Skip to content

පටුනට යන්න

මියන්මාරයේ කුණාටුවෙන් අවතැන් වූවත් . . .

මියන්මාරයේ කුණාටුවෙන් අවතැන් වූවත් . . .

මියන්මාරයේ කුණාටුවෙන් අවතැන් වූවත් . . .

වර්ෂ 2008 මැයි 2වෙනිදා මියන්මාරයේ දරුණු සුළි සුළඟක් හටගත්තා. ප්‍රතිඵලයක් ලෙස මුහුද අවට ප්‍රදේශ ජලයෙන් යට වුණා. මෙම පුවත ජාත්‍යන්තර පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂපාඨය බවට පත් වීමට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. මෙම විපතෙන් අතුරුදහන් වූ සංඛ්‍යාව හා මිය ගිය සංඛ්‍යාව 1,40,000 ඉක්මවා ගියා.

මේ කුණාටුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට කිසිම හානියක් සිදු වුණේ නැහැ. ඔවුන් ආරක්ෂාව පතා ගියේ උසස් ප්‍රමිතියකට අනුව නිමවා තිබූ ඔවුන්ගේ රාජ්‍ය ශාලාවලටයි. මේ කුණාටුවෙන් වෙනත් ප්‍රදේශයක අඩි 15ක් පමණ උසට ගං වතුර තත්වයක් ඇති වුණා. එයින් ආරක්ෂා වීමට සාක්ෂිකරුවන් 20දෙනෙක් හා ගම්වැසියන් 80දෙනෙක් රාජ්‍ය ශාලාවේ වහල මත පැය නවයක් තිස්සේ රැඳී සිටියා. ඔවුන්ගේ ජීවිත බේරුණත් ඒ ගම්මානයේ විසූ 300දෙනෙකුට තම ජීවිත අහිමි වුණා. මෙවන් ව්‍යසනයක් හමුවේ කිසිම හානියකට ලක් නොවුණේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලා පමණයි.

එම ව්‍යසනයෙන් දින දෙකකට පසු යාගොන් ප්‍රදේශයේ පිහිටි සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් එක් ගම්මානයක සිටි අවතැන් වූ සාක්ෂිකරුවන්ට සහනාධාර ලබා දීමට කණ්ඩායමක් පිටත් කළා. අවතැන් වූ සාක්ෂිකරුවන්ට අවශ්‍ය සහල්, නූඩ්ල්ස්, වතුර, ඉටිපන්දම් වැනි දෑ රැගෙන යෑමට ඔවුන්ට සිදු වුණේ මංකොල්ලකරුවන් සහ මළ සිරුරු පසු කරමිනුයි. මෙම ගම්මානයට මුලින්ම සහනාධාර රැගෙන ගියේ එම කණ්ඩායමයි. අවතැන් වූ සාක්ෂිකරුවන්ට සහනාධාර ලබා දීමෙන් පසු ඔවුන්ව සැනසීම සඳහා බයිබලය ඇසුරෙන් දිරිගැන්වෙන කතාද ඉදිරිපත් කළා. ඉන්පසු බයිබල් හා ඒ ආශ්‍රිත පොත් පත්ද ඔවුන්ට ලබා දුන්නා.

විපතට මුහුණ දුන් සාක්ෂිකරුවන් ශක්තිමත්ව කටයුතු කළ ආකාරය හරිම පුදුමයි. එක් ප්‍රදේශයක සිටි සාක්ෂිකරුවෙක් පැවසූ දේ සලකා බලන්න. “අපිට තිබුණු හැම දෙයක්ම නැති වුණා. අපේ ගෙවල් දොරවල්, වගා බිම් විනාශ වෙලා ගියා. ගංවතුර නිසා බොන්න තිබුණු වතුර ටිකත් දැන් නැහැ. ඒ වුණත් අනිත් අය වගේ අපේ සාක්ෂිකරුවන් ඒ දේවල් ගැන හිතහිතා දුක් වෙන්නේ නැහැ. සාක්ෂිකරුවන්ට යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා. අපි මේ පළාතේ හිටියත් වෙන පළාතකට ගියත් යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලබා දෙන උපදෙස් පිළිපදිනවා.”

තවත් ප්‍රදේශයක විපතට පත් වූ සාක්ෂිකරුවන් 30දෙනෙකුට ඔවුන්ගේ සහනාධාර ලබාගැනීම සඳහා පැය 10ක ගමනක් යෑමට සිදු වුණා. නමුත් ඔවුන් ඒ ගමන ගියේ යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීතිකා ගයමිනුයි. අදාළ ස්ථානයට යෑමට පෙර ළඟපාත ප්‍රදේශයක සාක්ෂිකරුවන්ගේ සමුළුවක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණු නිසා එම සමුළුවට හවුල් වෙන්න ඔවුන් තීරණය කළා. ඔවුන් එසේ කළේ දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීමට හා වෙනත් සාක්ෂිකරුවන්ව ඇසුරු කිරීමට එමගින් අවස්ථාව ලැබෙන නිසයි.

