Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය ක්‍රියාත්මක වූ අයුරු

දෙවිගේ බලය ක්‍රියාත්මක වූ අයුරු

දෙවිගේ බලය ක්‍රියාත්මක වූ අයුරු

තොරතුරු දැනුම් දීමට සහ යම් කාරණා හෙළි කිරීමට යෙහෝවා දෙවි ඔහුගේ බලය යොදාගන්නවා. අතීතයේ සිටි දාවිත් රජ මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න. මන්ද ඔබ මාගේ දෙවිය. ඔබේ මහත් බලය ඉතා අගනේය. අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට මඟ පෙන්වීම ලැබේවා!” (ගීතාවලිය 143:10, නව ලොව පරිවර්තනය, NW) දාවිත් රජ එය පැවසීමට වසර සියගණනකට කලින් දෙවිට විශ්වාසවන්තව සිටි යෝසෙප් නමැති තරුණයා දෙවිගේ බලයේ උපකාරයෙන් ඊජිප්තුවේ පාරාවෝ රජ දුටු සිහින දෙකක අර්ථය පහදා දුන්නා. යෝසෙප්ට එය කිරීමට හැකි වූයේ දෙවිගේ බලයෙන් බව පාරාවෝ රජට වැටහුණා. (උත්පත්ති 41:16, 25-39) යෙහෝවා දෙවි ඔහුගේ බලය යොදාගෙන අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් කලින්ම හෙළි කරනවා. එවැනි අනාවැකි දෙවි හෙළි කරනු ලබන්නේ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව යොදාගෙනයි. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට මෙම අනාවැකි මිනිසුන් සිතින් උපදවාගෙන පවසන ඒවා නොවෙයි. ඒ වෙනුවට දෙවිගේ සේවකයන්ට අනාවැකි කීමට හැකි වුණේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වී දෙවිගේ මඟ පෙන්වීම්වලට ඔවුන් කීකරු වූ නිසයි. (2 පේතෘස් 1:20, 21; 2 සාමුවෙල් 23:2; සෙකරියා 7:12; ලූක් 1:67; 2:25-35; ක්‍රියා 1:16; 28:25) ඒ අනුව බයිබලය ලියවී තිබෙන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් බව සහතික වීමට අපට හැකියි. (2 තිමෝති 3:16) අතීතයේදී දෙවි තම බලය යොදාගෙන ඔහුගේ සේවකයන්ට යම් කාරණා දැනුම් දී මඟ පෙන්වීම්ද ලබා දුන්නා. ඒ සඳහා දෙවි ඔවුන්ට දර්ශන සහ සිහින පවා දකින්න සැලැස්වූවා. (එසකියෙල් 37:1; යෝවෙල් 2:28, 29; එළිදරව් 4:1, 2; 17:3; 21:10) ඒ සෑම අවස්ථාවකදීම දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වූ නිසා දෙවිගේ අරමුණුවලට එකඟව කටයුතු කිරීමට ඔවුන් පෙලඹුණා.—දානියෙල් 7:1; ක්‍රියා 16:9, 10; එළිදරව් 1:10, 11.

දෙවිගේ බලයේ උපකාරයෙන් දෙවිගේ අරමුණු ගැන ඇති අවබෝධය තවත් පුළුල් වෙනවාට අමතරව ඒ අරමුණුවලට එකඟව ක්‍රියා කිරීමටත් දෙවිගේ සේවකයන් පෙලඹුණා. උදාහරණයකට බව්තීස්ම වීමෙන් පසු යේසුස් පාළුකරයට යන්න ‘පෙලඹුණේ’ දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වූ නිසයි. (මාක් 1:12; ලූක් 4:1 බලන්න.) එමෙන්ම ඉතා උද්‍යෝගයෙන් සහ නිර්භීතව දෙවි වෙනුවෙන් කටයුතු කිරීමටත් දෙවිගේ බලය ඔහුගේ සේවකයන් තුළ පෙලඹවීමක් ඇති කරනවා. (යෝබ් 32:8, 18-20; මීකා 3:8; ක්‍රියා 18:25; රෝම 12:11; එෆීස 3:16; 1 තෙසලෝනික 5:19; 2 තිමෝති 1:6, 7) දෙවිගේ බලය පාලනයකින් තොරව කෙනෙකු තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා දෙවිගේ සේවකයන් තුළ එම බලය ක්‍රියාත්මක වෙද්දී මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට ඔවුන්ට හැකි වෙනවා. පළමු සියවසේදී දෙවිගේ සේවකයන්ට අනාවැකි පැවසීම සඳහා දෙවි තම බලය ලබා දුන්නා. ඔවුන්ද ඒ බලය ලැබීමෙන් පසු මනා අවබෝධයකින් යුතුව කටයුතු කළා. දෙවිගේ බලයෙන් අනාවැකි කීමේ දීමනාව ලබන අයව අධීක්ෂණය කළ යුත්තේ අනාගතවක්තෘවරුන් විසින්මයි කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.—1 කොරින්ති 14:31-33.

