Skip to content

පටුනට යන්න

වරායන් දෙකකින් සමෘද්ධිමත් වූ කොරින්තිය

වරායන් දෙකකින් සමෘද්ධිමත් වූ කොරින්තිය

වරායන් දෙකකින් සමෘද්ධිමත් වූ කොරින්තිය

ඔබ ලෝක සිතියමකින් ග්‍රීසියේ පිහිටීම බලා තිබෙනවා නම් එය උතුරු ප්‍රදේශය සහ දකුණු ප්‍රදේශය ලෙස වෙන් වී තිබෙන ආකාරය දැක ඇති. එහි දකුණු ප්‍රදේශය හඳුන්වන්නේ පෙලෝපෝනිස් ලෙසයි. ඒ කොටස් දෙක සම්බන්ධ වී තිබෙන්නේ පටු බිම් තීරයකිනුයි. එය කොරින්ති දේශ සන්ධිය ලෙස හඳුන්වනවා.

අතීතයේදී මේ පටු බිම් තීරය හඳුන්වනු ලැබුවේ මුහුදු පාලම ලෙසයි. ඊට හේතුව එම බිම් තීරයේ නැඟෙනහිර දෙසින් සරොනික් බොක්ක පිහිටා තිබුණු නිසා ඒ හරහා ඊජියන් මුහුදට සහ මධ්‍යධරණී මුහුදට ඇතුල් විය හැකි වීමයි. එමෙන්ම මෙම පටු බිම් තීරයේ බස්නාහිර පැත්තෙන් කොරින්ති බොක්ක පිහිටා තිබුණු නිසා අයෝනියන් මුහුදට, ආද්‍රියාතික් මුහුදට සහ මධ්‍යධරණී මුහුදට ඇතුල් වීමට හැකි වුණා. පැරණි කොරින්ති නගරය පිහිටා තිබුණේ ඒ පටු බිම් තීරයට යාබදවයි. අතීතයේදී මේ නගරය සමෘද්ධිමත් ධනවත් මෙන්ම අනාචාරයෙන් පිරුණු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වුණා. එවකට සිටි දේවසේවකයෙක් වූ පාවුල් ශුභාරංචිය දේශනා කිරීමට එම නගරයට ගිය බව බයිබලයේ සඳහන් වෙනවා.

ප්‍රසිද්ධත්වයක් ඉසිලූ නගරයක්

කොරින්ති දේශ සන්ධියේ බස්නාහිර දෙසින් ලෙකැඔන් වරායත් නැඟෙනහිර දෙසින් සෙන්ක්‍රෙයාය වරායත් පිහිටා තිබුණා. මේ නිසා අතීතයේ සිටි භූගෝල විද්‍යාඥයෙක් වූ ස්ට්‍රෑබෝ කොරින්ති නගරය හැඳින්වූයේ එම වරායන් දෙකේ අධිපති ලෙසයි. ගොඩබිමෙන් සහ මුහුදෙන් පැමිණි සියල්ලන්ට කොරින්ති නගරය හරහා යෑමට සිදු වූ නිසා කොරින්ති නගරය ප්‍රසිද්ධ වුණා.

අතීතයේදී නැඟෙනහිර රටවලින් (කුඩා ආසියාව, සිරියාව, ෆිනීෂියාව, ඊජිප්තුව) වෙළඳ නැව් සෙන්ක්‍රෙයාය වරායට පැමිණ එහි භාණ්ඩ ගොඩ ගසණු ලැබුවා. ඉන්පසු එම භාණ්ඩ කොරින්ති පටු බිම් තීරය හරහා තනා තිබූ පීලි මාර්ගය ඔස්සේ ලෙකැඔන් වරායට ඇදගෙන යනු ලැබුවා. එහිදී එම භාණ්ඩ නැවතත් විශාල නැව්වලට පටවා අදාළ රටවල්වලට ප්‍රවාහණය කරණු ලැබුවා. බස්නාහිර රටවලින් (ඉතාලිය, ස්පාඤ්ඤය) පැමිණි වෙළඳ නැව් සම්බන්ධයෙන්ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා.— 27වන පිටුවේ කොටුව බලන්න.

