පවුලේ සමඟියට අත්වැලක්
සාර්ථක ලෙස දරුවන්ව පුහුණු කිරීම
ජෝන්. * පුංචි කාලේ මම වරදක් කළාම මගේ දෙමව්පියන් මට දඬුවම් කරන්න කලින් මම එහෙම කළේ ඇයි කියලා හොයලා බලනවා. ඒ නිසා දැන් මගේ දුවලා අතින් වරදක් වුණාම මම උත්සාහ කරන්නෙත් ඒ විදිහටම කරන්නයි. ඒත් මගේ බිරිඳ වන ඇලිසන්ගේ තත්වය ඊට වඩා වෙනස්. පුංචි කාලේදී ඇලිසන් අතින් වරදක් වුණාම එයාගේ දෙමව්පියන් එයාට දඬුවම් කරලා තියෙන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුවයි. ඒ නිසා සමහර වෙලාවට ඇලිසන් අපේ දරුවන් එක්ක කටයුතු කරන්නෙත් ඒ විදිහටයි කියලා මට හිතෙනවා.
කැරල්. මට අවුරුදු පහේදී අපේ තාත්තා මාවයි අම්මාවයි නංගිලා තුන්දෙනාවයි දාලා ගියා. එදා ඉඳලා අපිව බලාගන්න අපේ අම්මා හුඟක් මහන්සි වුණා. මගේ නංගිලා තුන්දෙනාගේ අවශ්‍යතා සපුරන්න මමත් අම්මට උදව් කළා. පොඩි කාලේ ඉඳලා මට හුඟක් වගකීම් තිබුණ නිසා මට ළමා කාලයක් තිබුණේ නැහැ. ඒත් දැන් මම මවක් විදිහට කටයුතු කළත් ඉස්සර වගේ තාමත් මම සමහර දේවල් ගැන කලබල වෙනවා. සමහර වෙලාවට මගේ දුවලා අතින් වැරදි වුණාම ඒ ගැන හිතහිතා මම දුක් වෙනවා. ඒත් මගේ ස්වාමිපුරුෂයා මාක් ඊට වඩා වෙනස්. මාක්ගේ තාත්තා හරිම හොඳ කෙනෙක්. එයා මාක්ටයි මාක්ගේ අම්මටයි හුඟක් ආදරෙන් සලකලා තියෙනවා. ඒ වගේ පවුලක හැදී වැඩුණු නිසා දුවලා අතින් වැරදි වුණාම ඒ ගැන හිතහිතා ඉන්නේ නැතුව ප්‍රශ්නේ විසඳලා වරද නිවැරදි කරන්න මාක්ට පුළුවන්.
කුඩා කාලයේදී ඔබේ දෙමව්පියන් ඔබ සමඟ කටයුතු කළ ආකාරය අනාගතයේදී ඔබ ඔබේ දරුවන් සමඟ කටයුතු කරන ආකාරයට බලපෑ හැකි බව ඉහත සඳහන් අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. බොහෝවිට යුවළක් එකිනෙකට වෙනස් පවුල් පසුබිම්වල හැදී වැඩුණා නම් දරුවන්ව පුහුණු කරන ආකාරය ගැන ඔවුන් දරන අදහස්ද එකිනෙකට වෙනස් විය හැකියි. සමහරවිට මේ සම්බන්ධයෙන් යම් මත ගැටීම් ඇති වුණොත් එය විවාහ බැඳීමට පවා තර්ජනයක් වෙන්න පුළුවන්.
දරුවන්ව පුහුණු කිරීම එතරම් පහසු කාර්යයක් නොවන බව මුල්ම දරුවාගේ උපතේ සිට දෙමව්පියන් තේරුම්ගන්නවා. උදාහරණයකට දියණියන් දෙදෙනෙක් සිටින මිෂෙල් සහ ඩැරන්ගේ අද්දැකීම සලකා බලන්න. මිෂෙල් මෙසේ පවසනවා. “මම මගේ දරුවෝ දෙන්නාට හුඟක් ආදරෙයි. ඒත් සමහර වෙලාවට මම කියන දේ ඒ අය අහන්නෙ නැහැ.
