරු කාර්යයක්ද? එවැනි දෙවි කෙනෙකුට මාළුවෙකු ලවා මිනිසෙකුව ගිලින්න සලස්වා එම මාළුවාටම නැවතත් එම මිනිසාව වමාරන්න සලස්වන්න බැරිද? දෙවිට අසීමිත බලයක් තිබෙන නිසා ඔහුට ඒ සියල්ල කළ හැකියි.—යෙසායා 40:26.

සමහරවිට දෙවිගේ මැදිහත් වීමක් නොමැතිවත් පුදුමසහගත දේවල් සිදු වන අවස්ථා තිබෙනවා. උදාහරණයකට 1758දී සිදු වුණායැයි පැවසෙන මෙම සිද්ධිය සලකා බලන්න. මධ්‍යධරණී මුහුද හරහා ගමන්ගත් නැවකින් නාවිකයෙක් මුහුදට වැටුණා. ඒ අවස්ථාවේදී විශාල මෝරෙක් ඇවිත් ඒ පුද්ගලයාව ගිලගත්තා. නමුත් නැවේ සිටි අය කාලතුවක්කුවකින් වෙඩි තබා මෝරාව මරා දැමුවා. ඉන්පසු මෝරා ගොදුරු කරගත් නාවිකයාව කිසිම හානියකින් තොරව බේරාගැනීමට හැකි වුණා. සමහරවිට මේ සිදුවීම ඇසීමෙන් ඔබ පුදුම විය හැකියි. මිනිසුන්ට මෙවැනි දෙයක් කිරීමට හැකියාව තිබෙනවා නම් අසීමිත බලයක් හිමි දෙවිට ඊටත් වඩා බලවත් දෙයක් කළ නොහැකිද?

විවේචකයන් මතු කරන තවත් ප්‍රශ්නයක් වන්නේ මිනිසෙකුට දින තුනක් පුරා වාතය නොමැතිව මත්ස්‍යයෙකුගේ බඩේ සිටිය හැකිද යන්නයි. නමුත් මේ ගැන සිතා බලන්න. මිනිසුන්ට හැකි නම් ඔක්සිජන් වායුව ටැංකිවලට පුරවා ගැඹුරු මුහුදේ පැය ගණනාවක් ගත කරන්න, අසීමිත බලයක් හා ප්‍රඥාවක් හිමි දෙවිට යෝනාව මත්ස්‍යයෙකු තුළ දින තුනක් සිටීමට සැලැස්විය නොහැකිද? යේසුස්ගේ මව වූ මරියාව හමුවීමට පැමිණි දේවදූතයා යෙහෝවා දෙවි ගැන පැවසුවේ මෙයයි. “දෙවිට ඉටු කළ නොහැකි කිසි දෙයක් නැත.”—ලූක් 1:37.

යෝනා පොතේ ඇති සිදුවීම් සැබෑවක් බව විශ්වාස කිරීමට ඇති අනික් හේතු මොනවාද? කුනාටුව ඇති වූ අවස්ථාවේදී නාවිකයන් නැව සැහැල්ලු කිරීමට බඩු මුහුදට විසි කළ බව යෝනා සඳහන් කළා. (යෝනා 1:5) අතීතයේ සිටි ඉතිහාසඥයන් සහ යුදෙව් නීති පොත්වල පෙන්වන ආකාරයට මෙම ක්‍රමය පුරාණයේ සිටි නාවිකයන් අනුගමනය කර තිබෙනවා. මින් පැහැදිලි වෙන්නේ නැව ගැනත් එහි වැඩ කළ අය ගැනත් යෝනා පැවසූ දෙය සත්‍යයක් බවයි. ඊට අමතරව නිනීවය නුවර සම්බන්ධයෙන් යෝනා පැවසූ දේවල් පුරාවිද්‍යාත්මකවත් ඉතා නිවැරදියි. මේ සියල්ලටම වඩා යෝනා පොතේ ඇති තොරතුරු සත්‍යයක් බව ඔප්පු වන්නේ යේසුස් ඔහුගේ මරණය යෝනා දින තුනක් මත්ස්‍යයාගේ බඩේ සිටි සිද්ධියට සම්බන්ධ කිරීමෙනුයි. (මතෙව් 12:38-40) යෝනා පොතේ ඇති තොරතුරු සත්‍යය බව යේසුස් පැවසූ දෙයින් පැහැදිලි වෙනවා.

“දෙවිට ඉටු කළ නොහැකි කිසි දෙයක් නැත.”—ලූක් 1:37.

[26වන පිටුවේ පින්තූරය]

යෝනාගේ ඉල්ලීම පිට නැවේ සිටි අය ඔහුව මුහුදට හෙළුවා