අතීතයේ සිටි නාවිකයන් පෙලෝපෝනිස් අර්ධද්වීපය වටා යාත්‍රා කරනවා වෙනුවට කොරින්ති පටු බිම් තීරය හරහා තිබුණු පීලි මාර්ගය ඔස්සේ තම භාණ්ඩ ප්‍රවාහණය කළේ ඇයි? එයට හේතුව වූයේ එම අර්ධද්වීපය වටා කිලෝමීටර් 320ක පමණ දුරක් යාත්‍රා කිරීම ඉතා අනතුරුදායක වීමයි. බොහෝ අවස්ථාවලදී ඒ මාර්ගයේ දරුණු කුණාටු ඇති වුණා. පෙලෝපෝනිස් අර්ධද්වීපයේ පහළින්ම පිහිටි ‘මාලියා තුඩුව හරහා යද්දී නැවත ගෙදර එන්න හිතන්න එපා’ කියා කියමනක්ද තිබෙනවා.

වතුරෙන් යට වූ සෙන්ක්‍රෙයාය වරාය

මෙම වරාය පිහිටා තිබුණේ කොරින්ති නගරයේ සිට නැඟෙනහිර දෙසට කිලෝමීටර් 11ක් පමණ දුරකිනුයි. සතරවන සියවසේ අගභාගයේදී පමණ සෙන්ක්‍රෙයාය වරාය ආශ්‍රිතව භූමිකම්පා ඇති වූ නිසා එය ජලයෙන් යට වී තිබෙනවා. ස්ට්‍රෑබෝ පැවසූ ආකාරයට අතීතයේදී එම වරාය ඉතා කාර්යබහුල මෙන්ම බොහෝ මුදල් ඉපයූ වරායක් වී තිබෙනවා. එමෙන්ම රෝම දර්ශනවාදියෙක් වූ ලූෂස් පැවසුවේ ප්‍රසිද්ධත්වයට පත් මේ වරායට විවිධ රටවලින් නැව් බොහොමයක් පැමිණි බවයි.

රෝම අධිරාජ්‍යය පාලනය කළ කාලයේදී සෙන්ක්‍රෙයාය වරායට ජැටි දෙකක් තිබුණා. එම ජැටි දෙක වක්‍රාකාර ලෙස සාදා තිබූ නිසා අශ්ව ලාඩමක හැඩයක් ගත්තා. මෙම ජැටි දෙක අතර අඩි 450-600ක පමණ ඉඩ ප්‍රමාණයක් තිබුණු නිසා අඩි 130ක් දිග නැවකට වුණත් පහසුවෙන්ම එම ජැටි දෙක අතරින් යාත්‍රා කිරීමට හැකි වුණා. අතීතයේදී මෙම වරායේ එක් පැත්තකින් අයිසිස් දේවතාවිය වෙනුවෙන් ඉදි කළ දේවාලයක්ද අනික් පැත්තෙන් බොහෝදුරට ඇෆ්‍රෝඩයිටි නමැති දේවතාවිය වෙනුවෙන් සෑදූ දේවාලයක්ද දක්නට තිබුණා. මුහුදු ගමන්වලදී ආරක්ෂාව සලසා දීමට මෙම දේවතාවියන් දෙදෙනාට හැකියාව තිබූ බව මිනිසුන් විශ්වාස කළා.

