Skip to content

පටුනට යන්න

මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොවෙයි නාට්සි සිර කඳවුරේදී මගේ ජීවිතේ බේරුණා

මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොවෙයි නාට්සි සිර කඳවුරේදී මගේ ජීවිතේ බේරුණා

මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොවෙයි නාට්සි සිර කඳවුරේදී මගේ ජීවිතේ බේරුණා

ජෝසෆ් හීසිග

“ඔයා මොනවද කියවන්නේ” කියලා මාත් එක්ක හිටිය අනිත් සිරකරුවාගෙන් මම ඇහුවා. එතකොට එයා කිව්වා “මම කියවන්නේ බයිබලය. ඔයාට මේක ඕනෙ නම් මේ සතියේ ඔයාට කන්න ලැබෙන පාන් ටික මට දෙන්න” කියලා.

මම ඉපදුණේ 1914 මාර්තු 1වනදා ජර්මනියේ මොසෙලි ප්‍රදේශයේයි. වර්ෂ 1918 පළමුවෙනි ලෝක මහා යුද්ධය අවසන් වෙනවත් එක්කම ප්‍රංශය, මොසෙලි ප්‍රදේශය අත් පත් කරගත්තා. ඉන්පසු 1940දී නැවතත් ජර්මනිය එම ප්‍රදේශය යටත් කරගත්තා. නමුත් 1945 දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වුණාම ඒ ප්‍රදේශය නැවතත් ප්‍රංශය යටතට පත් වුණා. ඒ ප්‍රදේශය කාලෙන් කාලෙට ජර්මනිය හා ප්‍රංශය යටතට පත් වුණ නිසා එක කාලෙකට ජර්මානු ජාතිකයෙක් විදිහටත් තවත් කාලෙකට ප්‍රංශ ජාතිකයෙක් විදිහටත් මට ජීවත් වෙන්න සිදු වුණා.

කතෝලිකයන් වූ මගේ දෙමව්පියන් හරිම භක්තිවන්තයි. හැමදාම රෑ නින්දට යන්න කලින් අපි පවුලක් විදිහට යාච්ඤා කළා. මායි මගේ පවුලේ අයයි ආගමට හුඟක් ළැදි නිසා ඉරිදා දවස්වලටයි විශේෂ නිවාඩු දිනවලටයි පල්ලි යන එක අපි අතපසු කළේ නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස

වර්ෂ 1935දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් පළමුවෙනි ලෝක මහා යුද්ධයට ආගම් හවුල් වුණු විදිහ ගැන මගේ දෙමව්පියන් එක්ක ටිකක් කතා කළා. ඒ සාකච්ඡාවෙන් පස්සේ බයිබලය ගැන ඉගෙනගන්න මටත් ආශාවක් ඇති වුණා. ඒ නිසා 1936දී මම පූජකවරයෙකුගෙන් බයිබලයක් ඉල්ලුවා. එතකොට ඒ පූජකවරයා කිව්වා බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න නම් ආගම ගැන ගැඹුරින් ඉගෙනගන්න ඕනේ කියලා. ඒක ඇහුවම මට බයිබලය ගැන ඉගෙනගන්න තිබුණු ආශාව තවත් වැඩි වුණා.

වර්ෂ 1937 ජනවාරි මාසයේදී මාත් එක්ක වැඩ කළ ආල්බීන් රලවිට්ස් බයිබලයේ තියෙන දේවල් ගැන මට කිව්වා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා ජර්මානු බයිබලයෙන් මට දෙවිගේ නම පෙන්නුවා. ඒ බයිබලය මට තියාගන්න දුන්න නිසා මම හැමදාම ඒක කියවන්න පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් සහභාගි වුණා.

