Skip to content

පටුනට යන්න

2 දෙවිව දැන හඳුනා ගන්න

2 දෙවිව දැන හඳුනා ගන්න

2 දෙවිව දැන හඳුනා ගන්න

“සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

දැන හඳුනා ගැනීමට තිබෙන අභියෝගය: දෙවි කෙනෙක් නැහැ කියා සමහරුන් පවසනවා. දෙවි අන්ධ බලවේගයක් කියා තවත් සමහරු සිතනවා. දෙවි කෙනෙක් සිටිනවා කියා විශ්වාස කරන අය පවා දෙවි ගැන එකිනෙකට පටහැනි මත උගන්වනවා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දෙවිව හරියට හඳුනාගෙන නැති බවයි.

අභියෝගය ජයගැනීම: “[දෙවිගේ] අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ” කියා එක් බයිබල් ලේඛකයෙක් පැවසුවා. (රෝම 1:20) ඔහු එසේ පැවසුවේ දෙවි නිර්මාණය කර ඇති දේවල් දෙස බලා දෙවිව දැන හඳුනා ගත හැකි නිසයි. අප අවට ලෝකය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් දෙවිගේ ප්‍රඥාවත් බලයත් බොහෝ සේ දකින්න ලැබෙනවා.—ගීතාවලිය 104:24; යෙසායා 40:26.

එහෙත් දෙවිගේ පෞද්ගලිකත්වය වඩා නිවැරදිව දැනගැනීමට අපි බයිබලය සෝදිසි කර බැලිය යුතුයි. වෙන අය කියන දේවල් එකහෙළාම පිළිගන්නේ නැතුව ඒ ගැන සොයා බලන්න. බයිබලයේ පවා අපට උනන්දු කරන්නේ “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න” කියායි. (රෝම 12:2) දෙවිව හඳුනාගන්න උපකාරවත් වන පහත දැක්වෙන තොරතුරු සොයාගත හැක්කේ බයිබලයෙන් පමණයි.

දෙවිට නමක් තිබෙනවා. බයිබලයේ මුල් පිටපත්වල දෙවිගේ නාමය හත්දහස් වාරයකටත් වඩා සඳහන් වී තිබුණා. අදදින පවා බොහෝ පරිවර්තනවල ගීතාවලිය 83:17හි ඒ නම සඳහන් වෙනවා. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොව කෙරෙහි ඉතා උසස් බව ඔවුන්ට දැනගන්න’ ලැබෙනවා කියා එහි පවසනවා.

අප කරන කියන දේවල් දෙවිට දැනෙනවා. ඉන් අදහස් වෙන්නේ දෙවිට හැඟීම් තිබෙන බවයි. දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවේ වහල්භාවයෙන් ආශ්චර්යවත් ලෙස බේරාගත්තාට පසුවත් ඔවුන් විටින් විට දෙවිගේ උපදෙස් නොසලකාහැරියා. ඒ අවස්ථාවලදී ඔවුන් දෙවිගේ ‘සිත රිදවූ’ බවත් ඔහුගේ ‘සිතට වේදනාවක්’ දැනුණු බවත් බයිබලයේ පවසනවා.—ගීතාවලිය 78:40, 41.

දෙවි අප එක් එක්කෙනා ගැන සැලකිලිමත් වෙනවා. යේසුස් ඔහුගේ ගෝලයන්ට ඒ කරුණ කාවැද්දුවේ මෙලෙසයි. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.”—මතෙව් 10:29-31.

දෙවි තරාතිරම් බලන්නේ නැහැ. යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් ග්‍රීක ජාතිකයන්ට පැවසුවේ මෙසේයි. “එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.” එමෙන්ම දෙවි “අප එකිනෙකාට නුදුරුව සිටින්නේය” කියාද ඔහු පැවසුවා. (ක්‍රියා 17:26, 27) යේසුස්ගේ තවත් ගෝලයෙක් වූ පේතෘස් පැවසුවේ මෙසේයි. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.”—ක්‍රියා 10:34, 35.

දැන හඳුනා ගැනීමේ ප්‍රයෝජනය: සමහරුන්ට ‘දෙවි කෙරෙහි උද්‍යෝගයක් ඇතත් එය නිවැරදි දැනුමට අනුව නොවෙයි.’ (රෝම 10:2) එහෙත් දෙවි ගැන බයිබලයේ ඇති දෙය අපම සෝදිසි කර බලනවා නම් දෙවි ගැන පවසන වැරදි අදහස් නිසා අප මුළා වෙන්නේ නැහැ. ඒ වෙනුවට “දෙවිට ළං වන්න” අපට හැකි වෙනවා.—යාකොබ් 4:8.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “ඇත්තටම දෙවි මොන වගේ කෙනෙක්ද” යන 1වන පරිච්ඡේදය බලන්න. *

[පාදසටහන]

^ 11 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

[6වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නිර්මාණයන් නිරීක්ෂණය කිරීමෙන් දෙවි ගැන දැනුම ලබාගත හැකියි