Skip to content

පටුනට යන්න

ඔහු දයාවේ වටිනාකම ඉගෙනගත්තා

ඔහු දයාවේ වටිනාකම ඉගෙනගත්තා

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු

ඔහු දයාවේ වටිනාකම ඉගෙනගත්තා

පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙකු වූ යෝනාට කිලෝමීටර් 800කට වඩා වැඩි දුරකින් පිහිටි ප්‍රදේශයකට යන්න සිදු වුණා. ඒ ගමන සඳහා මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම සුදුසු හා ආරක්ෂිත මාර්ගය තෝරාගැනීමට ඔහුට සිදු වුණා. ඒ ගමන යද්දී යෝනා සිරියානු කාන්තාරය පසු කරමින් යුප්‍රටීස් වැනි විශාල ගංගා හරහා යමින් කඳුකර පාරවල් ඔස්සේ ගමන්ගත්තා. එමෙන්ම සිරියාව, මෙසපොතේමියාව හා ඇසිරියාව වැනි ප්‍රදේශවල නන්නාඳුනන අය අතරේ නවාතැන් ගැනීමටත් ඔහුට සිදු වුණා. යෝනා දිනෙන් දින තම ගමනාන්තය වූ නිනිවය නගරයට ළඟා වෙත්ම ඔහුගේ හදගැස්ම ටිකෙන් ටික වැඩි වූ බවට සැකයක් නැහැ.

යෝනා නිනිවය නගරයට යන්නේ යෙහෝවා දෙවිගේ විනිශ්චය පණිවිඩයක් ප්‍රකාශ කිරීමටයි. යෙහෝවා දෙවි නිනිවයට යන්න කියා පැවසූ මුල්ම අවස්ථාවේදී යෝනා ඊට කීකරු නොවී වෙනත් ප්‍රදේශයකට යන නැවකට ගොඩ වුණා. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මුහුදේ කුණාටුවක් ඇති වීමට සැලැස්වූවා. එම කුණාටුව ඇති වීමට හේතුව දෙවිට අකීකරු වීම බව වටහාගත් යෝනා තමාව මුහුදට හෙළා නැවියන්ගේ ජීවිත බේරාගන්න කියා ඔවුන්ට පැවසුවා. අකමැත්තෙන් වුවද නැවියන් යෝනාව මුහුදට හෙළද්දී ඔහු ජීවත් වීමට තිබූ බලාපොරොත්තු සියල්ල අත්හැර දැමුවා. නමුත් යෙහෝවා දෙවි විශාල මත්ස්‍යයෙකු ලවා යෝනාව ගිලගන්න සැලැස්වූවා. මෙසේ යෝනාට දින තුනක් පුරා මත්ස්‍යයෙකුගේ බඩේ සිටීමට සිදු වූ අතර පසුව එම මත්ස්‍යයා යෝනාව වෙරළට වැමෑරුවා. එම සිද්ධියෙන් පසු යෙහෝවා දෙවිට කීකරුව කටයුතු කිරීමට යෝනා පෙලඹුණා. *යෝනා 1වන සහ 2වන පරිච්ඡේද.

යෙහෝවා දෙවි දෙවන වතාවට නිනිවයට යන්න කියා පැවසූ විට යෝනා අදිමදි නොකර ඊට කීකරු වුණා. (යෝනා 3:1-3) කොහොමවුණත් තමන්ට මුහුණ දීමට සිදු වූ දේවලින්‍යෝනා පාඩමක් ඉගෙනගත්තාද? යෙහෝවා දෙවි යෝනාට දයාව පෙන්වමින් මුහුදේ ගිලීමට නොදී ඔහුව බේරාගත්තා. ඔහුගේ වරදට දඬුවම් කරනවා වෙනුවට නැවතත් නිනිවයට යෑමට ඔහුට අවස්ථාව ලබා දුන්නා. නමුත් යෙහෝවා දෙවි ඔහුට දයාව පෙන්වූවාක් මෙන් අන් අයට දයාව පෙන්වීමට යෝනා ඉගෙනගත්තාද?අන් අයට දයාව පෙන්වීම අපි සියලුදෙනාටම අභියෝගයක් විය හැකියි. ඒ නිසා යෝනාගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා අපි සලකා බලමු.

