Skip to content

පටුනට යන්න

“ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි”

“ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි”

දෙවිට ළං වෙන්න

“ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි”

නික්මයාම 3:1-10

“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 6:3) ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි තරම් ශුද්ධ කෙනෙක් තවත් නැති බවයි. එවැනි දෙවි කෙනෙක් අපි වැනි පව්කාරයන් ගැන සැලකිල්ලක් දක්වයිද කියා සමහරවිට ඔබ කල්පනා කරයි. මෙය තේරුම්ගැනීම සඳහා බයිබලයේ වාර්තා වී තිබෙන සිදුවීමක් අපි සලකා බලමු.—නික්මයාම 3:1-10.

පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස් දිනක් බැටළුවන්ව බලාගනිමින් සිටියදී කටුපඳුරක් ගිනිගනිමින් තිබෙනවා දුටුවා. එය ගිනිගත්තත් “නොදැවුණු” නිසා ඔහු කටුපඳුර අසලට ගියා. (නික්මයාම 3:2) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි දේවදූතයෙක් මාර්ගයෙන් ඔහුට මෙසේ පැවසුවා. “මෙතැනට ළං නොවන්න. ඔබ සිටගෙන සිටින්නේ ශුද්ධ භූමියකය. ඒ නිසා ඔබේ පාවහන් ගලවන්න.” (නික්මයාම 3:5, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි කටුපඳුර තුළින් මෝසෙස්ට කතා කළ විට ඒ අවට භූමියත් ශුද්ධ භූමියක් බවට පත් වුණා.

යෙහෝවා දෙවි මෝසෙස්ට කතා කළේ හොඳ හේතුවක් ඇතුවයි. දෙවි ඒ අවස්ථාවේදී මෝසෙස්ට මෙසේ පැවසුවා. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.” (නික්මයාම 3:7NW) ඊශ්‍රායෙල් සෙනඟ පීඩා විඳිනවා දෙවි දුටු අතර ඔවුන්ගේ වේදනාව ඔහුට හොඳින්ම දැනුණා. ඔවුන් විඳින වේදනාව “මට තේරුම්ගත” හැකියි කියා දෙවි පැවසුවේ ඒ නිසයි. ඉන් පෙනී යන්නේ “දෙවි අන් අයගේ දුක දැනෙන දයාන්විත කෙනෙක්” බවයි.

යෙහෝවා දෙවිට දැනුණු වේදනාව හැඟීමකට පමණක් සීමා වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ඊජිප්තුවේ වහලුන්ව සිටි තම සෙනඟව ගලවාගෙන ඔවුන්ව “කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට” ගෙන යෑමට පියවර ගත්තා. (නික්මයාම 3:8) දෙවි ඒ සඳහා මෝසෙස්ව පත් කරමින් ඔහුට මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්න.” (නික්මයාම 3:10) එයට අවනත වූ මෝසෙස් ක්‍රිස්තු පූර්ව 1513දී ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් මුදවාගත්තා.

අද දිනත් තම සෙනඟ විඳින දුක් වේදනාවන් යෙහෝවා දෙවිට දැනෙන අතර ඔවුන් ඒ ගැන දෙවිට කන්නලව් කරද්දී දෙවි ඒවාට සවන් දෙනවා. යෙහෝවා දෙවි තම සෙනඟ ගැන ඉතා ‘සැලකිලිමත් නිසා’ ඔවුන්ට උපකාර කිරීමට ඔහු පෙලඹෙනවා.—1 පේතෘස් 5:7.

දෙවි දයානුකම්පිත නිසා අපි වැනි පව්කාර මිනිසුන්ට ඔහුගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට ඔහු උපකාර කරනවා. (1 පේතෘස් 1:15, 16) දැඩි කලකිරීමකින් පසු වූ එක් කාන්තාවක් ගිනිගත් කටුපඳුරේ සිද්ධියෙන් මහත් සහනයක් ලැබුවා. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළ අවස්ථාවේ ඒ අවට භූමිය ශුද්ධ තත්වයකට පත් කරන්න ඔහුට පුළුවන් නම් මං වගේ කෙනෙක්ව ඔහු ඉදිරියේ පවිත්‍ර තත්වයකට ගෙන එන්නත් ඔහුට පුළුවන්. ඒක දැනගෙන ඉන්න එක මට ලොකු සහනයක්.”

ඉතා දයානුකම්පිත යෙහෝවා දෙවි ගැන තවත් ඉගෙනගැනීමට ඔබ කැමතිද? ‘අපව දූවිල්ලෙන් සෑදූ බව දෙවි සිහි කරන’ නිසා ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නවා. ඒ නිසා යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට හැකියි.—ගීතාවලිය 103:14.