Skip to content

පටුනට යන්න

සියල්ල සිදු වෙන්නේ දෛවයට අනුවද?

සියල්ල සිදු වෙන්නේ දෛවයට අනුවද?

සියල්ල සිදු වෙන්නේ දෛවයට අනුවද?

“අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියා බයිබල් ලේඛකයෙක් වූ සලමොන් පැවසුවා. එනම් ඉපදෙන්න කාලයක් සහ මිය යන්න කාලයක්ද කඩා දමන්න කාලයක් සහ ගොඩනඟන්න කාලයක්ද ප්‍රේම කිරීමට කාලයක් සහ වෛර කිරීමට කාලයක්ද තිබෙන බව ඔහු සඳහන් කළා. නමුත් ඔහු මෙසේද පැවසුවා. “වෙහෙස මහන්සි වී වැඩ කරන්නාගේ උත්සාහයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?”—දේශනාකාරයා 3:1-9, නව ලොව පරිවර්තනය, NW.

ඉහත වදන් කියවීමෙන් සමහරුන් සිතන්නේ මිනිසුන්ගේ ජීවිතයේ සිදු වන සෑම දෙයක්ම කලින් නියම කර තිබෙන බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා කියායි. නමුත් දෛවය යන ඉගැන්වීම බයිබලයේ සඳහන් වෙනවාද? මුළු බයිබලයම ලියවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් නිසා එය බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟද කියා දැන් අපි සලකා බලමු.—2 තිමෝති 3:16.

බලාපොරොත්තු නොවූ සිදුවීම්

සලමොන් මෙවැනි දෙයක්ද සඳහන් කළා. “ඉර යට සිදු වන සියල්ල ගැන මම නැවත කල්පනා කළෙමි. වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි. බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි. මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි.” එයට හේතුව ඔහු විස්තර කළේ මෙසේයි. “මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.”—දේශනාකාරයා 9:11NW.

එසේ පැවසීමෙන් ඔහු අදහස් කළේ ජීවිතයේ සිදු වන සියල්ල කලින්ම නියම වී තිබෙන බව නොවෙයි. ඒ වෙනුවට ඔහු පැවසුවේ ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැකි’ බවයි. එනම් ජීවිතයේ කුමනාකාර දේවලට මුහුණ දීමට සිදු වෙයිද කියා නිශ්චය කිරීමට කිසිම මිනිසෙකුට හැකියාවක් නැති බවයි. ඊට හේතුව නොසිතූ මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සිදු වන විට ඒවා වළක්වන්න කිවෙකුට හැකියාවක් නොතිබීමයි.

එය තේරුම්ගැනීමට “වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති” කියා සලමොන් පැවසූ දේ ගැන සලකා බලන්න. වර්ෂ 1984දී එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරේ පැවැත්වූ ඔලිම්පික් තරඟාවලියේ මීටර් 3,000 කාන්තා ඉසව්වට බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහභාගි වුණා. ඔවුන් දෙදෙනාගේම ඉලක්කය වූයේ රන් පදක්කම දිනාගැනීමයි. තරඟයේ උණුසුම් අවස්ථාවේදී කරට කර සිටි ඒ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පය පැටලී වැටුණා. කනගාටුදායක ලෙස එක් ක්‍රීඩිකාවකට තරඟයෙන් ඉවත් වීමට සිදු වූ අතර අනික් ක්‍රීඩිකාවට හිමි වූයේ හත්වන ස්ථානයයි.

එම ක්‍රීඩිකාවන් දෙදෙනාට එවැනි දේකට මුහුණ දෙන්න සිදු වුණේ දෛවය නිසාද? සමහර අය එවැනි නිගමනයකට එළඹිය හැකියි. නමුත් විචාරකයන් පැවසුවේ ඒ ක්‍රීඩිකාවන් දෙදෙනා එකිනෙකා පරයා දිවීමට උත්සාහ කළ නිසා ඔවුන් දෙදෙනා පැටලී වැටුණු බවයි. සලමොන් පැවසූ ලෙස ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ’ දෙයක් ඔවුන් දෙදෙනාට සිදු වුණා. මින් පෙනී යන්නේ ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු නොවූ දේවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි. ඒ දේවල් සිදු වුණේ දෛවය නිසා කියා පවසන්න බැහැ.