වෙළඳ කටයුතු සඳහා බොහෝ නැව් මෙම වරායට පැමිණි නිසා එය ඉතා කාර්යබහුල තැනක් වුණා. ඒ ගැන එක් පොතක සඳහන් වුණේ මෙයයි. “සීත කාලයේදී සෙන්ක්‍රෙයාය වරාය සහ ලෙකැඔන් වරායන්වල බොහෝ නැව් ප්‍රමාණයක් නවතා තබනවා. ඒ කාලයේදී එම නැව්වලට අලුත් රුවල් අවශ්‍ය වන නිසා කූඩාරම් මසන අයම වෙහෙස නොබලා රුවල් සෑදීමේ කාර්යයෙත් නිරත වුණා.” (In the Steps of St. Paul) බොහෝවිට පාවුල් කොරින්ති නගරයේදී කූඩාරම් රෙදි මැසුවේ ඒ නිසා විය හැකියි.—ක්‍රියා 18:1-3.

පාවුල් මාස 18කට වඩා වැඩි කාලයක් කොරින්තියේ සිටි අතර ඉන්පසු ඔහු ක්‍රිස්තු වර්ෂ 52දී පමණ සෙන්ක්‍රෙයායෙහි සිට එෆීසය බලා පිටත් වුණා. (ක්‍රියා 18:18, 19) ඉන්පසු ගත වූ වසර හතර ඇතුළත සෙන්ක්‍රෙයායෙහි ක්‍රිස්තියානි සභාවක්ද පිහිටුවනු ලැබුවා. ‘සෙන්ක්‍රෙයාහි තිබූ සභාවෙහි’ සේවය කළ ක්‍රිස්තියානි සහෝදරියක් වූ ෆීබිට අවශ්‍ය උපකාර ලබා දෙන්න කියා පාවුල් රෝමයේ පිහිටි සභාවෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි.—රෝම 16:1, 2.

සෙන්ක්‍රෙයාය වරාය මේ වන විට වතුරෙන් යට වී තිබෙනවා. විනෝදය සඳහා එහි පැමිණෙන අය එම ස්ථානයේ පිහිනමින් විනෝද වෙනවා. නමුත් සෙන්ක්‍රෙයාය වරාය ගිලී තිබෙන බව දන්නේ සුළු පිරිසක් පමණයි. පුරාණයේදී එම ස්ථානයේ වෙළඳ කටයුතු සහ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් බහුලව සිදු වූ බව ඔවුන් දන්නේ නැහැ. කොරින්ති පටු බිම් තීරයේ බස්නාහිර දෙසින් පිහිටා තිබූ ලෙකැඔන් වරායත් ඒ හා සමාන ප්‍රසිද්ධත්වයක් ඉසිලුවා.

ලෙකැඔන් වරාය

කොරින්ති නගරයේ වෙළඳසැල්වල සිට ලෙකැඔන් වරායට යා හැකි මාර්ගයක් අතීතයේදී තිබුණා. එය හඳුන්වනු ලැබුවේ ලෙකැඔන් මාර්ගය ලෙසයි. වරාය සෑදීමට පෙර ඉන්ජිනේරුවන් වරාය අසල මුහුද ගැඹුරට හාරා ඉවත ලන වැලි වෙරළ තීරයේ ගොඩගසනු ලැබුවා. ඒ නිසා කොරින්ති බොක්ක හරහා හමා ආ තද සුළඟෙන් වරායේ නවතා තිබූ නැව්වලට ආරක්ෂාව ලැබුණා. අතීතයේදී මධ්‍යධරණී මුහුදේ තිබුණු විශාලම වරායක් ලෙස ලෙකැඔන් වරාය නම් දැරුවා. කැනීම්වලදී මේ වරාය ආසන්නයෙන් ප්‍රදීපාගාරයක් සොයාගෙන තිබෙනවා. එය සාදා තිබුණේ පන්දමක් අතැතිව සිටින පොසෙයිඩන් නම් ග්‍රීක දෙවියාගේ පිළිමයේ හැඩයටයි.