දෙවිගේ බලයෙන් ඉටු වන විවිධ කාර්යයන්. විදුලි බලය යොදාගෙන නොයෙකුත් කාර්යයන් ඉටු කරගත හැකියි. ඒ හා සමානව විවිධ කාර්යයන් ඉටු කිරීමට දෙවි තම බලය ඔහුගේ සේවකයන්ට ලබා දෙනවා. (යෙසායා 48:16; 61:1-3) උදාහරණයකට දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් ඉටු කළ විවිධ කාර්යයන් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. විවිධාකාර දීමනා තිබුණත් ඒ සියල්ල ලැබෙන්නේ දෙවිගේ බලයෙනි. විවිධාකාර සේවාවන් ඉටු වුණත් සිටින්නේ එකම ස්වාමීන්ය. බලය විවිධාකාරව ක්‍රියා කළත්, මෙම බලය සියලුදෙනා තුළ ක්‍රියාත්මක වීමට සලස්වන දෙවි එකම දෙවිය. දෙවිගේ බලය සියලුදෙනා තුළ ක්‍රියාත්මක වන්නේ යම් ප්‍රයෝජනවත් අරමුණක් ඉටු කිරීමටය.—1 කොරින්ති 12:4-7.

යම් කාර්යයන් ඉටු කිරීම සඳහා පුද්ගලයෙකුව සුදුසු තත්වයකට ගෙන ඒමට දෙවි තම බලය යොදාගන්නවා. උදාහරණයකට පුරාණයේදී සම්මුඛ වීමේ කූඩාරම සහ පූජකයන්ගේ ඇඳුම් සම්බන්ධ වැඩකටයුතු වෙනුවෙන් බෙසලෙල් සහ ඔහොලියාබ්ව යෙහෝවා දෙවි පත් කළා. සමහරවිට ඔවුන් දෙදෙනාට ඒ වැඩකටයුතු සම්බන්ධයෙන් යම් පලපුරුද්දක් තිබෙන්න ඇති. නමුත් දෙවි ඔවුන් දෙදෙනාට තම බලය ලබා දුන් විට දෙවි බලාපොරොත්තු වූ ආකාරයට සම්මුඛ වීමේ කූඩාරමේ වැඩ සහ පූජකයන්ගේ ඇඳුම් සැකසීමට ඔවුන්ට හැකි වුණා. මෙසේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දෙවිගේ ප්‍රඥාව ලැබුණු නිසා ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතා තවත් ප්‍රගුණ වුණා. එමෙන්ම ඒ කටයුතු සම්බන්ධයෙන් අන් අයව පුහුණු කිරීමටත් ඔවුන්ට හැකි වුණා. (නික්මයාම 31:1-11; 35:30-35) යෙහෝවා දෙවි තම බලය යොදාගෙන අනාගතයේදී සෑදීමට නියමිත දේවමාලිගාවේ සැලැස්ම දාවිත් රජට ලබා දුන්නා.—1 ලේකම් 28:12.

පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්ටත් දෙවි ඔහුගේ බලය ලබා දුන්නා. ඒ නිසා ආශ්චර්යවත් දේවල් කරන්නත් අනාවැකි පවසන්නත් ඊශ්‍රායෙල් ජාතියේ නායකයා ලෙස ක්‍රියා කරමින් ඔවුන්ගේ විනිශ්චයකරු ලෙස පෙනී සිටින්නත් ඔහුට හැකි වුණා. මෙයින් සංකේතවත් කළේ යේසුස් අනාගතයේදී කිරීමට නියමිත කාර්යභාරයයි. (යෙසායා 63:11-13; ක්‍රියා 3:20-23) කොහොමවුණත් ඊශ්‍රායෙල් ජාතිය බලාගැනීමේ වගකීම තමන්ට දරන්න අපහසු බව මෝසෙස් දෙවිට පැවසුවා. ඒ නිසා යෙහෝවා දෙවි මෝසෙස්ට සහය දීම සඳහා ඊශ්‍රායෙල්වරුන් අතරින් වැඩිමහල්ලන් 70දෙනෙකුට තම බලය ලබා දුන්නා. (ගණන් කතාව 11:11-17, 24-30) අනාගතවක්තෘ සාමුවෙල් දාවිත්ව අභිෂේක කළ අවස්ථාවේ සිට දාවිත් තුළත් යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට පටන්ගත්තා. ඒ නිසා අනාගතයේ රජකම භාරගැනීම සඳහා අවශ්‍ය පුහුණුව ඔහුට ලැබුණා.—1 සාමුවෙල් 16:13.

මෝසෙස්ගෙන් පසුව ඊශ්‍රායෙල් ජාතියට මඟ පෙන්වීම සඳහා යෙහෝවා දෙවි තම බලය ලබා දුන්නේ යොෂුවාටයි. ඒ නිසා ‘ප්‍රඥාවන්තව කටයුතු කරන්න’ ඔහුට හැකි වුණා. නමුත් මෝසෙස් මෙන් අනාවැකි කීමට හෝ ආශ්චර්යවත් දේවල් කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. (ද්විතීය කතාව 34:9-12NW) කොහොමවුණත් දෙවිගේ බලය යොෂුවාට ලැබුණු නිසා ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් සටන් කර ඔවුන්ට කානාන් දේශය උරුම කර දීමට ඔහුට හැකි වුණා. ඒ හා සමානව දෙවිගේ බලයේ උපකාරයෙන් ඔත්නියෙල්, ගිඩියොන්, යෙප්තා, සැම්සන් වැනි අයත් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් සටන් කළා.—විනිශ්චයකාරයෝ 3:9, 10; 6:34; 11:29; 13:24, 25; 14:5, 6, 19; 15:14.

විරුද්ධවාදීන් හමුවේ පවා තම ජීවිත පරදුවේ තබමින් යෙහෝවා දෙවිගේ වචනය දැනුම් දීමට ඔහුගේ සේවකයන්ට හැකි වුණේ දෙවිගේ බලයේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසයි.—මීකා 3:8.

යෙහෝවා දෙවි ඔහුගේ බලය තම සේවකයන්ට ලබා දීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලැබී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය අද්දැකීමට ලැබෙනවා.—එසකියෙල් 39:29; යෙසායා 44:3, 4.