එසේනම් “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියා බයිබලයේ සඳහන් වීමෙන් අදහස් වන්නේ කුමක්ද? අපට මුහුණ දීමට සිදු වන දේවලින් වැළකී සිටීමට අපට හැකිද?

සෑම දෙයකටම නියමිත කාලයක්

මිනිසුන්ගේ ජීවිතවල සිදු වන දේවල් කලින්ම නියම කර තිබෙන බව සලමොන් පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසීමට උත්සාහ කළේ යෙහෝවා දෙවිගේ සැලසුම් මිනිසුන්ගේ ජීවිතවලට බලපාන ආකාරය ගැනයි. එසේ පැවසිය හැක්කේ ඔහු මෙවැනි දෙයක් සඳහන් කළ නිසයි. “දෙවි මිනිසාට දුන් ජීවිතය ගැන මම හොඳ අවබෝධයක් ලබාගතිමි. ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි.”—දේශනාකාරයා 3:10, 11NW.

යෙහෝවා දෙවි මිනිසුන්ට විවිධාකාර වැඩ පවරා තිබෙන අතර නිදහසේ තීරණ ගැනීමටත් ඔවුන්ට අවස්ථාව දී තිබෙනවා. ඒ නිසා තමන් කැමති දේවල් කිරීමට මිනිසුන්ට හැකියි. නමුත් මිනිසුන් කරන ඕනෑම දෙයකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැක්කේ සුදුසු කාලයේදී ඒ දෙය කළොත් පමණයි. උදාහරණයකට “සිටුවන්න කාලයක්ද උදුරා දමන්න කාලයක්ද” ඇති බව සලමොන් පැවසුවා. (දේශනාකාරයා 3:2NW) හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම් බීජ වැපිරිය යුතු හොඳම කාලය කුමක්ද කියා ගොවියන් දන්නවා. නමුත් ගොවියෙක් සුදුසු කාලයේ නොව වෙනත් කාලයක බීජ වැපුරුවොත් තත්වය කුමක්ද? ඔහුට හොඳ අස්වැන්නක් නොලැබුණේ දෛවය නිසාද? කොහෙත්ම නැහැ. ඔහුට හොඳ අස්වැන්නක් නොලැබුණේ ඔහු සුදුසු කාලයේදී බීජ නොවැපුරූ නිසයි. යෙහෝවා දෙවි පිහිටුවා තිබෙන ස්වභාවික නියමයන් සැලකිල්ලට ගෙන කටයුතු කළා නම් ඒ ගොවියාට හොඳ ප්‍රතිඵල අත් කරගැනීමට අවස්ථාව තිබුණා.

දෙවි සෑම දෙයක්ම සිදු කරන්නේ යම් සැලැස්මකට අනුවයි. ඔහු සැලසුම් කර තිබෙන දේවල් කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන් නිතරම දෙවිගේ අරමුණු හෙවත් සැලසුම් සැලකිල්ලට ගෙන ඊට එකඟව ඔවුන්ගේ ජීවිතයේ ක්‍රියාකාරකම් සකස් කරගත යුතුයි. එසේ කළොත් පමණයි ඔවුන්ට හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක්කේ. දෙවිගේ අරමුණු හෙවත් ඔහු සැලසුම් කර තිබෙන දේවල් කිසිදාක වෙනස් නොවන බව බයිබලයේ සඳහන් මේ වදන්වලින් මනාව පැහැදිලි වෙනවා. ‘මාගේ මුවින් නික්මෙන මාගේ වචනය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.’—යෙසායා 55:11NW.