මමයි ආල්බීනුයි 1937 අගෝස්තු මාසයේදී සාක්ෂිකරුවන් පැරිස් නුවර පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වුණා. එහෙදී මම මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. ටික කාලෙකට පස්සේ මම බව්තීස්ම වුණා. වර්ෂ 1939 ඉඳලා මම පූර්ණ කාලීන දේවසේවකයෙක් විදිහට සේවය කළා. මට සේවය කරන්න ලැබුණේ මෙට්ස් නගරයේයි. ඊට පස්සේ පැරිස්වල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට ආරාධනයක් ලැබුණා.

යුද්ධය නිසා පීඩා

මම ප්‍රංශ හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කළ නිසා 1939 අගොස්තු මාසයේදී බලධාරීන් මාව සිර කඳවුරට දැම්මා. ඒ නිසා මට වැඩි කාලයක් ශාඛා කාර්යාලයේ සේවය කරන්න ලැබුණේ නැහැ. මම සිර කඳවුරේ ඉද්දී නොහිතපු විදිහට ජර්මානු හමුදාව ප්‍රංශයට ප්‍රහාරයක් එල්ල කරලා ප්‍රංශය යටත් කරගත්තා. ඒ නිසා මම ආයෙත් ජර්මානු ජාතිකයෙක් වුණා. වර්ෂ 1940 ජූලි මාසයේදී මම නිදහස් වුණාට පස්සේ මට ආපහු මගේ දෙමව්පියන් ළඟට යන්න පුළුවන් වුණා.

අපි ජීවත් වුණේ නාට්සි පාලනය යටතේ නිසා හොර රහසේ තමයි අපිට බයිබලය ගැන ඉගෙනගන්න සිද්ධ වුණේ. අපිට මුරටැඹ සඟරා ලැබුණේ අපේ ක්‍රිස්තියානි කාන්තාවක් වන මාරෙස් අනසියාක්ගෙනුයි. වර්ෂ 1941දී ජර්මනියේ සාක්ෂිකරුවන් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දුන්නත් මට නම් ඒ වෙද්දී එච්චර ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ.

එක දවසක් නාට්සි රහස් පොලිසියේ නිලධාරියෙක් මාව හමු වෙන්න ආවා. එයා මට කිව්වා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව දැන් තහනම් කරලා තියෙන නිසා ඔයා තවදුරටත් සාක්ෂිකරුවෙක් විදිහටම ඉන්නවද කියලා. මම ‘ඔව්’ කියලා කිව්වම එයා කිව්වා එහෙනම් දැන් මාත් එක්ක යමු කියලා. ඒ වෙලාවේ මගේ අම්මා හොඳටම භය වෙලා කලන්තේ දාලා වැටුණා. ඊටපස්සේ ඒ නිලධාරියා කිව්වා එහෙනම් ඔයා ඉඳලා අම්මව බලාගන්න කියලා.

මගේ රැකියා ස්ථානයේ අය “හිට්ලර්ට ජය වේවා” කියන්න පුරුදු වෙලා හිටියා. ඒත් මම ඒ වගේ දේවල් කිව්වේ නැහැ. මම නාට්සිවරුන්ගේ පක්ෂයට බැඳෙන එක ප්‍රතික්ෂේප කළ නිසා මාව රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා. ඒගොල්ලෝ අනිත් සාක්ෂිකරුවන් ගැන මගෙන් තොරතුරු ඇහුවත් මම කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ නිසා නිලධාරියෙක් එයාගේ පිස්තෝලෙ මිටෙන් මගේ ඔලුවට හයියෙන් ගැහුවා. මට ඒ වෙලාවෙම සිහිය නැතුව ගියා. මම ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට සේවය කළ නිසා’ 1942 සැප්තැම්බර් 11වෙනිදා උසාවිය මට වසර තුනක සිර දඬුවමක් නියම කළා.

