Skip to content

පටුනට යන්න

උත්සාහය අත් නොහැර

උත්සාහය අත් නොහැර

අයර්ලන්තයෙන් ලිපියක්

උත්සාහය අත් නොහැර

වෙනදා වගේම එදත් පොද වැස්සක් වැටුණා. මගේ වාහනයේ වීදුරුවට වැහි පොද වැටුණු නිසා මට වට පිටාව පැහැදිලිව පෙනුණේ නැහැ. කිලෝමීටර් 16ක් විතර ගියාම මට උස් බිමක් හමු වුණා. එතන ඉඳලා අයර්ලන්තයේ බස්නාහිරට වෙන්න පිහිටා තිබෙන වෙස්ට්පෝර්ට් කියන මුහුදුබඩ නගරය පෙනෙනවා. ටික වේලාවකින් මීදුම නැති වෙලා මුළු ප්‍රදේශයම හිරු එළියෙන් ආලෝකවත් වූ නිසා අවට තිබුණු දූපත් සියල්ල පැහැදිලිව දැකගන්න පුළුවන් වුණා. ඒ දර්ශනය හරිම සුන්දරයි. ඒ දූපත්වල වැඩිය මිනිසුන් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි සමහර අය සතුන්ට තණකොළ කවන්න උන්ව බෝට්ටුවලින් ඒ දූපත්වලට ගෙනියනවා.

දුර ඈතට විහිදී ගිය කඳු යාය බලන්නත් ලස්සනයි. ඉර බහින වෙලාවට කඳු සහ ඒ අවට වැවී තිබෙන ගස් මතට හිරු රැස් වැටෙන නිසා එහි අලංකාරය තවත් වැඩි වුණා. කේතුවක හැඩය ගත් ක්‍රෝ පැට්‍රික් කන්දත් පැහැදිලිව පෙනුණා. මම ඒ කන්දත් පහු කරගෙන ජනාකීර්ණ ප්‍රදේශයකට ආවා. මේ පළාතේ අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන එතරම් අහලා තිබුණේ නැහැ.

මම මේ ගමන යන්නේ යම් කෙනෙකුව හොයාගෙනයි. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කළ කෙනෙක්. හැබැයි දැන් එයා පදිංචිය වෙනස් කරලා වෙන තැනකට ගිහින්. ඒ ප්‍රදේශයේදීත් බයිබල් පාඩම දිගටම කරන්න කැමතියි කියලා ඔහු ලිපියකින් දැනුම් දීලා තිබුණා. ඒ පුද්ගලයා තරුණ කෙනෙක්ද විවාහකයෙක්ද එයා උනන්දුවක් දක්වන්නේ මොන වගේ දේවලටද කියලා මම දන්නේ නැහැ. මඟදී මම කල්පනා කරලා බැලුවා මගේ ළඟ බයිබලයකුයි ඒ ආශ්‍රිත පොතුයි තියෙනවාද කියලා. මේ පුද්ගලයට බයිබලය ගැන ඉගෙනගන්න තියෙන ආශාව තවත් වැඩි කරන්න මම මොනවා ගැනද එයත් එක්ක කතා කරන්නේ කියලත් මම කල්පනා කළා.

ඊටපස්සේ මම ක්‍රෝ පැට්‍රික් කන්ද පහු කළා. පාළුවට ගිය කෙත්වතුවල 19වන සියවසේදී විතර හදලා තිබුණු ගල් බැමි තියෙනවා මම දැක්කා. ඈතින් පෙනුණු ගස් කොළන් සුළඟට ලෙළදුන් ආකාරය හරිම සුන්දරයි.

මේ ප්‍රදේශයේ ගෙවල්වලට අංකවත් පාරවල්වලට නම්වත් නැහැ. මම හොයපු කෙනාගේ ලිපිනයේ තිබුණෙත් නිවසේ නමයි නගරයේ නමයි විතරයි. ඒ නිසා මම මුලින්ම ඒ ප්‍රදේශයේ තැපැල් මහත්තයාව හමුවෙන්න ගියා. ටික දුරක් යද්දී මට තැපැල් කන්තෝරුව හොයාගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙලාවේ තැපැල් කන්තෝරුව වහලයි තිබුණේ. ඒ නිසා ළඟපාත තිබුණු කඩේකට ගිහින් මම හොයන පුද්ගලයාගේ නිවසට යන විදිහ ගැන එතනින් ඇහුවා. කඩේ මුදලාලි ගෙවල් කිහිපයක් තියෙන නගරයකට යන විදිහ මට කිව්වා.

කිලෝමීටර් අටක් විතර ගියාට පස්සේ කඩේ මුදලාලි කිව්ව විදිහටම වංගුවක් එක්ක වම් පැත්තේ තිබුණු පොඩි පාරක් මට හම්බ වුණා. මම ඒ ළඟපාත තිබුණු ගෙදරකට ගිහින් දොරට තට්ටු කළාම වයසක කාන්තාවක් එළියට ආවා. මම හොයන කෙනා ගැන ඇගෙන් ඇහුවම මේ පළාතේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා නම් මම දන්නේ නැහැ. දන්න හඳුනන කිහිපදෙනෙක්ට දුරකථන ඇමතුම් දීලා ඒ පුද්ගලයා ගැන හොයලා බලන්න ඇය පොරොන්දු වෙමින් මට ගේ ඇතුළට එන්න කිව්වා.