ලෙකැඔන් මාර්ගය දෙපස ද්විත්ව පවුරු ඉදි කර තිබුණා. එමෙන්ම එහි පදික වේදිකා, ගොඩනැඟිලි, දේවාල මෙන්ම කඩ පේළි දක්නට ලැබුණා. ඒ නිසා එහි ගැවසුණු වෙළඳුන්ට, වහලුන් ලෙස සේවය කළ අයට, කඩ හිමියන්ට, ව්‍යාපාරිකයන්ට සහ තවත් බොහෝදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරන්න පාවුල්ට කදිම අවස්ථාවක් ලැබෙන්න ඇති.

ලෙකැඔන් වරාය වෙළඳ නැව් නැවතූ වරායක් පමණක් නොවෙයි. මෙම වරායේ යුධ නැව් පවා නවතා තැබුවා. ක්‍රිස්තු පූර්ව 700දී පමණ ඇමෙයිනොක්ලස් නම් කොරින්ති ජාතිකයා ට්‍රයිරීම් නමැති ප්‍රබල යුධ නෞකාව සෑදුවේ මෙම වරායේදී බවට විශ්වාසයක් තිබෙනවා. එම නෞකාවල ඇති විශේෂත්වය නම් නෞකාව දෙපසින්ම හබල් පේළි තුන බැගින් තිබීමයි. ඇතන්ස් ජාතිකයන් ක්‍රිස්තු පූර්ව 480දී එම නෞකා යොදාගෙන සලාමිස්වලදී පර්සියානුවන්ව පරාජය කළා.

ඉතා කාර්යබහුල වරායක් වූ ලෙකැඔන් වරාය අද දක්නට නැහැ. එයට හේතුව එම වරාය මුහුදු වතුරට යට වී තිබීමයි. සියවස් ගණනාවකට කලින් එවැනි වරායක් තිබුණු බව අද එම ස්ථානයට යන කිසිම කෙනෙකුට සිතාගන්නවත් බැරි තරම්.

කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන් මුහුණ දුන් අභියෝග

කොරින්ති පටු බිම් තීරය දෙපසින් පිහිටි වරායන් දෙක නිසා කොරින්ති නගරය ප්‍රසිද්ධ වූ අතර විශාල ධනයක්ද රැස් කළා. උදාහරණයකට වරායේ නැව් නැවැත්වීම සඳහාත් පීලි හරහා කරත්තවලින් භාණ්ඩ ඇදගෙන යෑම සඳහාත් විශාල මුදලක් ගෙවීමට සිදු වුණා. ඊට අමතරව ගොඩබිම් ප්‍රවාහණ කටයුතු වෙනුවෙන්ද ඔවුන් මුදල් අය කළා. මේ ආකාරයට කොරින්ති නගරය විශාල මුදලක් ඉපයූ නිසා ක්‍රිස්තු පූර්ව හත්වන සියවස අවසානයේදී මිනිසුන්ගෙන් අය කරන බදු නැවැත්වීමට ඔවුන් පියවර ගත්තා.

එමෙන්ම කොරින්ති නගරයට පැමිණි වෙළඳුන්ගෙනුත් විශාල ලාබයක් ලැබුණා. එයට හේතුව එම වෙළෙඳුන් පහත් විනෝදාංශ ඇතුළු සුව පහසු දේවල් වෙනුවෙන් හිතු මතේට මුදල් වියදම් කිරීමයි. වෙළෙඳුන් මෙන්ම නාවිකයන්ද එවැනි දේවල් සඳහා මුදල් වියදම් කළා. ඊට අමතරව කොරින්ති නගරයේ මිනිසුන්ද නැව් අලුත්වැඩියා කිරීම ඇතුළු විවිධ සේවාවන් වෙනුවෙන් මුදල් ලබාගත්තා. කොරින්ති නගරයට පැමිණි අය නොසැලකිලිමත් ලෙස මුදල් වියදම් කළ බව ස්ට්‍රෑබෝද පැවසුවා.