සති දෙකකට විතර පස්සේ මාව ස්වෙයිබෘකෙන් කියන නගරයේ තිබුණු වෙනත් සිර කඳවුරකට මාරු කළා. එහෙදී රේල් පාරවල් අලුත්වැඩියා කරන්න අපිට සිදු වුණා. රේල් පීලි මාරු කිරීම, ඒවා එකිනෙකට යා කිරීම වගේම රේල් පාර දිගට අලුතින් ගල් ඇතිරීම වගේ බර වැඩත් අපි කළා. හැබැයි උදේ කෑමට ලැබුණේ කෝපි කෝප්පයයි පොඩි පාන් කෑල්ලකුයි විතරයි. දවල්ටයි රෑටයි අපිට සුප් ටිකක් ලැබුණා. එතනින් මාව තව සිර කඳවුරකට මාරු කළා. ඊට පස්සේ මට වැඩ කරන්න ලැබුණේ සපත්තු හදන තැනක. මාස කිහිපයකට පස්සේ මාව ආපහු ස්වෙයිබෘකෙන්වල තිබුණු සිර කඳවුරට යැව්වා. ඊට පස්සේ මට කෙත්වතුවල වැඩ කරන්න සිද්ධ වුණා.

දෙවිගේ වචනයෙන් ශක්තිය ලබා

මගේ සිර කුටියේ හිටිය අනික් කෙනා නෙදර්ලන්ත ජාතික තරුණයෙක්. මම එයාගෙන් ඒ භාෂාව ටිකක් ඉගෙනගත්ත නිසා එයාට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙන්න මට පුළුවන් වුණා. එයා හුඟක් උනන්දුවෙන් ඒ දේවල් ඉගෙනගත්තා. දවසක් එයා මගෙන් ඇහුවා එයාව බව්තීස්ම කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම එයාව බව්තීස්ම කළා. ඊට පස්සේ එයා හරිම සතුටින් මට මෙහෙම කිව්වා. “ජෝසෆ් අපි දෙන්නම දැන් සහෝදරයෝ.” හැබැයි වැඩි කාලයක් යන්න කලින් මාව ආපහු රේල් පාරවල් අලුත්වැඩියා කරන්න යැව්ව නිසා අපි වෙන් වුණා.

මේ වතාවෙදි මගේ සිර කුටියේ හිටියේ ජර්මානු ජාතිකයෙක්. දවසක් හැන්දෑවක එයා බයිබලයක් කියවනවා මම දැක්කා. එදා තමයි එයා මට කිව්වේ මේ සතියටම ඔයාට ලැබෙන පාන් ටික මට දුන්නොත් මම මේ බයිබලය ඔයාට දෙන්නම් කියලා. මමත් ඒකට එකඟ වුණා. සතියකට කන්න ලැබෙන පාන් වෙන කෙනෙක්ට දෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් එහෙම කළ එක ගැන මම කවදාවත් දුක් වෙන්නේ නැහැ. ‘මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවා දෙවිගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්’ කියා යේසුස් පැවසූ වදන් සැබෑවක් බව මම ඇද්දැක්කා.—මතෙව් 4:4.

මේ සිර කඳවුරේ සාක්ෂිකරුවන්ට බයිබලයක් ළඟ තියාගන්න අවසර තිබුණේ නැහැ. ඒ නිසා මට ලැබුණු බයිබලය ආරක්ෂා කරගන්න එක ලොකු අභියෝගයක් වුණා. මම රෑට බයිබලය කියෙව්වේ කිසිමකෙනෙකුට නොපෙනෙන විදිහටයි. සමහර වෙලාවට නිලධාරීන් ඇවිල්ලා අපේ සිර කුටි පරීක්ෂා කරනවා. ඒ නිසා උදේ ඉඳන් හවස් වෙන කල්ම මම බයිබලය මගේ කමිසේ ඇතුළේ හංගගෙනයි හිටියේ.

