Skip to content

පටුනට යන්න

‘පොළොවේ ඈත කෙළවරට’ ගිය ගමනක්

‘පොළොවේ ඈත කෙළවරට’ ගිය ගමනක්

රුසියාවෙන් ලිපියක්

‘පොළොවේ ඈත කෙළවරට’ ගිය ගමනක්

අපේ පුංචි ගුවන් යානය පිටත් වුණේ යාකුට්ස්ක් නගරයෙන්. ගුවන් යානය ටුයිමාඩ නිම්නයට ඉහළින් පියාසර කරද්දී ලොකු කුඩා වැව් මිදිලා තියෙනවා අපි දැක්කා. හිමෙන් වැසුණු කඳු හිරු එළියෙන් නැහැවී තිබෙන ආකාරයත් ලස්සනට දිස් වුණා. ඒවා පහු කරගෙන අපි ආවේ ඩෙපුටැට්ස්කි කියන ගමටයි. ඒ වෙනකොට අපි කිලෝ මීටර් 900ක දුරක් ගෙවා තිබුණා.

බටහිර යුරෝපයට වඩා විශාල, සුන්දර නමුත් කටුක පරිසරයක් තියෙන සාකා ජනරජය යකූටියා කියාත් හඳුන්වනවා. මගේ සංචාරය පටන්ගත්තේ එතැනින්. ගිම්හානයේදී සෙල්සියස් අංශක 40කට නඟින උෂ්ණත්වය ශීත කාලයේදී සෙල්සියස් අංශක ඍන 70ට බහිනවා. ඉපැරණි සතුන්ගේ ෆොසිල තවමත් මේ භූමියේ යට වී තිබෙනවා. කලින් වතාවේ මම මෙහේ ආවේ මීට අවුරුදු ගානකට කලින් වුණත් ගන මීදුමෙන් වැසුණු ඒ කුඩා නගර අද ඊයේ වගේ මට මතකයි.

ඩෙපුටැට්ස්කිවලින් නෙවෙයි අපේ ගමන අවසන් වුණේ. මමයි මගේ මිතුරයි අවට තිබුණ ගම්මානවලටත් ගියා. මුලින්ම ගියේ ඩෙපුටැට්ස්කි ඉඳලා කිලෝමීටර් 300ක් පමණ උතුරටයි. එනම් උතුරු සයිබීරියාවේ ලැප්ටෙව් මුහුද අසල පිහිටි කයිර් කියන ගමටයි. අපි එන්න කලින් තවත් සාක්ෂිකරුවෙක් ඇවිත් බයිබලයේ තියෙන දේවල් කියලා දීලා තියෙනවා. එතකොට මෙහෙ ඉන්න හුඟදෙනෙක් තව ඉගෙනගන්න කැමති වෙලා තියෙනවා. අපිටත් යකුට්ස්ක්වලට කිලෝමීටර් 1,000ක විතර දුරක් ගෙවාගෙන එන්න සිද්ධ වුණත් අනිත් සාක්ෂිකරුවන්ට වඩා කිට්ටුවෙන්ම ඉන්නෙ අපියි. මේ අයට අපේ උපකාරයත් දිරිගැන්වීමත් අවශ්‍යයි කියලා අපිට හැඟුණ නිසා අපි ඔවුන්ව බලන්න ආවා.

අපි ඩෙපුටැට්ස්කිවලට ආවම කයිර්වලට යන කෙනෙක්ව මුණගැහුණා. පුංචි ගාස්තුවකට අපිව ගෙනියන්න ඔහු කැමති වුණා. හැබැයි එයාගෙ වාහනේ දැක්කම එච්චර දුරක් යන්න පුළුවන් වෙයිද කියලා අපිට සැකත් හිතුණා. මොකද ඒක පෙට්‍රල් ගඳ ගහන ඩක්කුවක් වගේ එකක්. ඒත් ඒ හැන්දෑවේ වෙන කරන්න දෙයක් නැති හින්දා ඒකට නැග්ගේ ඊළඟට මොනවා වෙයිද කියලා නොදැනයි.

වාහනේ ඉඳගන්නකොට දැනුණේ අයිස් කැටයක් උඩ ඉඳගන්නවා වගෙයි. අපි ඉඳං හිටිය හරියවත් රත් වුණේ නැහැ. ටික දුරක් ගියාම වාහනය නවත්තගෙන අපේ බෑග්වල තිබුණ ශීත කබා කීපයක්ම එක පිට එක ඇඳගත්තා. ඒත් සීතල නම් අඩු වුණේ නැහැ.

අපේ රියදුරා නම් ගානක්වත් නැතුව හොඳට හිනා වෙවී වාහනේ පැදෙව්වා. යන ගමන් එයා ඇහුවා “උත්තරාලෝකය දැකලා තියෙනවාද” කියලා. මම දැකලා තිබුණේ නැති හින්දා ඔහු වාහනය නැවැත්තුවා. අකමැත්තෙන් බැස්සත් ඒ සුන්දර දසුන දැකලා හැම දෙයක්ම අමතක වුණා. පාට පාට සේද සළු ලෙළ දෙනවා වගේ ගුවන සිසාරා ආලෝකය බැබළි බැබළි තිබුණා. අත් දෙක ඉස්සුවා නම් ඒවා අල්ලලා බලන්නත් පුළුවන් වගෙයි පෙනුණේ.