පාවුල් කොරින්ති නගරයට ගිය වකවානුවේදී එහි 4,00,000කට ආසන්න ජනගහනයක් සිටියා. ඊට වඩා වැඩි ජනගහනයක් සිටියේ රෝමය, ඇලෙක්සැන්ඩ්‍රියාව, සිරියාවේ පිහිටි අන්තියෝකිය යන නගරවල පමණයි. කොරින්තියේ ග්‍රීකයන්, රෝමවරුන්, සිරියානුවන්, ඊජිප්තු ජාතිකයන් සහ යුදෙව්වන් වාසය කළා. කොරින්ති නගරය දෙපසින් ලෙකැඔන් වරායත් සෙන්ක්‍රෙයාය වරායත් තිබුණු නිසා සංචාරකයන්, ක්‍රීඩා තරඟ නැරඹීමට පැමිණෙන්නන්, කලාකරුවන්, දර්ශනවාදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු නොයෙකුත් අය මේ නගරයට පැමිණියා. ඔවුන් ඒ නගරයේ තිබූ දේවාලවලට ගොස් දෙවිවරුන් වෙනුවෙන් විවිධ පූජා ඔප්පු කළා. කොරින්තිය ධනවත් මෙන්ම ප්‍රසිද්ධ නගරයක් වීමට මේ හේතු බලපෑවත් ඒ අමුත්තන් නිසා කොරින්ති නගරයට යම් හානිකර බලපෑම්ද ඇති වුණා.

එක් පොතක සඳහන් වී තිබූ ආකාරයට “කොරින්ති නගරයට විවිධ රටවලින් මිනිසුන් පැමිණි නිසා ඔවුන්ගේ නරක ගති පැවතුම්වලට කොරින්ති ජාතිකයනුත් හුරු වුණා.” නැඟෙනහිර රටවලින් සහ බස්නාහිර රටවලින් පැමිණි අය නිසා එහි සදාචාරය පිරිහෙන්න පටන්ගත්තා. එය කොතරම් ප්‍රබලව බලපෑවාද කියනවා නම් කොරින්තිය තරම් අනාචාරයෙන් පිරුණු නගරයක් ග්‍රීසියේ තිබුණේ නැහැ. ඒ නිසා අනාචාරමය ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් කොරින්තිවරුන් ප්‍රසිද්ධත්වයක් ඉසිලුවා.

කොරින්ති නගරයේ පැවති ඒ වාතාවරණය නිසා එහි සිටි ක්‍රිස්තියානීන්ට දෙවි සමඟ තිබූ මිත්‍රත්වය රැකගැනීම අභියෝගයක් වුණා. ඒ නිසයි වැරදි ක්‍රියාවල නියැලීමෙන් වැළකී සිටින ලෙසට පාවුල් ඔවුන්ට ලිපි මාර්ගයෙන් දැඩි උපදෙස් දුන්නේ. ඒ උපදෙස් අතරට ගිජුකමෙන් වැළකීම, අනුන්ගේ දේවල් අයුතු ලෙස ලබාගැනීමෙන් සහ වේශ්‍යාකමින් වැළකීම ඇතුළත් වුණා. කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට කොතරම් නරක බලපෑම්වලට මුහුණ දීමට තිබුණාද කියා ඒ ගැන බයිබලයේ සඳහන් කර තිබෙන තොරතුරුවලින් තේරුම්ගත හැකියි.—1 කොරින්ති 5:9, 10; 6:9-11, 18; 2 කොරින්ති 7:1.