ඇති වූ සුළි සුළඟ නිසා සාක්ෂිකරුවන්ගේ නිවාස 35ක් විනාශ වූ අතර තවත් නිවාස 125කට සහ රාජ්‍ය ශාලා අටකට සුළු අලාභහානි සිදු වුණා. කොහොමවුණත් ශාඛා කාර්යාල ගොඩනැඟිලිවලට නම් හානි සිදු වුණේ නැහැ.

ඒ වුණත් සුළි සුළඟ නිසා ශාඛා කාර්යාලයට ඇතුල් වන මාර්ගයේ ගස් වැටී තිබුණා. ඒ නිසා කිසිම කෙනෙකුට ශාඛා කාර්යාලයට ඇතුල් වීමට හෝ ඉන් පිටතට පැමිණීමට හැකි වුණේ නැහැ. නමුත් සුළි සුළඟ නතර වී පැය කිහිපයක් ඇතුළත ශාඛා කාර්යාලයේ සේවය කළ සහෝදරයන් 30දෙනෙකුට වැඩි පිරිසක් එකතු වී වැටී තිබුණු ගස් කපා ඉවත් කිරීමට පටන්ගත්තා. ඔවුන් වැඩ කළ ආකාරය දැකීමෙන් ඒ අවට සිටි මිනිසුන් පුදුමයට පත් වුණා. වැඩි වේලාවක් ගත වීමට පෙර ශාඛා කාර්යාලයේ සේවය කළ සහෝදරියන් ගස් ඉවත් කරමින් සිටි අයට බීම සහ පළතුරු ලබා දුන්නා. එමෙන්ම ඔවුන් එම ස්ථානයේ සිටි අනිකුත් අයටත් සංග්‍රහා කළා. එතැනට පැමිණි මාධ්‍යවේදියෙක් සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකලාපය දැකීමෙන් පුදුම වී “කඩිසරව වැඩ කරන මේ අය කවුද” කියා ඇසුවා. ඔවුන් සාක්ෂිකරුවන් බව දැනගත් පසු ඔහු මෙසේ පැවසුවා. “අනිත් අයත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වගේ වැඩ කළා නම් කොච්චර හොඳද!”

විපතට පත් වූ අයට උපකාර කිරීමට සාක්ෂිකරුවන් මියන්මාරයේ ප්‍රදේශ දෙකක කමිටු දෙකක් පිහිටෙව්වා. ස්වේච්ඡා සේවකයන් සිය ගණනක් විපතට පත් වූ අයට උපකාර කිරීමේ වැඩවලට සහයෝගය දුන්නා. ඒ නිසා දවස් කිහිපයක් ඇතුළත නිවාස අහිමි වූ සාක්ෂිකරුවන් වෙනුවෙන් අලුත් නිවාස ඉදි කිරීමට හැකි වුණා. මේ ස්වේච්ඡා සේවකයන් එක් ප්‍රදේශයක සිටි සාක්ෂිකාර පවුලක් වෙනුවෙන් අලුතින් නිවසක් ඉදි කිරීමට පැමිණි අවස්ථාවකදී අසල්වාසීන් පුදුමයෙන් ඒ දෙස බලා සිටියා. එක් කාන්තාවක් මෙසේ පැවසුවා. “සාක්ෂිකරුවන් ඒගොල්ලන්ගේ ආගමේ අයගේ ගෙවල් හදලා දෙනවා. හැබැයි මගේ ආගමේ කිසිම කෙනෙක් මාව බලන්නවත් ආවේ නැහැ. අපරාදේ මටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න තිබුණා.”

මියන්මාරයේ එක් ප්‍රදේශයක ජීවත් වූ සාක්ෂිකාර පවුලකගේ නිවසක් කුණාටුව නිසා විශාල ලෙස අලාභහානි වුණා. ඒ නිවස සෑදීමට සාක්ෂිකරුවන් ගිය විට එම නිවසේ ජීවත් වූ අය ඔවුන්ට පැවසුවේ මෙයයි. “අපි ගැන කරදර වෙන්න එපා. අපේ නිවසට අලාභහානි වෙලා තිබුණත් අපිට කොහොමහරි මෙහෙ ඉන්න පුළුවන්. ඒත් සමහර සාක්ෂිකරුවන්ට ඉන්න එහෙමවත් තැනක් නැහැ. ඒ නිසා ගිහින් ඒ අයට උදව් කරන්න.”