හිමිදිරියේ සීතල අඳුරේ යද්දී තැනින් තැන තිබුණ හිම ගොඩවල් අතරේ අපේ වාහනේ කීප වතාවක්ම හිර වුණා. රියදුරාට අපිත් උදව් කරපු නිසා අපේ ගමන ඇණහිටියේ නැහැ. ඇත්තටම අපි ඇවිත් තියෙන්නේ මිදුණු ගඟවල් දිගේ බව වැටහුණේ දවල් වුණහමයි. ඩෙපුටැට්ස්කිවලින් පිටත් වෙලා කයිර්වලට එද්දී පැය 16ක් ගෙවිලා තිබුණා. හිරිගඩු පිපෙන තරම් සීතලේ ගැහි ගැහි ආව දුර ගමන අවසානයේ අපි ලෙඩ වෙයි කියලා හිතුවත් එහෙම වුණේ නැහැ. පහුවෙනිදා උදේ වෙනකොට වෙහෙස නිවිලා තිබුණා. කකුල්වල ඇඟිලි විතරක් ටිකක් හිරි වැටිලා තිබුණ නිසා ගම් වැසියන් මගේ ඇඟිලිවල ගාගන්න වලස් තෙල් දුන්නා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි සාමාන්‍යයෙන් ශුභාරංචිය ගැන කියන්න ගෙවල්වලට යනවා. හැබැයි මෙහෙදී සිද්ධ වුණේ අනිත් පැත්ත. අපි ආව බව දැනගෙන ඔවුන් අපි ඉන්න තැනට ආවා. අපි සති දෙකහමාරක් පුරා හැම දවසකම ඔවුන් එක්ක බයිබලය පාඩම් කළා. සමහරදාට අපි උදේ ඉඳන් රෑ වෙනකම්ම ඔවුන්ට බයිබලයෙන් ඉගැන්නුවා. දෙවිට ලැදි සංග්‍රහශීලී ප්‍රේමණීය මිනිස්සු හමු වීම ගැන අපි මොන තරම් සතුටු වුණාද! එහෙ හිටපු ආච්චිලා කීපදෙනෙක් අපිට මෙහෙම කිව්වා. “පුතාලා මෙච්චර දුර ගෙවාගෙන පොළොවේ ඈත කෙළවරේ තියෙන අපේ ගමට ආවේ දෙවියන්ම ඕගොල්ලන්ව එව්ව නිසයි.”

ගම් වැසියන් කරන දේවල් සහ ඔවුන්ගේ කෑම දැකලා අපි පුදුම වුණා. උදාහරණයකට ගෙවල් අයිනේ දර අඩුක් කරලා තියෙනවා වගේ ඔවුන්ගේ ගෙවල් අයිනේ අයිස් කුට්ටි අඩුක් කරලා තිබුණා. ඔවුන්ට වතුර ඕන වෙද්දී අයිස් කුට්ටියක් ලොකු කේතලේකට දාලා ලිපේ තියනවා. ඒ වගේම ආක්ටික් ප්‍රදේශයට ආවේණික මාළු ජාතියකින් රසවත් ආහාරයකුත් ඔවුන් හදනවා. ඔවුන් කරන්නේ මාළු ඇල්ලුව ගමන්ම අයිස් වගේ මිදෙන්න තියලා හීනි තීරුවලට කපලා ලුණු ගම්මිරිස් මිශ්‍රණයකට ඒවා දාලා අමුවෙන්ම කෑමට ගන්න එකයි. අපිටත් ඒ වගේ කෑමක් දුන්නා. මේ ප්‍රදේශයේ මැමතා නම් අතිවිශාල හස්ති රාජයන්ගේ දළ වගේම ගස් කොළන්වල දිරාපත් වූ කොටසුත් (ෆොසිල) තවමත් තියෙන බව ගම්මුන් අපට පැවසුවේ හරිම සතුටකින්.

බයිබලය ගැන උනන්දුවක් දැක්වුව අයව හමු වෙන්න මම කයිර්වල ඉඳලා කිලෝ මීටර් සිය ගණනක දුරින් තිබුණ ගම්මානවලට ගියා. වැඩි හරියක් ගියේ ගුවන් යානයෙන්. ඇත්තෙන්ම ඒ අයගේ ලෙන්ගතුකම ගැන කියන්න මට වචන නැහැ. ගුවන් ගමන්වලට මම ටිකක් බයයි කියලා දැනගත්ත පුංචි පිරිමි ළමයෙක් මගේ භය නැති කරන්න කියලා හිතාගෙන කාඩ් එකක ගේකුරුල්ලෝ දෙන්නෙකුයි ගුවන් යානයකුයි ඇඳලා බයිබල් පදයකුත් දාලා මෙහෙම ලියලා තිබුණා. “සාෂා, ඔයා ගුවන් යානයෙන් යද්දි වැටෙයි කියලා භය වෙන්න එපා. මතෙව් 10:29.” ඒ පදයේ “ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත” කියලා සඳහන් වෙනවා. ඒක කියෙව්වම මට ඒ දරුවා ගැන ආදරේ හිතුණා වගේම හිනත් ගියා. මොකද ඒක හරියට ගුවන් යානය බිම වැටුණත් භය වෙන්න එපා ඒක යෙහෝවා දෙවි දකිනවා කියලා කියනවා වගෙයි.

මම දැන් සඳහන් කළ යකූටියාවල මතකයන්වලින් ස්වල්පයක් පමණයි. “පොළොවේ ඈත කෙළවර” සීතල කටුක පරිසරයක වෙසෙන ඒ අපූරු මිනිසුන්ගේ හදවත් මොන තරම් උණුසුම්ද!

[25වන පිටුවේ පින්තූර]

යකූට් වැසියන් හරිම සංග්‍රහශීලීයි ප්‍රේමණීයයි