දවසක් වැඩට යද්දී මට බයිබලය ගෙනි යන්න අමතක වුණා. ඒ නිසා එදා වැඩ ඉවර වුණු ගමන් මගේ බයිබලේ තියෙනවාද කියලා ගිහින් බැලුවා. ඒත් ඒක තිබුණේ නැහැ. මම ඒ වෙලාවෙම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලුවා. ඊටපස්සේ මම මුරකරු ළඟට ගිහින් කිව්වා කවුරු හරි කෙනෙක් මගේ පොතක් අරන් ගිහින්, මට ආපහු ඒක ඕනෙ කියලා. ඒත් මුරකරු මං කිව්ව දේ ගණන් ගත්තේ නැහැ. කොහොමවුණත් අන්තිමේදී මට බයිබලය ලැබුණා.

දවසක් මම නාන තැනට ගියාම එතන මුරකරුවෙක් හිටිය නිසා කමිසේ ඇතුළේ තිබුණු මගේ බයිබලය හංගගන්න සිද්ධ වුණා. මුරකරු අහක බලන කල් ඉඳලා මම ඇඳගෙන හිටපු ඇඳුම් එක්ක බයිබලයත් හංගලා තිබ්බා. ඊටපස්සේ මම නාලා අලුත් ඇඳුම් ඇඳගන්නකොට ආයෙත් බයිබලය අරන් මගේ කමිසේ ඇතුළෙන් දාගත්තා.

කලකිරීම් මැද දිරිගැන්වී

වර්ෂ 1943 එක උදෑසනක සිරකරුවන් එළිමහනේ රැස් වෙලා හිටියා. ඒ අය අතරේ ආල්බීන් ඉන්නවා දැක්කම මට පුදුම සතුටක් දැනුණා. ආල්බීන් මාව දැක්කම එයත් හුඟක් සතුටු වුණා. එයා සංඥාවකින් මට කිව්වා ලියුමක් දෙන්නම් කියලා. ඊළඟ දවසේ ආල්බීන් මගේ ළඟින් යද්දී කාටත් නොදැනෙන විදිහට එයාගේ ලියුම මගේ ළඟින් වට්ටගෙන ගියා. ඒත් එතන හිටය මුරකරුවන් ඒක දැක්කා. ඒ නිසා අපි දෙන්නටම සති දෙකකට හුදෙකලා සිර ගෙවල්වල ඉන්න සිද්ධ වුණා. එහෙදී අපිට කන්න ලැබුණේ පරණ පාන්. නිදාගත්තේ ලෑලි උඩ. පොරවන්න රෙද්දක්වත් තිබුණේ නැහැ.

ඊටපස්සේ මාව සීක්බුර්ක් නගරයේ තිබුණු සිර කඳවුරකට මාරු කළා. එහෙදී මට යකඩ කම්හලක වැඩ කරන්න සිද්ධ වුණා. මට කරන්න තිබුණේ හුඟක් අමාරු වැඩ. සමහරදාට රසවත් කේක්, පළතුරු වගේ දේවල් මට හීනෙන් පෙනුණා. ඒත් හරි හැටි කෑමක් ලැබුණේ නැති නිසා මම හුඟක් කෙට්ටු වුණා. හැබැයි කවදාවත් මම බයිබලය කියවන එක නම් නතර කළේ නැහැ. ඒකෙන් තමයි මට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබුණේ.

නිදහස ලබා

වර්ෂ 1945 අප්‍රියෙල් මාසයේ දවසක මුරකරුවන් සිරකඳවුරේ ගේට්ටු ඇරලා දාලා එතනින් පැනලා ගිහින් තිබුණා. එදා අපිට නිදහස ලැබුණත් මට එදාම ගෙදර යන්න පුළුවන් වුණේ නැහැ. මම අසනීපයෙන් හිටිය නිසා මට ඉස්පිරිතාලේ නවතින්න සිද්ධ වුණා. මට ටිකක් හොඳ වුණාට පස්සේ මැයි මාසේ අගදී මම ගෙදර ගියා. ඒ යද්දී ගෙදර අය හිතන් හිටියේ මං මැරිලා කියලයි. ඒත් මාව දැක්ක ගමන් අම්මා පුදුම වෙලා මාව බදාගෙන ඇඬුවා. ඊට ටික කාලෙකට පස්සේ මගේ දෙමව්පියන් මැරුණා.