කොහොමවුණත් කොරින්ති නගරයට විවිධ රටවලින් සෙනඟ පැමිණි නිසා යම් යහපත් බලපෑම්ද ඇති වුණා. විවිධ ජාතීන්ගෙන් අලුත් අදහස් ලබාගැනීමට කොරින්තිවරුන්ට අවස්ථාව ලැබුණා. ඒ නිසා යම් කාරණා දෙස විවෘත මනසකින් බැලීමට ඔවුන්ට හැකි වුණා. බයිබල් විචාරකයෙක් පැවසුවේ “නැඟෙනහිරෙන් හා බස්නාහිරෙන් පැමිණි විදේශිකයන් නිසා කොරින්තිවරුන්ට දර්ශනවාදය සහ ආගම ගැන බොහෝ දේවල් දැනගැනීමට අවස්ථාව ලැබුණා” කියායි. මේ නිසා කොරින්තියේ සිටි අය නොයෙක් ආගම් ගැන දැන සිටි අතර පාවුල්ට එහි ශුභාරංචිය දේශනා කිරීම වඩාත් පහසු වුණා.

කොරින්ති නගරය ප්‍රසිද්ධ වුණෙත් ධනවත් වුණෙත් ලෙකැඔන් සහ සෙන්ක්‍රෙයාය වරායන් නිසයි. නමුත් ඒ නගරය දූෂිත තත්වයකට ඇද දැම්මෙත් එහි සිටි ක්‍රිස්තියානීන්ට නරක බලපෑම් ඇති කළෙත් එම වරායන් දෙකයි. අද අපි ජීවත් වන්නෙත් ඒ හා සමාන වාතාවරණයකයි. ධනවත් වීමට හා අනාචාරයේ යෙදීමට මේ සමාජයෙන් අපට මහත් බලපෑමක් එල්ල වන නිසා දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වීම අසීරු කාර්යයක් වී තිබෙනවා. ඒ නිසා පාවුල් කොරින්තිවරුන්ට දුන් උපදෙස් බයිබලයෙන් කියවා අදාළ කරගැනීම කොතරම් වටිනවාද!

[27වන පිටුවේ කොටුව/පින්තූරය]

 වරායන් දෙක අතර ප්‍රවාහණය

කොරින්ති පටු බිම් තීරය හරහා ඇළ මාර්ගය සෑදීමට පෙර සෙන්ක්‍රෙයාය හා ලෙකැඔන් වරායන් අතර භාණ්ඩ ප්‍රවාහණය වුණේ කෙසේද? කොරින්තියේ සිටි පාලකයන් එම වරායන් දෙක යා කරමින් දුම්රිය මාර්ගයකට සමාන මාර්ගයක් තැනුවා. * එමනිසා කරත්තවලට භාණ්ඩ පටවාගෙන වහලුන් ලවා ඒවා පීල්ල දිගේ ඇදගෙන යෑමට හැකි වුණා. සමහර අවස්ථාවලදී මේ ක්‍රමයට කුඩා බෝට්ටු පවා ඇදගෙන ගොස් තිබෙනවා.

[පාදසටහන]

^ 29 ඡේ. කොරින්ති පටු බිම් තීරය හරහා ඇළ මාර්ගය තැණූ ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා වර්ෂ 1984 දෙසැම්බර් 22 පිබිදෙව්! කලාපයේ 25-27 පිටු බලන්න. (සිංහලෙන් නැත)

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ග්‍රීසිය

කොරින්ති පටු බිම් තීරය

ලෙකැඔන් වරාය

පැරණි කොරින්ති නගරය

සෙන්ක්‍රෙයාය වරාය

කොරින්ති බොක්ක

සරොනික් බොක්ක

පෙලෝපෝනිස්

අයෝනියන් මුහුද

මාලියා තුඩුව

ජියන් මුහුද

[25වන පිටුවේ පින්තූරය]

කොරින්ති පටු බිම් තීරය හරහා ඇති ඇළෙන් බෝට්ටු යාත්‍රා කරන ආකාරය

[26වන පිටුවේ පින්තූරය]

ලෙකැඔන් වරාය

[26වන පිටුවේ පින්තූරය]

සෙන්ක්‍රෙයාය වරාය

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Todd Bolen/Bible Places.com