අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු
ඔබේ ප්‍රදේශයේ තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව අසලින් යන විට එතැන සිදු වන්නේ කුමක්ද කියා ඔබ කල්පනා කර ඇති. එහි පවත්වනු ලබන රැස්වීම්වලට ඔබටත් සහභාගි විය හැකි බව ඔබ දැන සිටියාද?
නමුත් ඔබ මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කිරීමට ඉඩ තිබෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කණ්ඩායමක් ලෙස එකතු වී රැස්වීම් පවත්වන්නේ ඇයි? ඔවුන්ගේ රැස්වීම් මොන වගේද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන අය ඒ රැස්වීම් ගැන පවසා ඇත්තේ කුමක්ද?
කණ්ඩායමක් ලෙස එකට එක් රැස් වෙන්නේ ඇයි?
අතීතයේ පටන් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහාත් ඔහු ගැන ඉගෙනගැනීම සඳහාත් මිනිසුන් එක්රැස් වී තිබෙනවා. මීට අවුරුදු 3,500කට පමණ පෙර ඊශ්‍රායෙල්වරුන්ට මෙවැනි ආඥාවක් ලැබුණා. ‘මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඒ අවස්ථාව සඳහා දේශයේ වාසය කරන සියලුම පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන් මෙන්ම ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ද රැස් විය යුතුයි. එවිට නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත් ඔවුන් සියලුදෙනාටම හැකි වෙයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්නත් මේ නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඔවුන් පුරුදු වෙයි.’ (ද්විතීය කතාව 31:12, නව ලොව පරිවර්තනය, NW) අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් බාල මහලු භේදයකින් තොරව එක්රැස් වූ නිසා යෙහෝවා දෙවිට නමස්කාර කළ යුතු ආකාරය ගැන සහ ඔහුට කීකරු විය යුතු ආකාරය ගැන ඉගෙනගත්තා.
ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී මුල්ම ක්‍රිස්තියානී සභාව පිහිටුවනු ලැබුවායින් පසුවත් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා එකට රැස් වීම වැදගත් කොට සලකනු ලැබුවා. එවකට සිටි ක්‍රිස්තියානියෙකු වූ පාවුල් ඔහුගේ ලිපියක මෙවැනි දෙයක් සඳහන් කළා. “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේ රැස්වීම අත් නෑර, එකිනෙකාව දිරිගන්වමු.” (හෙබ්‍රෙව් 10:24, 25) පවුලක සාමාජිකයන් එකට කාලය ගත කරද්දී ඔවුන් අතර තිබෙන බැඳීම ශක්තිමත් වෙනවා. ඒ හා සමානව ක්‍රිස්තියානීන්ද නමස්කාරය සඳහා එකට රැස් වෙද්දී ඔවුන් අතර තිබෙන බැඳීමත් ශක්තිමත් වෙනවා.
බයිබලයේ සඳහන් එම තොරතුරුවලට එකඟව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද සතියට දෙවතාවක් එකට රැස් වී ඔවුන්ගේ රාජ්‍ය ශාලාවල රැස්වීම් පවත්වනවා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අවබෝධ කරගැනීමටත් ඒවා අගය කරමින් ජීවිතයට අදාළ කරගැනීමටත් එම රැස්වීම් මහත් උපකාරයක්. ලොව පුරා පිහිටි රාජ්‍ය ශාලාවල පැවැත්වෙන එවැනි රැස්වීම් බොහෝදුරට සිදු වෙන්නේ එකම වැඩසටහනකට අනුවයි. ඒ සෑම රැස්වීමකටම නිශ්චිත අරමුණක් තිබෙනවා. එම රැස්වීම්වලට පැමිණීමෙන් එකිනෙකා සමඟ අදහස් බෙදාගැනීමටත් ‘අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්’ ලබාගැනීමටත් හැකි වෙනවා. (රෝම 1:12) සතිපතා පැවැත්වෙන එම රැස්වීම් අපි දැන් හඳුනාගනිමු.
ප්‍රසිද්ධ දේශනය
විශේෂයෙන්ම නවකයන් සඳහා සකසා තිබෙන ප්‍රසිද්ධ දේශනය බොහෝ රාජ්‍ය ශාලාවල පැවැත්වෙන්නේ සති අන්තවලයි. යේසුස් පවා බොහෝ අවස්ථාවල එවැනි දේශන ඉදිරිපත් කළා. සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය ඉන් එකක්. (මතෙව් 5:1; 7:28, 29) පාවුල්ද ඇතන්ස් නගරයේ සිටි අයට ප්‍රසිද්ධියේ දේශනයක් ඉදිරිපත් කළා. (ක්‍රියා 17:22-34) අද දින සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද සතියකට වතාවක් නවකයන් සඳහා එවැනි ප්‍රසිද්ධ දේශන ඉදිරිපත් කරනවා.
