Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

මාමාගේ දිවි ගැලවූ පුතා

මාමාගේ දිවි ගැලවූ පුතා

ඔයා පාවුල් ගැන අහලා ඇති. ඒත් ඔහුගේ සහෝදරිය ගැනත් ඇගේ පුතා ගැනත් අහලා නැතුව ඇති නේද? *— බයිබලයේ මේ දෙන්නාගේ නම් මොනවාද කියලා සඳහන් කරලා නැහැ. දවසක් මේ පුතා මාමාගේ ජීවිතය බේරුවා. ඒ ගැන දැනගන්න ඔයා කැමතිද?—

පාවුල් යේසුස්ගේ අනුගාමිකයෙක්. ඔහු යේසුස් ගැන දේශනා කරන්න ගිය තුන්වෙනි ගමනත් දැන් අවසන්. පාවුල් දැන් ඉන්නේ යෙරුසලමේ. මේ සිද්ධිය වුණේ ක්‍රිස්තු වර්ෂ 56දී විතර. නිලධාරීන් නඩුව අසන තුරු පාවුල්ව අත්අඩංගුවේ තියාගන්නවා. හැබැයි පාවුල්ගේ සතුරෝ පාවුල්ව මරන්න කුමන්ත්‍රණය කරනවා. ඔවුන්ගෙන් 40දෙනෙක් පමණ පාවුල්ව මරන්න මඟ රැකගෙනයි ඉන්නේ.

පාවුල්ගේ ඥාති පුතා කොහොම හරි මේ ගැන දැනගන්නවා. ඊටපස්සේ එයා මොනවද කළේ කියලා ඔයා දන්නවාද?— එයා ඉක්මනටම එයාගේ මාමාට (පාවුල්ට) ඒ ගැන කියනවා. පාවුල් හමුදා නිලධාරියෙකුට කතා කරලා ‘මේ තරුණයාව සේනාධිපති වෙතට ගෙනියන්න. ඔහුට දැන්විය යුතු යමක් මොහුට තිබෙනවා’ කියලා කිව්වා. ඉතින් දැන් එයාව සේනාධිපති ක්ලෝදියස් ලිසියස් ගාවට ගෙනියනවා. පුතාගේ කතාව අහලා සේනාධිපති මෙහෙම කියනවා.

‘ඔයා මේ දේවල් මට දැන්වූ බව කාටවත් කියන්න එපා.’ සොල්දාදුවන් 200දෙනෙකුත් අසරුවන් 70දෙනෙකුත් හෙල්ලකරුවන් 200දෙනෙකුත් එක්ක පාවුල්ව සිසේරියාවට අරගෙන යන්න කියලා සේනාධිපති නිලධාරීන් දෙන්නෙකුට අණ කරනවා. රෑ නවයට විතර මේ 470දෙනා කිසිම කරදරයක් නැතුව සිසේරියේ ආණ්ඩුකාර ෆීලික්ස්ට පාවුල්ව භාර දෙනවා. කුමන්ත්‍රණය ගැන ක්ලෝදියස් ෆීලික්ස්ට ලියුමකින් දැනුම් දෙනවා.

පාවුල්ට විරුද්ධව චෝදනා කරන්න යුදෙව්වන්ට උසාවියටම යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔවුන්ගේ චෝදනා ඔප්පු කරන්න කිසිම සාකෂියක් ඔවුන්ට තිබුණේ නැහැ. කොහොමවුණත් අවුරුදු දෙකකට පාවුල්ව නිකම් හිරේ තියාගෙන ඉන්නවා. මේක හරි අසාධාරණයක්. ඉතින් පාවුල් ඉල්ලීමක් කරනවා තමන්ගේ නඩුව අහන්න ඔහුව සිසේරියාවේ සිට රෝමයට යවන්න කියලා.—ක්‍රියා 23:16–24:27; 25:8-12.

මේ වෙච්ච දේවලින් පාවුල්ගේ ඥාති පුතා ගැන අපි මොකක්ද ඉගෙනගන්නේ?— එයා හරි දේ කරන්න භය වුණේ නැහැ. අපිත් එහෙම වෙන්න ඕන නේද? භය නැතුව හරි දේ කරනකොට මිනිසුන්ව බේරගන්න පුළුවන් වෙනවා. යේසුස් ඒ වගේ කෙනෙක්. ඔහුගේ සතුරන් ඔහුව ‘මරන්න සෙව්වත්’ ඔහු නිර්භීතව මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය ගැන කියා දුන්නා. යේසුස් අපිටත් කිව්වේ එහෙම කරන්න කියලා. අපිත් එහෙම කරන්න ඕන නේද? පාවුල්ගේ ඥාති පුතා වගේ අපිත් නිර්භීතව හරි දේ කරමු.—යොහන් 7:1; 15:13; මතෙව් 24:14; 28:18-20.

පාවුල්ට හොඳ යාළුවෙක් හිටියා තිමෝති කියලා. ඔහු හරියට පාවුල්ගේ පුතෙක් වගේ. දවසක් පාවුල් ඔහුට මෙහෙම කිව්වා. “ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිතරම අවධානයෙන් ඉන්න. ඒවායෙහි පවතින්න. මන්ද, ඔබ මෙසේ කිරීමෙන් ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්නෙහිය.” (1 තිමෝති 4:16) පාවුල්ගේ ඥාති පුතාත් කළේ ඒ දේමයි. ඔයත් එහෙම කරනවාද?

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.