කුණාටුව ඇති වූ අවස්ථාවේ යාගොන්වල ජීවත් වූ අය ආරක්ෂාව පතා පල්ලියකට ඇතුල් වීමට උත්සාහ කළා. නමුත් පල්ලියේ දොර වසා තිබූ නිසා පල්ලියට ඇතුල් වෙන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. කුපිත වූ ඒ මිනිසුන් පල්ලියේ දොර කඩන්න උත්සාහ කළා. කොහොමවුණත් සාක්ෂිකරුවන් ක්‍රියා කළේ ඊට වඩා වෙනස් ආකාරයටයි. කුණාටුව ඇති වූ අවස්ථාවේ අසරණ වී සිටි මිනිසුන්ට තමන්ගේ රාජ්‍ය ශාලාවලට පැමිණ ආරක්ෂා වෙන්න සාක්ෂිකරුවන් ඉඩ දුන්නා. උදාහරණයකට ඩාලා නම් ප්‍රදේශයේ සිටි සාක්ෂිකාර යුවළක් ආරක්ෂාව පතා පැමිණි අසල්වැසියන් 20දෙනෙකුට තමන්ගේ රාජ්‍ය ශාලාවේ නැවතීමට ඉඩහැරියා. ඒ අයගේ නිවාස විනාශ වී ගිය නිසා ඔවුන්ට යන්න තැනක් තිබුණේ නැහැ. පසු දිනයේදී කුසගින්නේ සිටි මේ අවතැන් වූ අයට ආහාර ලබා දෙන්නත් ඒ සාක්ෂිකාර යුවළ පියවර ගත්තා.

යාගොන්වල සිටි එක් පවුලක සාමාජිකයන් කිහිපදෙනෙක් පමණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වූ අතර පවුලේ අනික් අය වෙනත් ආගම්වලට අයත්ව සිටියා. නමුත් ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ඒ දරුණු සුළි සුළඟින් පසුව ඒ පවුලේ සියලුදෙනාම සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වුණා. එයට හේතුව ඔවුන්ගෙන් කෙනෙක් විස්තර කළේ මේ ආකාරයටයි. “සුළි සුළඟින් පස්සේ අපිව බලන්න එනවා කියලා අපේ ආගමේ අය කිව්වා. ඒ වුණත් කිසිම කෙනෙක් ආවේ නැහැ. අපිව බලන්න ආවේ සාක්ෂිකරුවන් විතරයි. ඕගොල්ලන් තමයි අපිට කන්න බොන්න දුන්නේ. ඇත්තටම ඕගොල්ලන් අනිත් හැම ආගමකටම වඩා වෙනස්.” එදින පැවැත්වූ රැස්වීමේදී සාකච්ඡා කළ “උපකාර පතා දෙවි දෙස බලන්න” යන මාතෘකාවෙන් යුත් මුරටැඹ ලිපියේ තිබූ තොරතුරු ඔවුන්ට මහත් සහනයක් වුණා. ඒ ලිපිය සාකච්ඡා කළ අතරවාරයේදී ඒ ගැන ඔවුන්ද අදහස් දැක්වූවා.

සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරමින් සිටි කාන්තාවක් සුළි සුළඟ ඇති වී සතියකට පසුව සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වුණා. එම රැස්වීමේදී ශාඛා කාර්යාලයෙන් එවූ ලිපියක් කියවනු ලැබූ අතර සුළි සුළඟින් පීඩා විඳි අය වෙනුවෙන් සාක්ෂිකරුවන් ක්‍රියා කළ ආකාරය සහ ජීවිත ගලවාගත් අයගේ අද්දැකීම් එහි සඳහන් වුණා. ඒ ලිපිය කියවද්දී එදින රැස්වීමට පැමිණි ඉහත කී කාන්තාවගේ ඇස්වලින් කඳුළු ආවා. කිසිම සාක්ෂිකරුවෙකුගේ ජීවිතයකට හානියක් නොවීම ගැන ඇය බෙහෙවින් සතුටු වුණා. ඉන්පසුව සාක්ෂිකරුවන් ඇයට සහනාධාර ලබා දී ඇගේ නිවස අසලින් කූඩාරමක්ද ඉදි කළා. සාක්ෂිකරුවන් තමන්ව හොඳින් බලාගත් බව ඇය පැවසුවා.

යේසුස් එක් අවස්ථාවකදී පැවසුවේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියායි. (යොහන් 13:35) එමෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අය අන් අය වෙනුවෙන් යහපත් දේවල් කිරීමේ ඇති අවශ්‍යතාව ගැනද බයිබලයේ පෙන්නුම් කර තිබෙනවා. (යාකොබ් 2:14-17) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම වදන් සිතට ගෙන තිබෙන නිසා උපකාර අවශ්‍ය අයට එය ලබා දීමට ඔවුන් දැඩි උත්සාහයක් දරනවා.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අය අන් අය වෙනුවෙන් යහපත් දේවල් කිරීමේ ඇති අවශ්‍යතාව ගැනද බයිබලයේ පෙන්නුම් කර තිබෙනවා