ප්‍රසිද්ධ දේශනය ආරම්භ වෙන්නේ දෙවිට ප්‍රශංසා ගීතිකාවක් ගායනා කිරීමෙන් පසුවයි. ඒ සඳහා සාක්ෂිකරුවන් යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න * නමැති පොත යොදාගන්නවා. ඉන් අනතුරුව කෙටි යාච්ඤාවක් කරනු ලබන අතර පසුව සුදුසුකම් ලත් කෙනෙක් විනාඩි 30කට ප්‍රසිද්ධ දේශනය ඉදිරිපත් කරනවා. ( “පොදු ජනතාවට ප්‍රයෝජනවත් දේශන” නමැති කොටස බලන්න.) එම දේශනය සම්පූර්ණයෙන්ම පදනම් වී තිබෙන්නේ බයිබලය මතයි. දේශනය ඉදිරිපත් කරන්නා බයිබල් පද කියවන විට අසන්නන්ටත් ඔවුන්ගේම බයිබල්වලින් එම පද පෙරළා බැලීමට ආරාධනා කරනවා. ඒ නිසා ඔබ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වන විට ඔබේ බයිබලය රැගෙන යෑමට අමතක කරන්න එපා. ඔබ ළඟ බයිබලයක් නැත්නම් ඔවුන්ගෙන් බයිබලයක් ලබාගැනීමට ඔබට හැකියි.
මුරටැඹ සාකච්ඡාව
බොහෝ රාජ්‍ය ශාලාවල ප්‍රසිද්ධ දේශනයෙන් පසුව පැවැත්වෙන්නේ මුරටැඹ සාකච්ඡාවයි. ප්‍රශ්නෝත්තර ක්‍රමයට සිදු වෙන එම සාකච්ඡාව පැයකට සීමා වෙනවා. එය ගොඩනැඟී තිබෙන්නේ බයිබල් විෂයක් පදනම් කරගෙනයි. අතීතයේ සිටි බෙරීයවරුන් මෙන් තමන් ඉගෙනගත් දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කිරීමට එම රැස්වීම සියල්ලන්ට උපකාරවත් වෙනවා.—ක්‍රියා 17:11.
මුරටැඹ සාකච්ඡාව ආරම්භ වෙන්නේ දෙවිට ප්‍රශංසා ගීයක් ගායනා කිරීමෙනුයි. සාකච්ඡා කරන විෂය සහ ඊට අදාළ ප්‍රශ්න සියල්ල මුරටැඹ පාඩම් කලාපයේ සඳහන් කර තිබෙනවා. ඔබට එම කලාපය සාක්ෂිකරුවෙකුගෙන් ලබාගත හැකියි. එම මුරටැඹ කලාපයේ මෑතකදී පළ වූ ලිපි අතර “ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න,” “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න,” “සියලුම දුක් වේදනාවලට නිමාව අත ළඟයි” යන මාතෘකාවලින් යුත් ලිපි ඇතුළත් වුණා. අදාළ මුරටැඹ කලාපය සහ එහි සඳහන් බයිබල් පද හොඳින් කියවා පැමිණෙන අයට සාකච්ඡාව අතරතුරේදී අසන ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සැපයීමට හැකි වෙයි. ගීතිකාවකින් සහ යාච්ඤාවකින් පසුව එම සාකච්ඡාව අවසන් වෙනවා.—මතෙව් 26:30; එෆීස 5:19.
සභා බයිබල් පාඩම
සතියේ වෙනත් දිනක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොටස් තුනකින් යුත් තවත් රැස්වීමක් රාජ්‍ය ශාලාවේ පවත්වනවා. සතිපතා පැවැත්වෙන එම රැස්වීම සඳහා පැයකුත් විනාඩි 45ක කාලයක් ගත වෙනවා. එහි පළමු කොටස හඳුන්වන්නේ සභා බයිබල් පාඩම ලෙසයි. ඒ සඳහා විනාඩි 25ක කාලයක් ගත වෙනවා. බයිබලය හොඳින් තේරුම්ගන්නත් ඒ අනුව තමන්ගේ සිතුවිලි සකස් කරගන්නත් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දියුණු වෙන්නත් මෙම 2 තිමෝති 3:16, 17) බයිබලයේ යම් විෂයක් ඇසුරෙන් කරන සභා බයිබල් පාඩම සිදු කරන්නේත් ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ඒ සඳහා පිළිතුරු සැපයීමට අසන්නන්ට අවස්ථාව ලැබෙනවා. සභා බයිබල් පාඩමේදී අධ්‍යයනය කරනු ලබන්නේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන පමණයි.
