Skip to content

පටුනට යන්න

තීරණයක් ගත යුතු සුදුසුම කාලය

තීරණයක් ගත යුතු සුදුසුම කාලය

තීරණයක් ගත යුතු සුදුසුම කාලය

“දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.”—උත්පත්ති 1:27, නව ලොව පරිවර්තනය, NW.

ඉහත වදන් රැගෙන තිබෙන්නේ ශුද්ධ බයිබලයෙනුයි. එම වදන්වලින් කියවෙන්නේ “සෑම දෙයක්ම නියමිත කාලයට” සිදු කරන යෙහෝවා දෙවි මුල්ම මිනිස් යුවළ වූ ආදම් සහ ඒවව නිර්මාණය කිරීම ගැනයි. (දේශනාකාරයා 3:11NW) ඔවුන් දෙදෙනාව නිර්මාණය කිරීමෙන් පසු යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැක බලාගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.”—උත්පත්ති 1:28NW.

එසේ පැවසීමෙන් මිනිස් වර්ගයා සම්බන්ධයෙන් තම අරමුණ ගැන දෙවි ඔවුන්ට හෙළි කළා. දරුවන්ව බිහි කරමින් පොළොව රැක බලාගෙන එය පාරාදීසයක් බවට පත් කිරීමේ කාර්යය දෙවි ඔවුන්ට පැවරුවා. නමුත් ඔවුන් මිය යා යුතු දවස හෝ වේලාව දෙවි නියම කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දෙවිට කීකරු වෙන තාක්කල් ප්‍රීතියෙන් හා සාමයෙන් පොළොව මත සදහටම ජීවත් වීමේ මහඟු වරප්‍රසාදය දෙවි ඔවුන්ට ලබා දුන්නා.

කොහොමවුණත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වීම කනගාටුවට හේතුවක්. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු මිනිස් වර්ගයාම මහලු වී මරණය අද්දකිනවා. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “මව්කුසෙන් නික්මෙන මනුෂ්‍යයා ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකටය. එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත.”—යෝබ් 14:1NW.

“එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 5:12) එම බයිබල් පදයේ ‘එක් මිනිසෙක්’ කියා හඳුන්වා තිබෙන්නේ ආදම්වයි. දෙවි ඔවුන්ට ඉතා පැහැදිලිව පනවා තිබූ ආඥාවට ආදම් අකීකරු වුණා. (උත්පත්ති 2:17) ඒ නිසා මුළු මිනිස් වර්ගයාටම පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමට තිබූ අනගි අවස්ථාව ඔහු නැති කර දැමුවා. ඒ නිසා පාරාදීස පොළොවක සදාකාල ජීවිතය භුක්ති විඳින්න මිනිසුන්ට අවස්ථාව ලැබෙන්නේ නැද්ද?

සියල්ල අලුත් කරන කාලයක්

ආදම් දෙවිට අකීකරු වී බොහෝ කාලයක් ගත වූ පසු එක් බයිබල් ලේඛකයෙක් මෙවැනි දෙයක් සඳහන් කළා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29NW) එම වදන්වලින් පැහැදිලි වන්නේ මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිට තිබූ අරමුණ දෙවි ඉටු කිරීමට නියමිත බවයි. ඒ කාලයේදී දෙවි කිරීමට යන දේවල් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. දෙවි “ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” එම පොරොන්දුව දීමෙන් පසු “බලන්න! මම සියල්ල අලුතෙන් සාදන්නෙමි” කියා දෙවිම පවසා තිබෙනවා.—එළිදරව් 21:4, 5.

සෑම දෙයකටම සුදුසු කාලයක් තිබෙනවා නම් ඉහත සඳහන් දේවල් දෙවි සිදු කරන්නේ කොයි කාලයේදීද? අපි ජීවත් වෙන්නේ ‘අන්තිම කාලයේ’ නිසා යෙහෝවා දෙවි ළඟදීම සියල්ල අලුත් කිරීමට නියමිත බව මිනිසුන්ට පෙන්වා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දැඩි උත්සාහයක් දරනවා. (2 තිමෝති 3:1) ඒ නිසා බයිබලය හොඳින් අධ්‍යයනය කර පාරාදීසයේදී ලැබෙන සතුටින් පිරි ජීවිතය ගැන තවත් දැනගන්න කියා අපි ඔබට උනන්දු කරන්න කැමතියි. එමෙන්ම “යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න. ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න” කියා බයිබලයේ සඳහන් දේට එකඟව ක්‍රියා කරන්න. (යෙසායා 55:6NW) ඔබේ ජීවිතයේ සිදු වන දේවල් තීරණය වන්නේ දෛවයෙන් නොවෙයි. ඒ වෙනුවට ඔබේ අනාගතය හා සදාකාල ජීවිතය තීරණය වෙන්නේ ඔබ ක්‍රියා කරන ආකාරය මතයි.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“බලන්න! මම සියල්ල අලුතෙන් සාදන්නෙමි”