මිනිසුන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අරමුණු කර තිබෙන්නේ කුමක්ද? එම අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වන බවට ස්ථීර විය හැක්කේ කෙසේද?

දෙවි සෑම දෙයක්ම නියමිත කාලයට සකස් කරයි

‘දෙවි සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි’ කියා පැවසූ සලමොන් මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිට තිබෙන අරමුණ ගැන මෙසේ පැවසුවා. ‘දෙවි සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත. එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.’—දේශනාකාරයා 3:10, 11NW.

මිනිසුන් හැටියට අපි හැමෝම ජීවිතයේ අරමුණ ගැන කල්පනා කරනවා. ජීවිතයේ අරමුණ මහන්සි වී වැඩ කර අවසානයේදී මිය යෑම කියා සිතීමට කිසිම කෙනෙක් කැමති නැහැ. අපි හැමෝම අපේ අනාගතය ගැනත් කල්පනා කරනවා. සදාකාලයටම ජීවත් වෙන්න අපි කවුරුත් කැමතියි. එයට හේතුව ඔබ දන්නවාද? බයිබලයේ සඳහන් වෙන්නේ යෙහෝවා ‘දෙවි සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇති බවයි.’

සදාකල් ජීවත් වීමට මිනිසුන්ට තිබෙන ආශාව නිසා මරණයෙන් පසුවත් දිගටම ජීවත් විය හැකි බව බොහෝ අය විශ්වාස කරනවා. සමහරුන් සිතන්නේ කෙනෙක් මිය ගිය පසු ඒ කෙනාගේ ආත්මය ජීවත් වෙන බවයි. මිනිසුන් මිය ගියත් ඔවුන් නැවත ඉපදෙනවා කියා තවත් අය විශ්වාස කරනවා. එමෙන්ම තවත් අය විශ්වාස කරන්නේ මිනිසුන් ජීවිතයේ අද්දකින සෑම දෙයක්ම කලින් නියම වී තිබෙන බවයි. නමුත් ඒ කිසිම නිගමනයකින් මිනිසුන් සෑහීමට පත් වී නැහැ. ඊට හේතුව දෙවිගේ උපකාරය නොමැතිව මිනිසුන්ට ජීවිතයේ අර්ථය තේරුම්ගැනීමට නොහැකි වීමයි. සලමොන්ද පැවසුවේ “සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත” කියායි.

සියවස් ගණනාවක් තිස්සේ උගතුන්ද සදාකල් ජීවත් විය හැකිද කියා කල්පනා කර තිබෙනවා. නමුත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට ඔවුන්ටත් හැකි වී නැහැ. එසේනම් ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගත හැක්කේ කෙසේද? සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසුන්ගේ සිත්වලට දැමුවේ යෙහෝවා දෙවි නිසා ඔහුගෙන්ම ඒ ගැන දැනගැනීම වඩාත් සුදුසුයි කියා ඔබට හැඟෙන්නේ නැද්ද? ‘යෙහෝවා දෙවි ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 145:16NW) ඒ නිසා සදාකල් ජීවත් වීමට තිබෙන අපේ ආශාව ඉටු කිරීමට හැක්කේ ඔහුට පමණයි. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ජීවිතයේ අර්ථයත් මරණයට හේතුව ගැනත් පොළොව සම්බන්ධයෙන් සහ මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණු ගැනත් දැනගැනීමට හැකි වෙනවා.—එෆීස 3:11.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති.”—දේශනාකාරයා 9:11.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ගොවියෙක් සුදුසු කාලය අතපසු කර වෙනත් කාලයක බීජ වැපුරූ නිසා ඔහුට හොඳ අස්වැන්නක් නොලැබුණොත් ඊට හේතුව දෛවය කියා පැවසිය හැකිද?

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපි ජීවිතයේ අර්ථය ගැන සිතන්නේ “සදාකල් ජීවත් වීමේ ආශාව” යෙහෝවා දෙවි අපගේ සිතෙහි තබා ඇති නිසයි