සපත්තු, ඇඳුම්, සෙල්ලම් බඩු වගේ දේවල් ගත්ත තැනින් තියන්නෙත් නැහැ. නිදාගන්න කියලා කිව්වම නිදාගන්නෙත් නැහැ.”ජැක්ගේ අද්දැකීමද සලකා බලන්න. ඔහුගේ බිරිඳ මානසික අවපීඩනයෙන් පෙළෙන අතර ඔවුන්ට දියණියන් දෙදෙනෙක්ද සිටිනවා. ඒ ගැන ජැක් පැවසුවේ මෙසේයි. “මම වැඩ ඇරිලා ගෙදර එන්නේ හුඟක් මහන්සියෙන්. ඒ ආවම අලුත උපන් අපේ පොඩි දුව එක්ක රෑ වෙන කල් ඇහැරගෙන ඉන්න වෙනවා. මේ නිසා අපේ ලොකු දුවව හොඳින් පුරුදු පුහුණු කරන එකත් ලෙහෙසි නැහැ. මායි මගේ බිරිඳයි පොඩි දුව වෙනුවෙන් දේවල් කරද්දී ලොකු දුවට ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.”
දරුවන්ව පුරුදු පුහුණු කරන ආකාරය ගැන දෙමව්පියන් අතර ඇති වන යම් මත ගැටුම් නිසා වාදවිවාද පවා ඇති විය හැකියි. ඒවා විසඳා නොගතහොත් යුවළක් එකිනෙකාගෙන් ඈත් වීමටද ඉඩ තිබෙනවා. එවිට දරුවන් තමන්ගේ කැමැත්තට ඉඩ දෙන මවගේ හෝ පියාගේ පැත්ත ගෙන තමන්ට ඕනෑ කරන දේවල් කිරීමටද පෙලඹිය හැකියි. එමනිසා ඔබේ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට හා දරුවන්ව හොඳින් පුරුදු පුහුණු කරගැනීමට හැකි ආකාර පිළිබඳ බයිබලයේ දෙන මඟ පෙන්වීම් සලකා බලන්න.
යුවළක් ලෙස එකට කාලය ගත කරන්න
දරුවන්ව හොඳින් පුහුණු කිරීමට නම් සැමියා සහ බිරිඳ අතර ශක්තිමත් බැඳීමක් තිබිය යුතුයි. එය දරුවන් ලැබීමටත් පෙර සිට ඇති වන බැඳීමක්. දරුවන්ව හදා වඩා ගැනීම විවාහ ජීවිතයේ එක් පරිච්ඡේදයක් පමණයි. ඊට හේතුව දරුවන් වැඩිහිටියන් වූ පසුව ඔවුන් පවුලෙන් වෙන් වී යෑමයි. බයිබලයේ පවා සඳහන් වෙන්නේ දරුවෙක් “තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී” යන බවයි. (මතෙව් 19:5) දරුවෙක් එසේ වෙන් වී ගිය පසුවත් සැමියා සහ බිරිඳ අතර කලින් තිබූ බැඳීම දිගටම පවත්වාගැනීම වැදගත්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:6.
යුවළක්, දරුවන්ව පුහුණු කරන කාලය තුළ ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා සතියට නිශ්චිත දිනයක් වෙන් කරගෙන ඔබ දෙදෙනා කතා බහ කිරීමට කාලය ගත යුතුයි. එසේ කිරීමෙන් පවුලට බලපාන කාරණා ගැන කතා කිරීමටත් යුවළක් ලෙස එකිනෙකාගේ ආශ්‍රය භුක්ති විඳීමටත් හැකි වෙනවා. නමුත් එසේ කාලය ගත කිරීම පහසු දෙයක් නොවෙයි. කලින් අදහස් දැක්වූ ඇලිසන් පවසන දේ සලකා බලන්න. “මායි මගේ මහත්තයයි ටිකක් කතා කරන්න හදනකොට අපේ අවධානය ගන්න පොඩි දුව මොනවා හරි කරනවා. එහෙම නැත්නම් අපේ ලොකු දුව එයාගේ පැන්සල් පෙට්ටිය නැති කරගෙන ඒක හොයලා දෙන්න කියලා කරදර කරනවා.”
කලින් අදහස් දැක්වූ මිෂෙල් සහ ඩැරන් දරුවන් නින්දට ගිය පසු යුවළක් ලෙස එකට කතා බහ කිරීමට කාලය වෙන් කරගෙන තිබෙනවා. ඒ ගැන මිෂෙල් පවසන දේ බලන්න. “අපේ දුවලා දෙන්නට ඇඳට යන්න නිශ්චිත වෙලාවක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා එයාලා නින්දට ගියාම අපි දෙන්නට ටිකක් නිදහසේ කතාබහ කරන්න පුළුවන්.”