ඇය කතා කරන ගමන් මං දිහා හොඳට බැලුවා. මම කවුද මම ඇවිත් තියෙන්නේ මොකටද කියලා ඇය කල්පනා කරන්න ඇති. ඒ නිසා “මම ආවේ මං හොයන පුද්ගලයාට වැදගත් පණිවිඩයක් කියන්න” කියලා මම ඇයට පැවසුවා. ඒ නිවසේ යේසුස්ගේ සහ මරියාගේ පින්තූර තිබුණා. ඒ වගේම මේසේ උඩ කොන්තයක් තියෙනවත් මම දැක්කා.

ටික වෙලාවක් යද්දී ඒ කාන්තාවගේ ස්වාමිපුරුෂයාත් ඇවිත් ඒ පළාතේ තොරතුරු ගැන මාත් එක්ක කතා කළා. කිහිපදෙනෙකුටම ඇය දුරකථනයෙන් ඇමතුවත් කිසිම කෙනෙක් ඒ පුද්ගලයා ගැන දැනගෙන හිටියේ නැහැ. කොහොමවුණත් ඒ දෙන්නා මං වෙනුවෙන් කළ උදව්වලට මම ඒගොල්ලන්ට ස්තුති කළා. රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ නිසා මම ගිහින් වෙන දවසක එන්නම් කියලා ඒ දෙන්නට කිව්වා.

මම ඊළඟ සතියේ ආවම ඒ පළාතේ තැපැල් මහත්තයාව මට මුණගැහුණු නිසා මම හොයන පුද්ගලයාගේ ගෙදරට යන විදිහ ගැන එයාගෙන් අහගත්තා. ටික දුරක් යද්දී එයා කිව්ව විදිහටම මට හතරමං හන්දියක් හම්බ වුණා. එතනින් වමට හැරිලා යද්දී ගල් පාලමක් තියෙනවා කියලා කිව්වත් මට ඒක හොයාගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි එයා කිව්ව විදිහට කන්දක් උඩ තියෙන ගෙයක් නම් මම දැක්කා.

ඒ ගෙදරට යන ගමන් මොනවද එයත් එක්ක කතා කරන්නේ කියලා මම කල්පනා කළා. මම ඒ ගෙදරට ගිහින් දොරට තට්ටු කළාම වයසක කෙනෙක් දොර ඇරියා. මම හොයන කෙනා ගැන එයාගෙන් ඇහුවම ඒ පුද්ගලයාගේ නිවස තියෙන්නේ එහා පැත්තේ කියලා එයා කිව්වා. ඊට පස්සේ මම ඒ ගෙදරට ගිහින් දොරට තට්ටු කළා. ඒ ගේ වටේට ලොකු ගස් වැවිලා තිබුණා. අත්ලාන්තික් සාගරය තිබුණෙත් ඒ කිට්ටුවමයි. රළ පහර වෙරළට ඇදීගෙන එන විදිහ හරිම ලස්සනයි. මම ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. හැබැයි ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ.

ඒ නිසා ආයෙත් දවසක මම ඒ ගෙදරට ගියා. එදත් එහේ කවුරුත් හිටියේ නැහැ. හැබැයි මම ඊළඟ වතාවේ ඒ ගෙදරට ගියාම තරුණයෙක් හිටියා. ඒ තරුණයා මට මෙහෙම කිව්වා. “ඔයා හොයන ගේ මේක තමයි. ඒත් ඔයා හොයන කෙනා මම නෙවෙයි. එයා පදිංචිය මාරු කළා. දැන් එයා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ.” ඊට පස්සේ මම එයාට පැහැදිලි කළා මම ඒ පුද්ගලයාව හොයන්නේ ඇයි කියලා. මීට කලින් ඒ තරුණයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහිලා නැහැ. හොර කල්ලියක් එයාගේ බඩු හොරකම් කරලා තිබුණු නිසා දෙවි ඒ වගේ දුෂ්ටකම්වලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා එයා මගෙන් ඇහුවා. එතකොට ඒ ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලි කරලා තිබුණු මුරටැඹ සහ පිබිදෙව්! සඟරා මම එයාට දුන්නා. එයා හරිම ආසාවෙන් ඒ සඟරා ගත්තා.

යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න කැමති අයව සොයන්න කියලා ශුද්ධ බයිබලයේ ආඥාවක් දීලා තියෙනවා. මම හෙව්ව කෙනාව මට මුණගැහුණේ නැති එක ගැන මට දුකයි. හැබැයි ඒ වෙනුවෙන් මම දැරුව උත්සාහය අපතේ ගියේ නැහැ. යෙහෝවා දෙවි ගැන දැනගන්න කැමති අය බොහෝදෙනෙක් අයර්ලන්තයේ ජීවත් වෙනවා. සමහරවිට මට මුණගැහුණු ඒ තරුණයත් දෙවිගේ උපකාරය ඇතුව දෙවිට සේවය කරන්න ඉඩ තියෙනවා.