මම ඉක්මනටම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. එහෙදී මට මගේ පරණ යාළුවන් හුඟදෙනෙකුව මුණගැහුණා. ඒ අයව දැක්කම මට ලොකු සතුටක් දැනුණා. ඒ වෙද්දී මං හුඟක් ආදරය කළ ආල්බීන් ජීවතුන් අතර හිටියේ නැහැ. මගේ ඥාති සහෝදරයෙක් වූ සාන් හීසිග සාක්ෂිකාරයෙක් වුණා කියලත් එයා යුද්ධයට හවුල් වීම ප්‍රතික්ෂේප කරලා තිබුණු නිසා එයාව ඝාතනයට ලක් කළා කියලත් මට දැනගන්න ලැබුණා. ඒ වගේම පැරිස් නගරයේ තියෙන ශාඛා කාර්යාලයේ මාත් එක්ක එකට සේවය කළ සාන් කැරාට වසර පහක් සිර කඳවුරේ දුක් පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා. *

මම ඉක්මනටම මෙට්ස් නගරයේ දේශනා සේවය පටන්ගත්තා. එහෙදී මම හුඟක් කිට්ටුවෙන් ආශ්‍රය කළ පවුලක් හිටියා. ඒගොල්ලන්ගේ දුවගේ නම ටීනා. එයා 1946 නොවැම්බර් 2වෙනිදා තමයි බව්තීස්ම වෙලා තියෙන්නේ. එයා හරිම උද්‍යෝගයෙන් දෙවිට සේවය කළ තරුණියක්. මගේ හිත එයාට ඇදිලා ගියා. අපි 1947 දෙසැම්බර් 13වෙනිදා විවාහ වුණා. ඊට පස්සේ ටීනා 1967 සැප්තැම්බර් මාසයේ ඉඳලා පූර්ණකාලීනව ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. වර්ෂ 2003 ජූනි මාසයේ ටීනා මිය යන තුරුම ඒ සේවයේ නියැලුණා. ඒ වෙද්දී ටීනාට වයස අවුරුදු 98යි. ටීනා නැති අඩුව මට තාමත් දැනෙනවා.

මට දැන් වයස අවුරුදු 90 පැනලා. බයිබලය නිතරම කියවීමෙන් ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන බව මම අද්දැකලා තියෙනවා. මම බඩගින්නේ හිටිය කාලවල් තිබුණු බව ඇත්තයි. ඒත් මම හැමදාම බයිබලය කියෙව්ව නිසා මගේ මනස ඒ තොරතුරුවලින් පිරිලා තිබුණා. යෙහෝවා දෙවි නිතරම මාව ශක්තිමත් කළා. ඇත්තටම ‘දෙවිගේ වචනය නිසා තමයි මගේ ජීවිතය ආරක්ෂා වුණේ.’—ගීතාවලිය 119:50.

[පාදසටහන]

^ 27 ඡේ. සාන් කැරාගේ ජීවිත කතාව දැනගැනීම සඳහා 1989 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 22-26 දක්වා පිටු බලන්න.

[21වන පිටුවේ පින්තූරය]

මගේ මිත්‍ර ආල්බීන් රලවිට්ස්

[21වන පිටුවේ පින්තූරය]

මාරෙස් අනසියාක්

[22වන පිටුවේ පින්තූරය]

සතියක කෑම පරිත්‍යාග කර මා ලබාගත් බයිබලය

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1946දී ටීනා සමඟ

[23වන පිටුවේ පින්තූරය]

සාන් කැරා තම බිරිඳ ටිටිකා සමඟ