නොසිතූ ප්‍රතිචාරයක්

යෙහෝවා දෙවිට නිනිවය ගැන හැඟුණු ආකාරය බයිබලයේ වාර්තා වෙන්නේ මෙලෙසයි. “නිනිවය ඉතා වැදගත් මෙන්ම විශාල නුවරකි.” (යෝනා 3:3, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි ‘නිනිවය විශාල නුවරක්’ ලෙස හැඳින්වූ අවස්ථා තුනක් යෝනා පොතේ සඳහන් වෙනවා. (යෝනා 1:2; 3:2; 4:11) යෙහෝවා දෙවි නිනිවය වැදගත් නගරයක් ලෙස සැලකුවේ ඇයි?

පුරාණයේදී ඇති වූ මහා ජලගැල්මට පසුව නිම්රොද් විසින් මුලින්ම ගොඩනඟන ලද නුවරවල් අතරට නිනිවයත් ඇතුළත් වුණා. එය ඉතා විශාල නුවරක් වූ අතර ඊට තවත් නගර කිහිපයක්ද ඇතුළත් වුණා කියා සිතිය හැකියි. ඒ නිසා එම නුවරේ එක් කොනක සිට අනික් කොන දක්වා යෑමට දින තුනක් ගත වෙනවා. (උත්පත්ති 10:11; යෝනා 3:3) නිනිවයේ දැවැන්ත පවුරු, දේවාල ඇතුළු සුවිශාල ගොඩනැඟිලි දක්නට ලැබුණා. නමුත් යෙහෝවා දෙවි නිනිවය වැදගත් කොට සැලකුවේ ඒ කිසිම හේතුවක් නිසා නොවෙයි. දෙවිට වැදගත් වුණේ එහි ජීවත් වූ මිනිසුන්වයි. ඒ වන විට නිනිවයේ විශාල ජනගහනයක් සිටියා. නිනිවයේ වැසියන් නරක ජීවිත ගත කළත් දෙවි ඔවුන් ගැන සැලකිලිමත් වුණා. එයට හේතුව ඔවුන් වැරදි කළත් පසුතැවිලි වී හරි දේ කිරීමට ඔවුන්ට හැකියාව තිබෙන බව දෙවි දැන සිටීමයි.

එක් ලක්ෂ විසිදහසකට වඩා වැඩි පිරිසක් සිටි නිනිවයට යෝනා ඇතුල් වූ විට එම විශාල පිරිස නිසා ඔහු තවත් බියට පත් වෙන්න ඇති. * ඔහු දවසක් පුරා ගමන් කර එක් ස්ථානයක නතර වූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු එසේ ගමන් කරන්න ඇත්තේ දෙවිගේ විනිශ්චය පණිවිඩය පැවසීමට සුදුසු ස්ථානයක් සොයමින් විය හැකියි. කෙසේවෙතත් හෙබ්‍රෙව් භාෂාව කතා කළ යෝනා ඇසිරියානු භාෂාව කතා කළ ඒ මිනිසුන්ට පණිවිඩය ප්‍රකාශ කරන්න ඇත්තේ කෙසේද? ඔහු එම භාෂාව ඉගෙනගන්න ඇද්ද? එසේ නැත්නම් දෙවි ඔහුට ආශ්චර්යවත් ලෙස එම භාෂාව කතා කිරීමේ හැකියාව ලබා දුන්නාද? ඒ ගැන අපි කිසිවක් දන්නේ නැහැ. සමහරවිට යෝනා භාෂා පරිවර්තකයෙකුව යොදාගන්න ඇති. ඒ කුමන ක්‍රමය ඔහු යොදාගත්තත් ඔහු නිනිවයේදී ජනප්‍රියත්වයට පත් වෙයි කියා සිතන්න බැහැ. ඊටහේතුව ‘දවස් හතළිහකින් නිනිවය විනාශ වන’ බව ඔහු ඒ මිනිසුන්ට පැවසීමයි. (යෝනා 3:4NW) එම පණිවිඩය නැවත නැවතත් ප්‍රකාශ කිරීම සඳහා ඔහුට කොතරම් නිර්භීතකමක් සහ දෙවි කෙරෙහි විශ්වාසයක් තිබිය යුතු වුණාද? අද දින සිටින අපිත් එලෙස කටයුතු කිරීම ඉතා වැදගත්.