දරුවන්ට නින්දට යෑම සඳහා නිශ්චිත වේලාවක් නියම කිරීමෙන් දෙමාපියන්ට කතාබහ කිරීමට කාලය ලැබෙනවා. ඒ වගේම “තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතා” අන් අයගේ අවශ්‍යතාවන් ගැන සිතන්නත් දරුවන් පුරුදු වෙනවා. (රෝම 12:3) එමෙන්ම දෙමාපියන් තමන්ට විශේෂ සැලකිල්ලක් දැක්වූවත් එයින් අයුතු ප්‍රයෝජන නොගෙන දෙමාපියන්ගේ නීතිවලට කීකරු වීමට දරුවන් එයින් ඉගෙනගන්නවා.
මෙය අත්හදා බලන්න. දරුවන් නින්දට යා යුතු වේලාව නියම කර ඒ වේලාවටම නිදාගන්න ඔවුන්ව පුහුණු කරන්න. සමහරවිට නියම කර ඇති වේලාවට නිදා නොගැනීම සඳහා දරුවන් නිදහසට කරුණු ඉදිරිපත් කරයි. තමන්ට වතුර බොන්න අවශ්‍යයි කියා පවසමින් ඔවුන් අවදිව සිටින්න උත්සාහ කළා යැයි සිතන්න. එසේනම් ඔවුන්ගේ එම ඉල්ලීම ඉටු කර දෙන්න. නමුත් දිගින් දිගටම විවිධ හේතු ඉදිරිපත් කරමින් අවදිව සිටින්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. යම් හේතුවක් නිසා විනාඩි පහකට තමන්ට අවදිව ඉන්න ඉඩ දෙන්න කියා දරුවා පැවසුවොත් ඔබ එයට ඉඩ දිය හැකියි. නමුත් එම විනාඩි පහ අවසන් වූ විගස දරුවාව නින්දට යවන්න. මේ කාරණයේදී “එසේය නම් එසේය කියාද නැත නම් නැත කියාද” සඳහන් ප්‍රතිපත්තියට එකඟව කටයුතු කරන්න.—මතෙව් 5:37.
එකඟ නොවීම් ඇති වූ විට
“මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:8, නව ලොව පරිවර්තනය, NW) එම බයිබල් පදයට එකඟව දරුවන්ව පුහුණු කිරීමේ, නිවැරදි කිරීමේ හා හික්මවීමේ වගකීම තිබෙන්නේ දෙමාපියන්ටයි. ඇතැම් අවස්ථාවලදී එක සමාන පවුල් පසුබිමක් යටතේ හැදී වැඩුණු යුවළකට පවා දරුවන්ව පුහුණු කිරීම සම්බන්ධයෙන් විවිධ මත තිබිය හැකියි. මෙවැනි තත්වක් හමුවේ දෙමාපියන්ට සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?
කලින් අදහස් දැක්වූ ජෝන් පැවසූ දේ සලකා බලන්න. “දරුවන්ව පුහුණු කරන ආකාරය ගැන මමයි මගේ බිරිඳයි අතරේ එකඟ නොවීමක් ඇති වුණොත් මම ඒක දරුවන්ට දැනගන්න ඉඩ තියන්නේ නැහැ. ඒත් සමහර අවස්ථාවලදී ඒ දේ කරන එක ඒ තරම් පහසු නැහැ. මොකද අපි දෙන්නා අතර එකඟ නොවීමක් තියෙද්දී අපේ ඉරියව්වලින් දුව ඒක තේරුම්ගන්වා.”
