Skip to content

පටුනට යන්න

සෑම දෙයක්ම සිදු වන්නේ දෛවයට අනුවද?

සෑම දෙයක්ම සිදු වන්නේ දෛවයට අනුවද?

පාඨකයන් අසයි

සෑම දෙයක්ම සිදු වන්නේ දෛවයට අනුවද?

අප මැරෙන දවස තීරණය වන්නේ දෛවයට අනුවයි කියා සමහරුන් සිතනවා. තවත් සමහරුන් සිතන්නේ අප මැරෙන දවස තීරණය කරන්නේ දෙවි කියායි. ඒ විතරක් නෙවෙයි එවැනි දේවල් විශ්වාස කරන අය සිතන්නේ කෙනෙකුට ජීවිතයේ මුහුණ දීමට සිදු වන ප්‍රධාන සිද්ධීන් කිසි කෙනෙකුට වෙනස් කළ නොහැකි බවයි. මේ කාරණය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඔබට මේ ප්‍රශ්න ගැන සිතා බලන්න පුළුවන්. ‘දෛවය විසින් හෝ දෙවි විසින් අපට සිදු වන දේවල් කලින්ම තීරණය කර තිබෙනවා නම් හා ඒවා අපිට වෙනස් කරන්න බැරි නම්, යාච්ඤා කිරීමෙන් පලක් තිබෙනවාද? අපේ ජීවිත ආරක්ෂා කරගැනීමට යම් පියවර ගැනීමෙන් පලක් තිබෙනවාද? උදාහරණයකට, වාහනයක ආරක්ෂක පටි පැළඳීමෙන් හෝ මත්පැන් භාවිතයෙන් තොරව හෝ රිය පැදවීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාද?’

බයිබලයේ එවැනි අනාරක්ෂිත පියවර ගැනීම හෙළාදකිනවා. තමන්ට අද්දකින්න සිදු වන සෑම දෙයක්ම දෛවයට භාර නොකර තමන්ගේ ආරක්ෂාව සඳහා යම් පියවර ගැනීමට ඊශ්‍රායෙල් ජනයාට බයිබලයේ අණ කර තිබුණා. උදාහරණයකට සඳලුතලය වටා කුඩා තාප්පයක් බැඳීමට අණ කර තිබුණා. එසේ කිරීමෙන් යම් කෙනෙක් එයින් වැටී මිය යෑම වළක්වාගත හැකි වුණා. කෙනෙක් සඳලුතලයකින් වැටී මිය යා යුතු බව කලින්ම තීරණය කර තිබුණා නම් එවැනි ආරක්ෂක පියවරක් ගැනීමට අණ කර තිබුණේ ඇයි?—ද්විතීය කතාව 22:8.

ස්වාභාවික විපත් හා වෙනත් හදිසි අනතුරුවලින් මිය යන අය ගැන කුමක් කිව හැකිද? ඔවුන් මිය යන දවසත් කලින්ම නියම කර තිබුණාද? එවැනි විපත් ගැන බයිබලයේ ලේඛකයෙක් වන සලමොන් රජ පැවසුවේ ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සිදු විය හැක’ කියායි. (දේශනාකාරයා 9:11, නව ලොව පරිවර්තනය, NW) මේ අනුව යමෙක් බලාපොරොත්තු නොවූ ලෙස ඛේදජනක අනතුරුවලට ලක් වන්නේ ඔහුගේ දෛවය නිසා නෙවෙයි.

කෙසේවෙතත් සමහර අය පවසන්නේ සලමොන් රජ ඊට පටහැනි අදහසක්ද ඉදිරිපත් කර මෙසේ පැවසුවා කියායි. ‘අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් තිබෙනවා. ඉපදීමට කාලයක්ද මිය යෑමට කාලයක්ද තිබෙනවා.’ (දේශනාකාරයා 3:1, 2NW) ඔහු එසේ පැවසීමෙන් අදහස් කළේ දෛවයට අනුව දේවල් සිදු වන බවද? අප එම වදන්වලට කිට්ටු අවධානයක් දෙමු.

ඉපදෙන දවස හා මැරෙන දවස නියම කර තිබෙන බවට සලමොන් රජ ඉන් අදහස් කළේ නැහැ. නමුත් ඔහු අදහස් කළේ ජීවිතයේ වෙනත් කාරණා මෙන් ඉපදීම හා මරණය දිගින් දිගටම චක්‍රයක් ලෙස සිදු වන බවයි. “අඬන්න කාලයක්ද සිනාසෙන්න කාලයක්ද” තිබෙනවා කියා පැවසීමෙන් ඔහු අදහස් කළේ ජීවිතයේ විවිධ තත්වයන්ට මුහුණ දීමට සිදු වන බව හා ‘අහස යට සිදු වන සෑම දෙයක්ම’ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් බවයි. (දේශනාකාරයා 3:1-8; 9:11, 12NW) දෙවිව නොසලකාහැරීමට තරම් අප එදිනෙදා ජීවිතයේදී මුහුණ පෑමට සිදු වන දේවලින් යටපත් නොවී සිටීමට වගබලා ගත යුතුයි යන්න ඔහුගේ නිගමනයයි.—දේශනාකාරයා 12:1, 13.

අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට ජීවිතය හා මරණය පාලනය කිරීමේ හැකියාව තිබුණද ඔහු එසේ කරන්නේ නැහැ. අප සියලුදෙනාටම සාදාකාල ජීවනයක් ලබා දීමට දෙවි කැමති බව බයිබලයේ සඳහන් වෙනවා. එය ලබාගන්න කියා කිසි කෙනෙකුට බල කරන්නේ නැති වුණත් ඔහු අපට මෙවැනි ආරාධනාවක් කරනවා. “කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා.”—එළිදරව් 22:17

ඇත්තටම අප “ජීවන වතුර” ලබාගත යුතුයි. අපගේ අනාගතය තීරණය වන්නේ දෛවයට අනුව නෙවෙයි. නමුත් අප ගන්නා තීරණ, අපේ ආකල්ප හා අපේ ක්‍රියා අපගේ අනාගතයට ලොකු බලපෑමක් ඇති කරන බව අප වටහාගත යුතුයි.