තමා පැවසූ පණිවිඩය නිසා නිනිවයේ වැසියන් තමන්ට දරුණු ලෙස සලකයි කියා යෝනා බිය වූ බවට සැකයක් නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. ඒ පණිවිඩය නුවර පුරාම ගින්නක් මෙන් පැතිරී ගිය අතර ඉන්පසුව සිදු වූ දෙය බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. “එය ඇසූ නිනිවයේ වැසියෝ දෙවි කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තෝය. නුවරේ සියලු වැසියන් නිරාහාරව සිටිය යුතුයි කියා නියෝගයක්ද පනවන ලදි. උස් පහත් භේදයකින් තොරව සියලුදෙනාම ගෝණි රෙදි ඇඳගෙන නිරාහාරව සිටියෝය.” (යෝනා 3:5NW) ඒ ආකාරයට නිනිවයේ වැසියන් දුප්පත් පොහොසත්, බාල මහලු භේදයකින් තොරව ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වූ අතර ඒ බව රජුටත් ආරංචි වුණා.

ඒ නිසා රජුත් තම රාජකීය ඇඳුම් ගලවා දමා ගෝණි ඇඳගෙන ‘අළු ගොඩක ඉඳගෙන’ පසුතැවිලි වීමට පටන්ගත්තා. පසුව නගරයේ වැසියන් ඒ ආකාරයෙන් පසුතැවිලි විය යුතු බව ඔහු තම “අධිපතීන්” මාර්ගයෙන් දැනුම් දුන්නා. නගරයේ වැසියන්ට අමතරව සතුන්ටත් ගෝණි අන්දවන්න කියා රජු නියෝග කළා. * තම රාජ්‍යයේ වැසියන් බොහෝ දුෂ්ට ක්‍රියා කළ බව රජ පිළිගත්තා. නමුත් සියලුදෙනාම පසුතැවිලි වුණොත් “සමහරවිට සැබෑ දෙවි අපිට අනුකම්පා කරාවි. ඔහුගේ කෝපය පහ වී මේ විපත අප පිට නොගෙන ඒමට ඔහු තීරණය කරන්නත් ඉඩ ඇත” කියා රජ පැවසුවා.—යෝනා 3:6-9NW.

මෙතරම් දරුණු ජාතියක් ඇත්තටම පසුතැවිලි වෙයිද කියා සමහරුන් සැක පහළ කරනවා. නමුත් අතීතයේ සිටි විවිධ දෙවිවරුන්ට නමස්කාර කළ දරුණු ජාතීන් ඒ ආකාරයෙන් පසුතැවිලි වී තිබෙනවා කියා බයිබල් විශාරදයන් පවසනවා. එමෙන්ම නිනිවයේ වැසියන් පසුතැවිලි වූ බව යේසුස් පවා සඳහන් කළා. (මතෙව් 12:41) එයට හේතුව ඒ වන විට ස්වර්ගයේ සිටි යේසුස් ඔවුන්ගේ පසුතැවිල්ල දැක තිබීමයි. (යොහන් 8:57, 58) කෙසේවෙතත් පසුතැවිලි වූ නිනිවයේ වැසියන් සමඟ යෙහෝවා දෙවි කටයුතු කළේ කෙසේද?

දෙවිගේ දයාව

නිනිවයේ වැසියන් ‘තම දුෂ්ටකම් අත්හැර ඇති බව සැබෑ දෙවි දුටු නිසා ඔවුන්ට දඬුවම් කිරීමට ගත් තීරණය දෙවි වෙනස් කළා. ඒ නිසා දෙවි ඒ විපත ගෙනාවේ නැහැ.’—යෝනා 3:10NW.