ජෝන් සහ ඇලිසන් එවන් තත්වයක් හමුවේ සාර්ථකව කටයුතු කරන ආකාරය සලකා බලන්න. ඇලිසන් මෙසේ පවසනවා. “සමහර අවස්ථාවල මගේ මහත්තයා දුවව නිවැරදි කළ ආකාරය ගැන මට එකඟ වෙන්න බැරි නම් දුව නැති වෙලාවක මම ඒ ගැන එයත් එක්ක කතා කරනවා. දරුවන්ව පුහුණු කරන ආකාරය ගැන අපි අතර වෙනස් මත තියෙනවා කියලා දුව දැනගන්නවාට මම කැමති නැහැ. එහෙමවුණොත් ඒ තත්වයෙන් ප්‍රයෝජන අරන් දුව එයාට ඕනෙ විදිහට කටයුතු කරන්න පෙලඹෙන්න පුළුවන්. නමුත් සමහරවිට අපි අතර තිබෙන වෙනස් මත දුව දැනගන්නවා. එහෙම වුණාම අපි හැමෝම දෙවිගේ සැලැස්මට යටත් වෙන්න ඕනේ කියලා මම දුවට පැහැදිලි කරනවා. ඒ සැලැස්මට අනුව මම මගේ ස්වාමිපුරුෂයාට යටත් වෙනවා වගේ ඔයත් ඔයාගේ දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ කියලා මම එයාට කියනවා.” (1 කොරින්ති 11:3; එෆීස 6:1-3) ජෝන් මෙසේ පවසනවා. “සාමාන්‍යයෙන් දරුවන්ව වැඩියෙන්ම නිවැරදි කරන්න සිදු වෙන්නේ මටයි. හැබැයි සමහර කාරණා ගැන මට වඩා ඇලිසන්ට හොඳ අවබෝධයක් තියෙනවා නම් මම ඒ කාරණය එයාට භාර දීලා එයාට සහයෝගය දෙනවා. සමහර වෙලාවට ඇලිසන් දරුවන්ව නිවැරදි කරපු විදිහ ගැන මට එකඟ වෙන්න බැරි නම් දරුවන් නැති වෙලාවක මම එයත් එක්ක ඒ ගැන කතා කරනවා.”
දරුවන්ව පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔබ දෙදෙනා අතර ඇති විය හැකි මත ගැටුම් විවාහ බැඳීමට බාධාවක් කර නොගන්නේ කෙසේද?
මෙය අත්හදා බලන්න. දරුවන්ව පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔබ අතර ඇති එකඟ නොවීම් ගැන සාකච්ඡා කිරීමට සෑම සතියකම නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න. එමෙන්ම ඔබේ සහකරු හෝ සහකාරිය සිතන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.
ප්‍රේමයෙන් බැඳී සිටින්න
දරුවන්ව පුහුණු කිරීම ඇත්තටම අභියෝගයක්. කොහොමවුණත් දරුවන් වැඩිහිටියන් වී ඔබෙන් වෙන් වූ පසු නැවතත් ඉතිරි වන්නේ ඔබ දෙදෙනා පමණයි. එතැන් සිට ඔබ දෙදෙනාට යුවළක් ලෙස තව තවත් කිට්ටු වීමට දරුවන්ව පුහුණු කිරීමේදී ලැබූ අද්දැකීම් උපකාරවත් වේවිද? එය තීරණය වන්නේ බයිබලයේ මේ ප්‍රතිපත්තිය ඔබ කොතරම් හොඳින් අදාළ කරගත්තාද යන කාරණය මතයි. “එක්කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ. ඔවුන්ගෙන් එක්කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.”—දේශනාකාරයා 4:9, 10, NW.
දරුවන්ව පුහුණු කිරීමේදී යුවළක් සහයෝගයෙන් සහ එකමුතුව කටයුතු කරන විට එයින් සතුටුදායක ප්‍රතිඵල ලැබෙනවා. කලින් අදහස් දැක්වූ කැරල් පවසන දේ සලකා බලන්න. “මගේ මහත්තයා ළඟ හුඟක් හොඳ ගතිගුණ තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒත් දරුවන්ව පුහුණු කිරීමේදී මම කලින් එයා තුළ නොදැකපු හොඳ ගුණාංග රැසක් දැකගන්න මට පුළුවන් වුණා. එයා අපේ දූවරුන්ව රැකබලා ගත් විදිහ දැක්කම එයා ගැන මට තිබුණ ආදරය සහ ගෞරවය තවත් වැඩි වුණා.” ජෝන්ද ඔහුගේ බිරිඳ ගැන මෙවැනි දෙයක් පවසනවා. “ඇලිසන් මවක් ලෙස අපේ දරුවන්ව හොඳින් බලාගනිද්දී මට එයා කෙරෙහි තිබුණ ආදරය සහ ගෞරවය තවත් වැඩි වුණා.”
ඔබ දරුවන්ව පුහුණු කරන කාලයේදී එකමුතුව කටයුතු කිරීමෙන් ඔබේ විවාහ බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. එසේ කිරීමෙන් ඔබ දරුවන් වෙනුවෙන් තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද!
^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.
ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .
-
මගේ සහකරු හෝ සහකාරිය සමඟ මම සතියකට කොපමණ කාලයක් වැය කරනවාද?
-
මගේ සහකරු හෝ සහකාරිය දරුවන්ව නිවැරදි කරන විට ඊට සහය වීමට මට හැක්කේ කෙසේද?