සභා බයිබල් පාඩම මහත් පිටුවහලක්. (සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් ප්‍රකාශන රැස්වීම්වලදී අධ්‍යයනය කරන්නේ ඇයි? අතීතයේදීත් දෙවිගේ ලියවිලි හොඳින් තේරුම්ගැනීමට නම් ඒවා කියවා එහි අර්ථය පහදා දීම අවශ්‍ය වුණා. ඒ නිසා පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් ‘ශුද්ධ ලියවිල්ල කියවා එහි සඳහන් දේවල් ජනයාට දිගටම පහදා දෙමින් ඒ දේවල නියම අර්ථය තේරුම්ගැනීමට උපකාර කළා.’ (නෙහෙමියා 8:8, NW) පසුගිය කාලයේදී සභා බයිබල් පාඩම්වල යෙසායා, දානියෙල් සහ එළිදරව් වැනි බයිබලය මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් බයිබලය වඩාත් හොඳින් තේරුම්ගැනීමට බොහෝ අයට හැකි වී තිබෙනවා.
පුහුණු පාසැල
සභා බයිබල් පාඩමෙන් පසුව ආරම්භ වෙන්නේ විනාඩි 30කින් යුත් පුහුණු පාසැලයි. එහි මූලික අරමුණ වන්නේ දේවසේවකයන්ගේ “ඉගැන්වීමේ කලාව” දියුණු කිරීමයි. (2 තිමෝති 4:2) උදාහරණයකට ඔබේම දරුවා හෝ ඔබේ මිතුරෙක් දෙවි ගැන හෝ බයිබලය ගැන ඔබෙන් යම් ප්‍රශ්න අසා තිබෙනවාද? එම ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ඔබ තරමක් අපහසුතාවකට පත් වුණාද? පුහුණු පාසැලෙන් සිදු වෙන්නේ එවැනි ප්‍රශ්නවලට බයිබලය මත පදනම් හොඳ පිළිතුරු ලබා දීමට අපට අවශ්‍ය පුහුණුව ලබා දීමයි. ප්‍රතිඵලයක් ලෙස බයිබලයේ සඳහන් මේ වදන් එම පුහුණුව ලබන අය සම්බන්ධයෙන් සත්‍යයක් වෙනවා. “විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට උගන්වා ඇත.”—යෙසායා 50:4, NW.
පුහුණු පාසැලේ මුල්ම කොටස පදනම් වී තිබෙන්නේ එම සතියේ කියවීමට නියමිත බයිබල් පරිච්ඡේදවල තොරතුරු මතයි. කෙනෙක් ඒ පරිච්ඡේදවල ඇතුළත් තොරතුරු මත කතාවක් දෙනු ලබනවා. පසුව ඔහු අසන්නන්ටත් නියමිත බයිබල් කියවීමෙන් ඔවුන් ඉගෙනගත් දේවල් පැවසීමට ආරාධනා කරනවා. එම කොටසින් පසුව පුහුණු පාසැලේ පැවරුම් ලැබූ අයට ඔවුන්ගේ කොටස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
එම පැවරුම්වලට බයිබලයේ නිශ්චිත කොටසක් වේදිකාවේ සිට කියවීම සහ බයිබලයේ තිබෙන කාරණා යම් කෙනෙකුට විස්තර කරන ආකාරය නිරූපණය කර පෙන්වීම ඇතුළත් වෙනවා. අදාළ පැවරුම්
ඉදිරිපත් කළ පසු අද්දැකීම් ලත් කෙනෙක් දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති පොත ඇසුරෙන් ඔවුන්ගේ කතාවල තිබූ හොඳ පැති අගය කරනවා. පසුව ඔහු, ඔවුන්ව පෞද්ගලිකව හමු වී ඔවුන්ට තවත් දියුණු විය හැකි පැති සහ එය කළ හැකි ආකාරය ගැනත් මඟ පෙන්වීම් ලබා දෙනවා.මෙම පුහුණු පාසැල සකස් කර තිබෙන්නේ සියලුදෙනාටම තමන්ගේ කියවීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව සහ ඉගැන්වීමේ කලාව දියුණු කරගත හැකි වන ආකාරයටයි. මෙම පුහුණු පාසැල ගීතිකාවකින් පසුව අවසන් වෙනවා.