නිනිවයේ වැසියන්ට දඬුවම් කිරීමට ගත් තීරණය යෙහෝවා දෙවි වෙනස් කළේ ඇයි? ඒ තීරණයේ යම් දෝෂයක් තිබුණු නිසාද? එසේ පැවසිය නොහැකියි. ඊට හේතුව යෙහෝවා දෙවි ගැන බයිබලයේ මෙසේ සඳහන් වී තිබීමයි. “ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.” (ද්විතීය කතාව 32:4NW) නිනිවයේ වැසියන් තම වැරදි ගැන පසුතැවිලි වූ ආකාරය දෙවි දුටුවා. යෙහෝවා දෙවි ඔවුන්ට දඬුවම් කරනවා වෙනුවට දයාව පෙන්වූයේ ඒ නිසයි.

බොහෝ ආගම්වල උගන්වන්නේ දෙවි ඉතා කුරිරු කෙනෙක් කියායි. නමුත් යෙහෝවා දෙවි සාධාරණව කටයුතු කරන දයාන්විත කෙනෙක්. ඒ නිසයි දුෂ්ටයන්ව විනාශ කිරීමට පෙර දෙවි තම සේවකයන්ව යොදාගෙන ඒ ගැන අනතුරු අඟවන්නේ. දෙවි කැමති දුෂ්ටයන් පවා පසුතැවිලි වෙනවා දකින්නයි. (එසකියෙල් 33:11) ඒ ගැන යෙහෝවා දෙවිම මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “ජාතියක් හෝ රාජ්‍යයක් පෙරළා දමා එය විනාශ කර දමන බව යම් අවස්ථාවක මා ප්‍රකාශ කළත් ඒ ජාතිය තමන් ගිය වැරදි මාර්ගවලින් ඉවත් වී හරි මාර්ගයට පැමිණියොත් මම ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට ගත් තීරණය වෙනස් කරමි.”—යෙරෙමියා 18:7, 8NW.

එසේනම් යෝනා නිනිවයට ගොස් යෙහෝවා දෙවිගේ විනිශ්චය ගැන ප්‍රකාශ කිරීමෙන් කිසිම පලක් වුණේ නැද්ද? යෝනා නිනිවයට ගොස් දෙවිගෙන් පැමිණීමට තිබූ විනිශ්චය ගැන අනතුරු ඇඟවූ නිසා එහි වැසියන්ට පසුතැවිලි වීමට අවස්ථාවක් ලැබුණා. ඒ නිසා යෝනාගේ උත්සාහය නිෂ්ඵල වුණේ නැහැ. නමුත් නිනිවයේ වැසියන් පසුතැවිලි නොවී දිගටම වැරදි දේවල් කළා නම් ඔවුන් අනිවාර්යයෙන්ම දෙවිගෙන් දඬුවම් ලබනවා. පසු කාලයකදී ඔවුන් දෙවිගේ විනිශ්චයට ලක් වුණේ ඒ නිසයි.—ශෙපනියා 2:13-15.

කෙසේවෙතත් නිනිවයේ වැසියන් පිට දෙවිගේ දඬුවම නොපැමිණීම ගැන යෝනාට හැඟුණේ කෙසේද? “දෙවි ගත් තීරණය ගැන අසතුටු වූ යෝනා බොහෝ සෙයින් කෝප විය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෝනා 4:1NW) යෝනා කොතරම් අසතුටු වුණාද කියනවා නම් ඔහු යෙහෝවා දෙවිට යාච්ඤා කළේ දෙවි අතින් වරදක් සිදු වී තිබෙනවා හා සමානවයි. නිනිවයට නොගොස් තමන්ගෙම රටේ නැවතී සිටියා නම් ඊට වඩා හොඳයි කියා ඔහු පැවසුවා. එමෙන්ම කලින් වතාවේදී නිනිවයට නොගොස් වෙනත් ප්‍රදේශයකට ගියේ දෙවි ඔවුන්ට දඬුවම් නොකරන බව ඔහු දැන සිටි නිසයි කියාත් ඔහු පැවසුවා. යෝනාට ජීවිතය එපා වුණු නිසා තමාව මරා දමන්න කියා ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියා.—යෝනා 4:2, 3.

