ජීවිතයේ කටුක අද්දැකීම් දේව ශාපයක් නිසාද?
පාඨකයන් අසයි
ජීවිතයේ කටුක අද්දැකීම් දේව ශාපයක් නිසාද?
ඔබ නොසිතූ ලෙස ලෙඩ වී හෝ දරුණු අනතුරකට ලක් වී තිබෙනවාද? එහෙමත් නැත්නම් ඔබේ පවුලේ කෙනෙක් අකල් මරණයකට ගොදුරු වී ඇද්ද? ඔබ මෙවැනි කටුක අද්දැකීමකට මුහුණ දී ඇත්නම් දෙවියන් ශාප කර තිබෙනවා කියා සිතන්න බොහෝවිට ඉඩ තිබෙනවා.
දෙවි අපට එසේ ශාප කරන්නේ නැහැ. ඔහු කැමති මිනිසුන් කරදරයක් නැතුව සතුටෙන් ජීවත් වෙනවා දකින්නයි. දෙවි මුල් මිනිස් යුවළව “ඒදන්” නමැති පාරාදීසයක් වැනි උයනේ පදිංචි කෙරෙව්වෙත් ඒ නිසයි.—උත්පත්ති 2:15.
ඔවුන් හිතාමතාම දෙවිට අකීකරු වී ඒ සුන්දර ජීවිතය නැති කරගැනීම අද අප දුක් විඳීමට එක හේතුවක්. ඒත් ඒ යුවළ කළ වරදට අපි දුක් විඳින්නේ ඇයි? මෙසේ සිතන්න. පියෙක් නිවසේ මාසික කුලිය නොගෙවා සිටියොත් සිදු වන්නේ කුමක්ද? එවිට ගේ අයිතිකරු අහිංසක දරුවන් ඇතුළු මුළු පවුලම පාරට ඇද දමයි. ඒ හා සමානව ඒ මුල් දෙමව්පියන් වන ආදම් සහ ඒවගේ වරද නිසා අප සියලුදෙනාටම දුක් විඳින්නයි සිදු වී තිබෙන්නේ. (රෝම 5:12) පසු කලෙක යෝබ් නමැති පුද්ගලයා පැවසුවේ ඔහු විඳිමින් සිටි විපත් “තරාදියක දමා” මැන බැලීමට හැකි නම් “ඒවා සාගරයේ වැලිවලටත් වඩා බරින් අධිකය” කියායි.—යෝබ් 6:2, 3, නව ලොව පරිවර්තනය, NW.
දුරදිග බලා කටයුතු නොකිරීමත් අප දුක් විඳීමට තවත් හේතුවක්. උදාහරණයකට ඔබ නිවසක් මිල දී ගන්නවා. නමුත් එම නිවස සාදා තිබෙන්නේ වතුරට යට වෙන ප්රදේශයකයි. ඔබ ඒ ගැන කලින් සොයා බැලුවේ නැති නිසා ඔබත් ඔබේ පවුලේ අයත් දැන් සිටින්නේ ඉතාම අවදානම් තත්වයකයි. ඊට වග කිව යුත්තේ දෙවිද? බයිබලයේ මෙවැනි උපදෙසක් දෙනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15, NW.
කෙසේවෙතත් හැමදාම දුක් වෙවී ඉන්න දෙවි මිනිසාට ඉඩ දෙන්නේ නැහැ. ඔහු මිනිසාව දුකෙන් මුදවා මුලින්ම අරමුණු කළ සතුට නැවත ලබා දෙනවා. එදාට දෙවි දුක, වේදනාව හා මරණය සම්පූර්ණයෙන්ම ‘පහ කර’ දමනවා. (එළිදරව් 21:4) නැවත කවමදාකවත් යුද්ධ හෝ ස්වාභාවික විපත්ති සිදු වන්නේ නැති නිසා ගෙවල් දොරවල්වලට හා වතු පිටිවලට හානියක් සිදු වන්නේ නැති බවට දෙවි පොරොන්දු වෙනවා. එදාට, ඔවුන් කරන වැඩවලින් ඔවුන් ‘නියම සතුට’ ලබනවා.—යෙසායා 65:21-25, NW.
ඔබ දැන් පවා අද්දකින වේදනාවන් යම් ප්රමාණයකට අඩු කරගත හැකියි. එසේ කිරීමට “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න” කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 3:5, NW) දෙවිගේ උපදෙස් පතන්න. බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් සොයා බලන්න. එමගින් ඔබට සහනයක් ලැබෙනවා පමණක් නොව බුද්ධිමත් තීරණ ගැනීමටත් හැකි වන බව ස්ථිරයි.—හිතෝපදේශ 22:3.