Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස් පැවසූ ලෙසම යෙරුසලම වටා උල් කළ කණුවලින් විශාල වැටක් සෑදුවාද?

“ඔබේ සතුරන් ඔබ වටා උල් කළ කණුවලින් වැටක් සාදා ඔබව වටලා, සෑම පැත්තෙන්ම ඔබට පීඩා කරන දවස් පැමිණෙන්නේය” කියා යෙරුසලමේ විනාශය ගැන යේසුස් කල්තියාම පැවසුවා. (ලූක් 19:43) යේසුස් පැවසූ ලෙසම ක්‍රිස්තු වර්ෂ 70දී ටයිටස් නමැති රෝම සෙන්පතියා විසින් නගරය වටා උල් කළ කණුවලින් විශාල වැටක් ඉදි කළා. ඔහු එසේ කළේ යුදෙව්වන් පලා යෑමෙන් වැළැක්වීමට, ඔවුන්ව යටත් කරගැනීමට හා ඔවුන් යටත් වන තුරු හාමතේ සිටීමට සැලැස්වීමටයි.

පළමු සියවසේ සිටි ඉතිහාසඥයෙක් වූ ජොසිෆස් පැවසූ ආකාරයට මෙම වැට ඉදි කිරීමට තීරණය කළ විගස එක් එක් සේනාංකය තම තමන්ට පැවරූ කොටස ඉදි කිරීම සඳහා තරඟකාරී ලෙස වැඩ කළා. ඒ සඳහා දැව ලබාගැනීමට නගරය වටා පිහිටි කිලෝමීටර් 16ක පමණ භූමි ප්‍රදේශයකින් ගස් කපා දැමුවා. නගරය වටා ඉදි කළ මේ විශාල වැට කිලෝමීටර් හතක පමණ දුර ප්‍රමාණයකින් යුතු වුණත් එය නිම කිරීමට ගත වූයේ දින තුනක් පමණයි. “යුදෙව්වන්ට බේරීමට යම් හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එයද ගිලිහී ගියා” කියා ජොසිෆස් පවසනවා. මේ අවස්ථාවේදී නගරයේ ආහාර හිඟ වූ නිසා සිර වී සිටි යුදෙව්වන් තම තමන් අතරේ ගැටුම් ඇති කරගත්තා. අවසානයේදී රෝම හමුදාව මාස පහක පමණ කාලයකින් යෙරුසලම් නගරය යටත් කරගත්තා.

යෙරුසලම් නුවරට ජලය සැපයීමට අගලක් හැදුවේ හෙසකියා රජද?

හෙසකියා රජ යූදා දේශය පාලනය කළේ ක්‍රිස්තු පූර්ව 750ත් 700ත් අතර කාලයේයි. ඒ කාලයේදී යුදෙව්වන් බලවත් ඇසිරියානුවන් සමඟ සටන් කරමින් සිටියා. නගරයේ ආරක්ෂාව සඳහාත් ඊට ජලය සැපයීම සඳහාත් රජ බොහෝ සේ වෙහෙසුණු බවත් නගරයට පිටින් තිබූ දිය උල්පත්වලින් නගරය වෙත ජලය සැපයීම සඳහා මීටර් 533කින් යුත් අගලක් සෑදූ බවත් බයිබලයේ පවසා තිබෙනවා.—2 රාජාවලිය 20:20; 2 ලේකම් 32:1-7, 30.

දැනට අවුරුදු 100කට පමණ පෙර කළ කැනීම්වලින් එවැනි අගලක් සොයාගත්තා. එය හෙසකියාගේ අගල නැතහොත් සිලෝම් අගල කියා නම් කළා. මෙම අගලේ අවසාන අදියර නිම කළ ආකාරය ගැන අගලේම එක් ස්ථානයක කොටා තිබුණා. එහි සඳහන් අකුරුවල හැඩයෙන් එය හෙසකියා රජගේ කාලයේදී සෑදූ එකක් බව බොහෝ විශාරදයන් නිගමනය කළා. එහෙත් එම අගල සෑදුවේ මුලින් සිතූ කාලයට වඩා අවුරුදු 500කට පමණ පසුවයි කියා මීට අවුරුදු දහයකට පමණ පෙර සමහරුන් පැවසුවා. අගල සෑදුවේ හරියටම කුමන කාලයේද කියා දැනගැනීමට 2003දී ඊශ්‍රායෙල් ජාතික විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණය කර ඔවුන් සොයාගත් තොරතුරු පළ කළා.

ඒ ගැන යෙරුසලමේ පිහිටි හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් මෙසේ පැවසුවා. “සිලෝම් අගල සෑදීම සඳහා භාවිත කළ බදාමවල තිබූ කාබනික ද්‍රව්‍ය කාබන් 14 පරීක්ෂණයට ලක් කළා. ඊට අමතරව අගලේ ඉහළින් වෑස්සී තිබූ හුණු වෙනත් ආකාරයේ පරීක්ෂණයකට යොමු කෙරුවා. ඒ සියලු පරීක්ෂණවලින් හෙළි වුණේ මේ අගල සාදා තිබුණේ හෙසකියා රජගේ කාලයේ බවයි.” තවදුරටත් විද්‍යා සඟරාවක සඳහන් වුණේ මෙසේයි. “ලේසර් කිරණ මගින් කළ පරීක්ෂණ, ඉපැරණි අකුරුවල හැඩය හා ඓතිහාසික වාර්තා යන මේ සියල්ල සලකා බලද්දී පෙනී යන්නේ සිලෝම් අගල සාදා තිබෙන්නේ හෙසකියා රජ ජීවත් වූ ක්‍රි.පූ. 700 ගණන්වලදී බවයි.”—Nature.