යෝනා එතරම් කෝපයට පත් වුණේ ඇයි? ඔහු ඒ අවස්ථාවේදී කුමක් සිතුවාද කියා අපි හරියටම දන්නේ නැහැ. සමහරවිට නිනිවයේ වැසියන් පිට දඬුවම් නොපැමිණීම නිසා බොරු අනාගතවක්තෘවරයෙක් යන නාමය තමාට පටබැඳෙයි කියා ඔහු සිතන්න ඇද්ද? කොහොමවුණත් නිනිවයේ මිනිසුන්ගේ පසුතැවිලි වීම ගැනවත් යෙහෝවා දෙවි ඔවුන්ට පෙන්වූ මහත් දයාව ගැනවත් යෝනා සිතුවේ නැහැ. පෙනෙනාකාරයට ඔහු සිතුවේ තමා ගැන පමණයි. ඒ වුණත් යෝනා ක්‍රියා කළ ආකාරය ගැන ඔහුට දඬුවම් කරනවා වෙනුවට යෙහෝවා දෙවි ඉතා කාරුණික ලෙස මේ වැදගත් ප්‍රශ්නය ඇසුවා. “ඔබට කෝප වීමට සාධාරණ හේතුවක් තිබෙනවා කියා ඔබ සිතනවාද?” (යෝනා 4:4NW) යෝනා ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

යෝනාට වටිනා පාඩමක්

කලකිරී සිටි යෝනා නිනිවය නගරයේ සිට නැඟෙනහිර දෙසින් තිබූ කඳුකර ප්‍රදේශයකට ගොස් නිනිවය නගරය පෙනෙන දුරකින් පැලක් අටවාගත්තා. නිනිවය නගරය විනාශ වෙයි කියා ඔහු ඒ වන විටත් යම් බලාපොරොත්තුවක් තබාගෙන සිටින්න ඇති. යෙහෝවා දෙවි යෝනාට දයාව පෙන්වීමේ ඇති වටිනාකම ගැන ඉගැන්වූ ආකාරය අපි සලකා බලමු.

යෙහෝවා දෙවි එක රැයකින් ලබු වැලක් වැවෙන්න සැලැස්වූවා. යෝනා උදෑසනින් අවධි වී ඒ ලබු වැල දුටු විට පුදුම වෙන්න ඇති. තම හිසට සෙවන ලබා දුන් එම ලබු වැල දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක් කියා සිතූ යෝනා ‘බෙහෙවින් සතුටු වුණා.’ සෙවන සලසා දෙනවාට අමතරව එම ලබු වැල යොදාගෙන යෝනාට වටිනා පාඩමක් ඉගැන්වීමට යෙහෝවා දෙවිට අවශ්‍ය වුණා. ඒ නිසා දෙවි පණුවෙකුව යොදාගෙන එම ලබු වැල මරා දැමුවා. ඉන්පසු දෙවි “නැඟෙනහිර දෙසින් වියළි සුළඟක්” හමන්න සැලැස්වූවා. ඒ නිසා යෝනාව “ක්ලාන්ත වන තරමට” අව් රශ්මිය දැඩි වුණා. එයින් කෝපයට පත් වූ යෝනා නැවතත් තම ජීවිතය නැති කර දමන්න කියා දෙවිට පැවසුවා.—යෝනා 4:6-8NW.

ලබු වැල මැරුණු නිසා කෝප වීම සාධාරණයිද කියා දෙවි ඒ අවස්ථාවේදී ඔහුගෙන් ඇසූ විට “ඔව්, ඒක සාධාරණයි. මට දැන් ජීවිතෙත් එපා වෙලා” කියා යෝනා පිළිතුරු දුන්නා. දයාව පෙන්වීම සම්බන්ධයෙන් යෝනාට වටිනා පාඩමක් ඉගැන්වීමට අවස්ථාව එළඹී තිබුණා.—යෝනා 4:9NW.

ලබු වැල පැළ කිරීමට හෝ එයට සාත්තු කිරීමට යෝනා කිසිම වෙහෙසක් දැරුවේ නැතත් එය මැරුණු විට ඔහු දුක් වුණා නම් “හරි වැරැද්ද අතර වෙනස නොදන්න එක්ලක්ෂ විසිදාහකට වඩා වැඩි මිනිසුන් සහ සතුන් ප්‍රමාණයක් සිටින මේ විශාල නුවර වන නිනිවය විනාශ කිරීම ගැන මට දුක් වෙන්න අයිතියක් නැද්ද” කියා දෙවි ඔහුගෙන් ඇසුවා.—යෝනා 4:10, 11NW.

යෙහෝවා දෙවි යෝනාට ඉගැන්වූ වටිනා පාඩම ඔබට වැටහුණාද? යෝනා නිනිවයේ සිටි මිනිසුන් 1,20,000කගේ ජීවිත සහ සතුන්ගේ ජීවිතවලට වඩා ලබු වැල වටිනා ලෙස සැලකුවේ ඇයි? ඒ ඔහු තමන් ගැන ඕනෑවට වඩා සිතූ නිසා නොවෙයිද? ලබු වැල මැරුණු විට යෝනා දුක් වුණේ එයින් ඔහුට සෙවණ නොලැබී යන නිසයි. ඒ හා සමානවම නිනිවයේ මිනිසුන් පිට විනාශය නොපැමිණීම ගැන යෝනා කෝප වුණේ එමගින් තමන්ගේ නමට කැලලක් වෙයි කියා ඔහු සිතූ නිසයි.

යෝනා ලැබූ අද්දැකීමෙන් ඔහු පාඩමක් ඉගෙනගත්තාද? කෝප වීම සාධාරණද කියා යෙහෝවා දෙවි යෝනාගෙන් ඇසූ විට ඔහු ඊට පිළිතුරක් දුන්නා කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා යෝනා එයින් පාඩමක් ඉගෙනගත්තේ නැහැ කියා ඇතමුන් පැවසිය හැකියි. නමුත් යෝනා ඔහුගේම අද්දැකීම වාර්තා කර තිබීමෙන් පැහැදිලි වන්නේ ඔහු කදිම පාඩමක් ඉගෙනගත් බවයි. යෝනා තම මව් බිමට ගොස් ඔහුගේ මෙම අද්දැකීම වාර්තා කළ ආකාරය ඔබට සිතින් මවාගත හැකිද? තමා මුරණ්ඩු ලෙස හැසුරුණු ආකාරය සහ දයාන්විතව කටයුතු කරනවා වෙනුවට දැඩි ලෙස ක්‍රියා කළ ආකාරය ගැන ඔහු මොන තරම් දුක් වෙන්න ඇද්ද? යෙහෝවා දෙවි ඔහුට ඉගැන්වූ දෙයින් දයාව පෙන්වීමේ ඇති වැදගත්කම ගැන යෝනා ඉගෙනගත්තා. එසේනම් අපිත් එකිනෙකාට දයාව පෙන්වීමට ඉගෙනගත යුතු නැද්ද!

[පාදසටහන්වල]

^ 4 ඡේ. වර්ෂ 2009 ජනවාරි 1 මුරටැඹ කලාපයේ පළ වූ “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු—වැරදි හදාගත් අයෙක්” යන ලිපිය බලන්න.

^ 9 ඡේ. යෝනාගේ කාලයේදී ඊශ්‍රායෙල්හි අගනුවර ලෙස සැලකූ සමාරියේ 20,000 සිට 30,000 අතර ජනගහනයක් සිටි බව වාර්තා වෙනවා. නමුත් නිනිවයේ ජනගහනයෙන් එය හතරෙන් එකකටත් වඩා අඩුයි. නිනිවය එවකට තිබූ ලොව විශාලතම නගරය වෙන්න ඇති.

^ 11 ඡේ. සතුන්ට පවා ගෝණි ඇන්දවීම අසාමාන්‍යයි කියා ඇතමෙක් සිතන්න පුළුවන්. නමුත් ජනාධරයට පත් පර්සියාවේ අධිපතියෙකුගේ මරණය නිසා එහි ජනතාව වැලපෙන විට සතුන්වත් ඒ සඳහා හවුල් කරවාගත් බව ග්‍රීක ඉතිහාසඥයෙක් වූ හෙරෝඩටස් වාර්තා කර තිබෙනවා.

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි කැමති දුෂ්ටයන් පවා පසුතැවිලි වෙනවා දකින්නයි

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දයාව පෙන්වීමේ ඇති වටිනාකම යෝනාට ඉගැන්වීම සඳහා දෙවි ලබු වැලක් යොදාගත්තා