Skip to content

පටුනට යන්න

1 බයිබලයේ සඳහන් දේවල් විශ්වාස කරන්න

1 බයිබලයේ සඳහන් දේවල් විශ්වාස කරන්න

1 බයිබලයේ සඳහන් දේවල් විශ්වාස කරන්න

“මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.

විශ්වාස කිරීමට තිබෙන අභියෝගය: බොහෝදෙනා සිතන්නේ බයිබලය මිනිසුන් ලියූ සාමාන්‍ය පොතක් ලෙසයි. එහි සඳහන් ඉතිහාසගත තොරතුරුවල නිවැරදිභාවය ගැන සැක කරන අයත් සිටිනවා. එමෙන්ම තවත් අය පවසන්නේ එය අද කාලෙට ගැළපෙන්නේ නැති යල් පැනපු පොතක් කියායි.

අභියෝගය ජයගැනීම: බයිබලය ගැන සැක මතු කරන අය බොහෝවිට එසේ කරන්නේ ඒ ගැන ඇත්ත නැත්ත පෞද්ගලිකව සොයා බලා නොවෙයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ වෙන කවුරුන් හෝ පැවසූ දෙයක් විශ්වාස කිරීමයි. ඒත් බයිබලයේ මෙවැනි අනතුරු ඇඟවීමක් කරනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහි බුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය, NW.

කනට ඇසෙන සෑම දෙයක්ම පිළිගන්නේ නැතුව, පළමු ශතවර්ෂයේ බෙරීයයේ (එය තිබුණේ ග්‍රීසියේ උතුරු ප්‍රදේශයේ) සිටි ක්‍රිස්තියානීන් කළ දෙයක් ගැන අපි බලමු. ඔවුන්ගේ හොඳ පුරුද්දක් වූයේ ඔවුන් ඉගෙනගත් ‘දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කිරීමයි.’ (ක්‍රියා 17:11) ඇත්තටම බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්මද කියා බැලීමට අප දැන් හේතු දෙකක් සලකා බලමු.

ඉතිහාසගත තොරතුරු නිවැරදියි. බයිබලයේ සඳහන් පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත ඒවා කියා සමහරු පවසනවා. එහෙත් සාක්ෂිවලින් ඔප්පු වන්නේ ඊට වෙනස් දෙයක්. උදාහරණ කිහිපයක් සලකා බලමු.

යෙසායා 20:1හි පුරාණ ඇසිරියාවේ සර්ගොන් රජු ගැන සඳහන් වෙනවා. බොහෝ බයිබල් විශාරදයන් ඔහු සැබෑ චරිතයක් නොවේ කියා පැවසුවා. එහෙත් 1840 ගණන්වල පුරාවිද්‍යාඥයන් එම රජුගේ මාලිගාව කැනීම්වලින් සොයාගත්තා. දැන් වැඩිපුරම තොරතුරු සොයාගෙන තිබෙන්නෙත් මේ රජු ගැනයි.

එමෙන්ම යේසුස්ව මරණයට පත් කිරීමට අණ කළ රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් සැබෑ පුද්ගලයෙක්ද යන්න ගැන සමහරුන් සැක කළා. (මතෙව් 27:1, 22-24) ඒත් 1961දී ඊශ්‍රායෙලයේ සිසේරියාව ආසන්නයේදී කළ කැනීම්වලින් පිලාත්ගේ නම හා තනතුර කෙටූ ගල් පුවරුවක් සොයාගත්තා.

බයිබලයේ ඉතිහාසගත තොරතුරුවල ඇති නිවැරදිභාවය ගැන එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “ඊශ්‍රායෙල් ජාතිය හා ඔවුන්ගේ මුතුන්මිත්තන්, ඔවුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් පිට වී යෑම, දාවිත්ගේ රාජ වංශය, යේසුස්ගේ ජීවිතය හා ඔහු සිටි කාල වකවානුව වැනි බයිබලයේ සඳහන් වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් මෑත කාලයේදී කළ කැනීම්වලින් සොයාගෙන තිබෙනවා. එම සාක්ෂි ගැන අපත් පුදුම වෙනවා.” (U.S. News & World Report, 1999 ඔක්තෝබර් 25වෙනිදා කලාපය ඇසුරෙන්.) බයිබලය ඉතිහාස පොතක් නොවුණත් එය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලැබුණු පොතක් නිසා අපට එය විශ්වාස කළ හැකියි.

එදිනෙදා ජීවිතයට ඥානවන්ත මඟ පෙන්වීම් ලබා දෙයි. බයිබලය යල් පැන ගිය පොතක් නොවෙයි. වෛද්‍ය විද්‍යාව මගින් ක්ෂුද්‍ර ජීවීන් ගැන දැනගැනීමට බොහෝ කාලයකට පෙර ලෙඩ රෝග වළක්වාගන්නා ආකාරය ගැනත් සනීපාරක්ෂක ක්‍රම ගැනත් බයිබලයේ සඳහන් වුණා. මෙහි තිබෙන තොරතුරු අදටත් ප්‍රයෝජනවත්. (ලෙවී කතාව 11:32-40; ද්විතීය කතාව 23:12, 13) පවුලේ සාමාජිකයන් බයිබලයේ උපදෙස් පිළිපදින විට ඔවුන් අතර තිබෙන බැඳීම තව තවත් ශක්තිමත් වන අතර පවුලේ ප්‍රීතියද වැඩි වෙනවා. (එෆීස 5:28–6:4) රැකියා ස්ථානයට අදාළ වන බයිබල් ප්‍රතිපත්තිද තිබෙනවා. ඒවා අදාළ කරගැනීමෙන් කෙනෙකුට වඩාත් හොඳ සේවකයෙක් හෝ සාධාරණ ස්වාමියෙක් විය හැකියි. (එෆීස 4:28; 6:5-9) මානසික සුවය ඇති කරගැනීම සඳහාත් බයිබලයේ මඟ පෙන්වීම් සපයනවා. (හිතෝපදේශ 14:30; එෆීස 4:31, 32; කොලොස්සි 3:8-10) අපේ නිර්මාතෘවරයා වන ප්‍රේමණීය දෙවිගෙන් අප බලාපොරොත්තු වන්නේ මෙවැනි උපදෙස් නොවෙයිද? ඇත්තටම බයිබලය විශ්වාස කළ හැකියි.

විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන: බයිබලයේ තිබෙන තොරතුරු හා මඟ පෙන්වීම් අද්දැකීම් අඩු තැනැත්තාට පවා ප්‍රඥාව ලබා දෙනවා. (ගීතාවලිය 19:7) දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට වෙන කිසිම පොතකට වඩා බයිබලය අපට උපකාරවත් වෙයි.

වැඩි විස්තර සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්” යන 2වන පරිච්ඡේදය බලන්න. *

[පාදසටහන]

^ 12 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.