අලුත් උපත එය සිදු වන්නේ කෙසේද?
අලුත් උපත එය සිදු වන්නේ කෙසේද?
අලුත් උපත සිදු වන්නේ කෙසේද කියාත් යේසුස් නිකදේමස්ට පැවසුවා. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “යමෙකු වතුරෙන් සහ ආත්මයෙන් ඉපදුණේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැක.” (යොහන් 3:5) එසේනම් “වතුරෙන් සහ ආත්මයෙන්” අලුත් උපත සිදු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
“වතුරෙන්” බව්තීස්ම වීම
නිකදේමස් යුදෙව් ආගමික නායකයෙක් වූ නිසා අතීතයේදී දෙවි ‘තම ආත්මය’ මාර්ගයෙන් කළ බලවත් ක්‍රියා ගැන ඔහු හොඳින් දැන සිටි බව නිසැකයි. (උත්පත්ති 41:38; නික්මයාම 31:3; 1 සාමුවෙල් 10:6) ඒ නිසා යේසුස් “ආත්මයෙන්” කියා පවසන විට එයින් අදහස් කළේ දෙවිගේ බලයට කියා ඔහු දැන සිටින්න ඇති.
යේසුස් වතුරෙන් කියා පැවසූ විට එයින් අදහස් කළේ කුමක්ද? යේසුස් නිකදේමස් සමඟ කළ සාකච්ඡාවට පෙර හා පසුව සිදු වූ දේවල් සලකා බලන්න. එම සිදුවීම්වලින් පෙනී යන්නේ යොහන් බව්තීස්ත මෙන්ම යේසුස්ගේ ගෝලයන්ද මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කරමින් සිටි බවයි. (යොහන් 1:19, 31; 3:22; 4:1-3) ඒ කාලයේ මෙය නොදැන සිටි කෙනෙක් යෙරුසලමේ සිටියේ නැහැ. ඒ නිසා යේසුස් වතුරෙන් කියා පැවසූ විට එයින් අදහස් කළේ වතුරෙන් බව්තීස්ම වීම ගැනයි. *
“ආත්මයෙන්” බව්තීස්ම කිරීම
‘වතුරෙන් ඉපදීම’ කියන්නේ වතුරෙන් බව්තීස්ම වීම නම් ‘ආත්මයෙන් ඉපදීම’ කියන්නේ කුමකටද? යේසුස් නිකදේමස් සමඟ සාකච්ඡා කිරීමට පෙර වතුරෙන් පමණක් නොව දෙවිගේ බලයෙන්ද බව්තීස්ම කිරීම ගැන යොහන් බව්තීස්ත සඳහන් කළා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මම ඔබව වතුරෙන් බව්තීස්ම කළෙමි. නමුත් ඔහු [යේසුස්] ඔබව ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] බව්තීස්ම කරන්නේය.” (මාක් 1:7, 8) එවැනි බව්තීස්මයක් සිදු වූ මුල්ම අවස්ථාව ගැන මාක් නමැති බයිබල් ලේඛකයා මෙසේ වාර්තා කරනවා. “ඒ දවස්වලදී යේසුස්, ගලීලයේ නාසරෙත් සිට ඇවිත් යොහන් අතින් යොර්දානයෙහි බව්තීස්ම විය. ඔහු දියෙන් උඩට මතු වූ කෙණෙහිම, අහස විවර වී ශුද්ධාත්මය [දෙවිගේ බලය] පරෙවියෙකු මෙන් ඔහු පිට බසිනවා ඔහු දුටුවේය.” (මාක් 1:9, 10) යේසුස් දියෙන් උඩට මතු වූ සැණින් වතුරෙන් බව්තීස්ම වුණා. ඒ සමඟම දෙවි තම බලය යේසුස්ට ලබා දුන් විට ඔහු දෙවිගේ බලයෙන් බව්තීස්ම වුණා.
යේසුස් බව්තීස්ම වී අවුරුදු තුනකට පමණ පසු ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “වැඩි කලක් යෑමට මත්තෙන් ඔබව ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] බව්තීස්ම කරනවා ඇත.” (ක්‍රියා 1:5) එය සිදු වුණේ කවදාද?
ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් 120දෙනෙකු පමණ යෙරුසලමේ නිවසක රැස්ව සිටියා. ඒ අවස්ථාවේදී ‘තද සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් හදිසියෙන්ම පැමිණ, ඔවුන් ඉඳගෙන සිටි නිවස මුළුමනින්ම පිරී ගියා. එවිට ගිනි දළු වැනි දිව් ඔවුන්ට පෙනුණු අතර, ඒවා බෙදී ගොස් එකිනෙකා මත රැඳුණා. එවිට ඒ සියලුදෙනාම ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පූර්ණ’ වුණා. (ක්‍රියා 2:1-4) එම ගෝලයන් යෙරුසලමේ සිටි බොහෝදෙනෙකුටද බව්තීස්ම වීමට එදාම උනන්දු කළා. පේතෘස් රැස්ව සිටි ජනයාට පැවසුවේ මෙසේයි. “ඔබ සියලුදෙනා පසුතැවිලි වී ඔබේ පව්වලට සමාව ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න. එවිට, නොමිලේ දෙන ශුද්ධාත්මය [දෙවිගේ බලය] නමැති දීමනාව ඔබට ලැබෙන්නේය.” රැස්ව සිටි ජනයා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “ඔහුගේ වචනය උනන්දුවෙන් පිළිගත් අය බව්තීස්ම වූහ. එදින තුන්දහසක් පමණ ඔවුන්ට එකතු වූහ.”—ක්‍රියා 2:38, 41.
ආකාර දෙකෙන්ම බව්තීස්ම වීම
අලුත් උපතක් ලැබීමට නම් යමෙක් ඉහත සඳහන් කළ ආකාර දෙකෙන්ම බව්තීස්ම විය යුතුයි. යේසුස්ද මුලින්ම වතුරෙන් බව්තීස්ම වූ බව සැලකිල්ලට ගන්න. ඔහුට දෙවිගේ බලය ලැබුණේ ඉන්පසුවයි. ඒ හා සමානව ඔහුගේ මුල් ගෝලයන් මුලින්ම බව්තීස්ම වූයේ වතුරෙන්. (ඔවුන්ගෙන් සමහරෙකුව බව්තීස්ම කළේ යොහන් බව්තීස්තයි.) දෙවිගේ බලය ඔවුන්ට ලැබුණේ ඉන්පසුවයි. (යොහන් 1:26-36) ක්‍රිස්තියානීන් බවට පත් වූ 3,000දෙනාට දෙවිගේ බලය ලැබුණෙත් වතුරෙන් බව්තීස්ම වුණාට පසුවයි.
අද කාලයේදී අලුත් උපත සිදු වන්නේ කෙසේද? එය සිදු වන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් අද්දුටු ආකාරයටමයි. මුලින්ම යමෙක් තමන්ගේ පව් ගැන පසුතැවිලි වීමත් වැරදි ක්‍රියා අත්හැරීමත් අවශ්‍යයි. ඉන්පසු තමන්ගේ ජීවිතය දෙවිට කැප කර, කැප වූ බව පෙන්වීමට බව්තීස්ම වීමත් අවශ්‍යයි. මෙයින් පෙනී යන්නේ කෙනෙක් වතුරෙන් බව්තීස්ම වීමට ගන්නා තීරණය පෞද්ගලික එකක් බවයි. දෙවි තම රාජ්‍යයේ පාලකයන්ව තෝරාගන්නේ එසේ වතුරෙන් බව්තීස්ම වූ අය අතරෙනුයි. එසේ තෝරාගන්නෙත් තම ආත්මයෙන් හෙවත් බලයෙන් බව්තීස්ම කරන්නෙත් දෙවියි. එය දෙවිගේ තීරණයක් මිස පුද්ගලයෙකුගේ තීරණයක් නොවෙයි. යමෙක් අලුත් උපතක් ලබන්නේ මේ ආකාර දෙකෙන්ම බව්තීස්ම වූ පසුවයි.
එසේනම් ‘වතුරෙන් සහ ආත්මයෙන් ඉපදීමක්’ ගැන යේසුස් නිකදේමස්ට පැවසුවේ ඇයි? එසේ පැවසුවේ වතුරෙන් හා ආත්මයෙන් [දෙවිගේ බලයෙන්] බව්තීස්ම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයා අද්දකින පුදුමාකාර වෙනස කාවැද්දීමටයි. අප ඒ ගැන ඊළඟට සාකච්ඡා කරමු.
[පාදසටහන]
^ 5 ඡේ. ඒ හා සමානව බව්තීස්මය ගැන වරක් පේතෘස් සඳහන් කළේ මෙසේයි. “වතුරෙන් බව්තීස්ම වීම තහනම් කරන්න කාට පුළුවන්ද?”—ක්‍රියා 10:47.
[9වන පිටුවේ පින්තූරය]
පසුතැවිලි වූ අයව යොහන් බව්තීස්ම කළේ වතුරෙන්