යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රූප භාවිත නොකරන්නේ ඇයි?
පාඨකයන් අසයි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රූප භාවිත නොකරන්නේ ඇයි?
ලොව පුරා සිටින හින්දු භක්තිකයන්, බෞද්ධයන්, කතෝලිකයන් සහ ක්‍රිස්තියානියැයි කියාගන්නා ආගම්වල අය නමස්කාරය සඳහා සුරුවම් හෝ රූප භාවිත කරනවා. එමෙන්ම අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ජීවත් වන අයද ලීවලින් හෝ ගල්වලින් යම් සංකේත සාදාගෙන ඒවා තුළ දෙවිවරුන් ජීවත් වෙනවා කියා විශ්වාස කරනවා.
නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් නමස්කාරය සඳහා රූප භාවිත කරන්නේ නැහැ. ඔබ ඔවුන්ගේ රැස්වීම් පවත්වන රාජ්‍ය ශාලාවකට ගොස් තිබේ නම් යේසුස්ගේවත් මරියාගේවත් වෙනත් සාන්තුවරුන්ගේවත් රූප හෝ සුරුවම් එහි නැති බව දැක ඇති. * ඒ ඇයි කියා අපි බයිබලයෙන් සලකා බලමු.
දෙවි ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගත් පසු තමාට නමස්කාර කළ යුත්තේ කෙසේද කියා යෙහෝවා දෙවි ඔවුන්ට පැහැදිලිව පෙන්වා දුන්නා. මෝසෙස් මාර්ගයෙන් දෙවි ඔවුන්ට ලබා දුන් දසපනතේ දෙවෙනි ආඥාව වූයේ මෙයයි. “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න. මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම අන් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.”—නික්මයාම 20:4, 5, නව ලොව පරිවර්තනය, NW.
යෙහෝවා දෙවි සීනයි කන්දේදී මෝසෙස්ට දසපනත ලබා දෙන විට කන්ද පාමුල සිටි ඊශ්‍රායෙල්වරුන් රනින් වසු පැටියෙකු සාදාගත්තා. ඔවුන් මෙවැනි රූපයක් සාදාගන්න ඇත්තේ ඊජිප්තු ජාතිකයනුත් සතුන්ට නමස්කාර කිරීමට පුරුදුව සිටි නිසා විය හැකියි. කෙසේවෙතත් ඔවුන් මේ වසු රූපයට ඊජිප්තු දෙවි කෙනෙකුගේ නමක් තැබුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් එම රූපය දෙවිගේ නමස්කාරයට සම්බන්ධ කළා. (නික්මයාම 32:5, 6) යෙහෝවා දෙවිට ඒ ගැන හැඟුණේ කෙසේද? ඔහු අතිශයින් කෝපයට පත් වුණා. ඉන්පසු මෝසෙස් එම රූපය විනාශ කර දැමුවා.—නික්මයාම 32:9, 10, 19, 20.
පසු අවස්ථාවකදී යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට මෙසේද පැවසුවා. “කොයිම හැඩයකින්වත් දේවතා රූප සාදා නොගත යුතුයි. එසේ කිරීම ඉතා පිළිකුල්සහගත දූෂිත දෙයක්. පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ පොළොවේ සැරිසරන සතෙකුගේ හෝ පියාසර කරන කුරුල්ලෙකුගේ හෝ පොළොවේ බඩගා යන සතෙකුගේ හෝ ජලයේ සැරිසරන මත්ස්‍යයෙකුගේ හෝ හැඩයටවත් කිසි රූපයක් සාදා නොගන්න.” (ද්විතීය කතාව 4:15-18, NW) නමස්කාරය සඳහා කිසිම ආකාරයක හැඩයකින් යුත් රූප භාවිත කිරීම ඊශ්‍රායෙල්වරුන්ට තහනම් කර තිබූ බව ඉන් පැහැදිලි වෙනවා.
කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන් නැවතත් රූප නමස්කාරයේ යෙදෙන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් දුන්නත් ඔවුන් ඒවා පිළිගත්තේ නැහැ. (යෙරෙමියා 19:3-5; ආමොස් 2:8) මේ මුළු ජාතියම යෙහෝවා දෙවිට අකීකරු වුණා. ඒ නිසා ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන්ට යෙරුසලම විනාශ කර ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ගෙන යෑමට දෙවි ඉඩහැරියා.—2 ලේකම් 36:20, 21; යෙරෙමියා 25:11, 12.
පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් දැරූ ආකල්පය
ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ජීවත් වූ වෙනත් ආගම්වලට අයත් අය ක්‍රිස්තියානීන් බවට පත් වූ පසු ඔවුන් රූපවලට නමස්කාර කිරීම අත්හැරියා. එවකට එෆීසයේ ජීවත් වූ දෙමෙත්‍රියස් නම් රිදී ප්‍රතිමා සාදන්නා ක්‍රිස්තියානියෙකු වූ පාවුල් ගැන මෙවැනි දෙයක් පැවසුවා. “පුරුෂයෙනි, අප සාර්ථක වී තිබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ හොඳින් දන්නහුය. අතින් සාදන ලද දෙවිවරු, දෙවිවරු නොවන්නෝයයි මේ පාවුල් කියමින්, එෆීසයේ පමණක් නොව මුළු ආසියා ප්‍රදේශයේ හැම තැනකම වාගේ සෑහෙන පිරිසකට එය ඒත්තුගන්වා, ඔවුන්ව වෙනත් මතයකට හරවාගත් බව ඔබට අසන්නද දකින්නද ලැබිණ.”—ක්‍රියා 19:25, 26.
පාවුල් රූප නමස්කාරයට විරුද්ධව සිටි කෙනෙක්. ඔහු ග්‍රීසියේ ඇතන්ස් නගරයේ සිටි විටත් රූප නමස්කාරය පිළිබඳව ග්‍රීක ජාතිකයන්ට මෙවැනි දෙයක් පැවසුවා. “දෙවි රන්, රිදී හෝ ගල් මෙන්, මිනිස් කලාවෙන් සහ කල්පනාවෙන් නෙළූ දෙයක් හා සමාන වන්නේයයි අප නොසිතිය යුතුය. නොදන්නාකමින් සිටි එවැනි කාලවල් දෙවි ගණන් නොගෙන සිටිය බව සත්‍යයකි. එහෙත් දැන් ඔහු සෑම තැනකම සිටින මනුෂ්‍ය වර්ගයාට කියන්නේ ඔවුන් සියල්ලන්ම පසුතැවිලි විය යුතුය කියායි.” (ක්‍රියා 17:29, 30) තවත් අවස්ථාවකදී දේවතා රූප අත්හැර දෙවි වෙතට හැරීම ගැන පාවුල් තෙසලෝනිකවරුන්ව අගය කළා.—1 තෙසලෝනික 1:9.
යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන්ද රූප නමස්කාරයේ යෙදෙන්න එපා කියා ක්‍රිස්තියානීන්ට පැවසුවා. පළමු සියවස අවසානයේදී ඔහු ඔවුන්ට අවවාද කළේ “දේවතා රූපවලින් පරෙස්සම් වන්න” කියායි.—1 යොහන් 5:21.
රූප නමස්කාරයේ යෙදෙන්න එපා කියා දෙවි දී තිබෙන උපදෙසට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම කීකරු වෙනවා. ඊට හේතුව ඔවුන් යෙහෝවා දෙවි පවසා තිබෙන මේ වදන් හොඳින් සිතට ගෙන තිබීමයි. “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”—යෙසායා 42:8, NW.
[පාදසටහන]
^ 4 ඡේ. සමහර රාජ්‍ය ශාලාවල බිත්ති මත විවිධ බයිබල් සිදුවීම් ඇතුළත් පින්තූර තිබෙනවා. නමුත් මේවා යොදාගෙන තිබෙන්නේ නමස්කාරය උදෙසා නොව අලංකාරයක් ගෙන දීම සඳහායි.
[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”—යෙසායා 42:8, NW.