සේවය සඳහා රැස්වීම
කොටස් තුනකින් යුත් රැස්වීමේ අවසාන කොටස හඳුන්වන්නේ සේවය සඳහා රැස්වීම ලෙසයි. විනාඩි 35කට සීමාවූ එම කොටසට නිරූපණ, කතා, අද්දැකීම්, සම්මුඛ සාකච්ඡා සහ පැමිණ සිටින අයගෙන් අදහස් විමසීම ඇතුළත් වෙනවා. මේ නිසා බයිබලයේ තිබෙන ඉගැන්වීම් අන් අයට හොඳින් පහදා දෙන්නේ කෙසේද කියා පැමිණ සිටින අය තේරුම්ගන්නවා. උදාහරණයකට යේසුස් තම අනුගාමිකයන්ව දේශනා සේවයේ යැවීමට පෙර ඔවුන්ව රැස් කර ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. (ලූක් 10:1-16) එම උපදෙස් අදාළ කරගත් ඔවුන් තමන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැන යේසුස්ට පැවසුවා. (ලූක් 10:17) යේසුස්ගේ අනුගාමිකයන් දේවසේවයේදී හොඳ ප්‍රතිඵල ලබාගත් පසු ඔවුන් එකිනෙකා අතරත් එම අද්දැකීම් බෙදාගත්තා.—ක්‍රියා 4:23; 15:4.
සේවය සඳහා රැස්වීමට අදාළ වැඩසටහන මාසිකව පළ වන අපගේ රාජ්‍ය සේවාව නමැති පත්‍රිකාවේ සඳහන් වෙනවා. එහි මෑතකදී පළ වූ කොටස්වලට “පවුලක් හැටියට දෙවිට නමස්කාර කරමු,” “අපි නැවත නැවත යා යුත්තේ ඇයි?,” “දේවසේවයේදී යේසුස්ව අනුකරණය කරන්න” වැනි විෂයන් ඇතුළත් වුණා. දෙවිට ගයන ප්‍රශංසා ගීතිකාවකින් හා යාච්ඤාවකින් පසුව එම රැස්වීම අවසන් වෙනවා.
සාක්ෂිකරුවන් නොවන අයගේ අදහස්
සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම්වලට එන සෑම කෙනෙකුවම සාදරයෙන් පිළිගන්නවා. දහනවවන වියේ පසු වන ඇන්ඩෘ සාක්ෂිකරුවන් ගැන බොරු ප්‍රචාර රැසක් අසා තිබුණා. නමුත් ඔහු සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට මුලින්ම ගිය අවස්ථාවේදී සාක්ෂිකරුවන් ඔහුව පිළිගත් ආකාරයෙන් ඔහු පුදුමයට පත් වුණා. ඇන්ඩෘ එය විස්තර කළේ මේ ආකාරයටයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හරිම මිත්රශීලියි. ඒ අය මං ගැන දක්වපු සැලකිල්ල ගැන මට පුදුම හිතුණා. ඇත්තටම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන එක ප්‍රීතිමත් අද්දැකීමක්.” කැනඩාවේ ජීවත් වන 17 හැවිරිදි ඇෂෙල් සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ගැන මෙවැනි දෙයක් පැවසුවා. “ඒ රැස්වීම් හරිම සරල නිසා පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්. ඇත්තටම ඒ රැස්වීම්වලට යන්න ආස හිතෙනවා.”
බ්‍රසීලයේ ජීවත් වන සූසේ ඉතා සැර පරුෂ කෙනෙක් වූ නිසා ඔහුට සමාජයේ හොඳ නමක් තිබුණේ නැහැ. ඒ වුණත් සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම්වලට ඔහුටත් ආරාධනා කර තිබුණා. සූසේ ඒ ගැන මෙසේ පවසනවා. “මම නරක කෙනෙක් කියලා සාක්ෂිකරුවන් දැනගෙන හිටියත් ඔවුන් මාව සාදරයෙන් පිළිගත්තා.” ජපානයේ ජීවත් වන ආට්සුෂි මෙසේ පැවසුවා. “මම සාක්ෂිකරුවන්ගේ රැස්වීමට ගිය මුල්ම දවසේ මට පොඩි අමුත්තක් දැනුණා. ඒත් ඒ අය හරිම හොඳයි කියලා මට තේරුණාම මට සතුටක් ඇති වුණා.”
ඔබටත් ආරාධනා
ඉහත සඳහන් කර තිබෙන අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑම ප්‍රීතිමත් අද්දැකීමක් බවයි. ඔබට දෙවි ගැන ඉගෙනගැනීමට එම රැස්වීම් දායක වෙනවා. එමෙන්ම බයිබලයේ සඳහන් උපදෙස් ජීවිතයට අදාළ කරගැනීමෙන් “ඔබේම ප්‍රයෝජනය” සඳහා දෙවි ඔබට උගන්වන ආකාරය අද්දැකීමටත් ඔබට හැකි වෙනවා.—යෙසායා 48:17, NW.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන අයගෙන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙන්න ඔබත් කැමතිද? ඒ සඳහා ඔබට සාදරයෙන් ඇරයුම් කරන්න අපි සතුටුයි.
^ 10 ඡේ. මේ ලිපියේ සඳහන් සියලුම ප්‍රකාශන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඒවායි.