Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

රෝම හේවායන් යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය ඉතා වටිනා එකක් ලෙස සැලකුවේ ඇයි?

යේසුස්ව වධකණුවේ ඇණ ගැසීමට හවුල් වූ හේවායන් හතරදෙනෙක් ඔහුගේ පිට වස්ත්‍ර ඉරා එකිනෙකා අතරේ බෙදාගත්තා. නමුත් යොහන් 19:23හි පෙන්නුම් කරන ආකාරයට එම හේවායන් යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය බෙදාගත්තේ නැහැ. ඊට හේතුව එම ඇතුල් වස්ත්‍රය මූට්ටුවක් නොදමා ඉහළ සිට පහළට සම්පූර්ණයෙන්ම වියා තිබීමයි. ඒ නිසා එය නොඉරා එක්කෙනෙකුට අයිති කරගැනීම සඳහා ඔවුන් දාදු දැමුවා. එම වස්ත්‍රය නිමවා තිබුණේ කෙසේද?

සාමාන්‍යයෙන් ඇතුල් වස්ත්‍රයක් පිළියෙල කිරීමට වූල් හෝ ලිනන් රෙදි භාවිත කළ අතර එය දණහිස හෝ වළලුකර දක්වා දික් වුණා. ඇතුල් වස්ත්‍ර පිළියෙල කිරීමට භාවිත කළ විවිධ ක්‍රම ගැන සලකා බලමු. මුලින්ම වස්ත්‍රයේ ඉදිරිපසට සහ පිටුපසට අවශ්‍ය රෙදි කොටස් දෙක ගනු ලබනවා. ඉන්පසු ඒවා එකිනෙකට තබා හිස සහ අත් දෙක දැමීමට අවශ්‍ය ඉඩ ඉතුරු කර මූට්ටු කරනවා.

තවත් ක්‍රමයක් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “මුලින්ම දිග රෙද්දක් ගෙන එය දෙකට නමනවා. ඉන්පසු අත් දෙක දැමීමට ඉඩ තබා දෙපස මූට්ටු කරනවා. එම රෙද්ද නමා ඇති ස්ථානයෙන් කොටසක් කපා ඉවත් කර හිස දැමීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණයද සකසාගන්නවා.”—Jesus and His World.

කෙසේවෙතත් පලස්තීනයට පමණක් සීමා වූ තවත් සුවිශේෂී ක්‍රමයකටත් ඇතුල් වස්ත්‍ර සාදාගනු ලැබුවා. ඒවා ඉහළ සිට පහළ දක්වා සම්පූර්ණයෙන්ම වියා තිබුණු නිසා කිසිම තැනක මූට්ටුවක් තිබුණේ නැහැ. ඒ නිසා එවැනි වස්ත්‍ර වටිනාකමින් ඉහළයි. යේසුස් පැළඳ සිටියේ එවැනි ඇතුල් වස්ත්‍රයක් නිසා හේවායන් එය ඉතා වටිනා එකක් ලෙස සැලකුවා.

පුරාණ ඊශ්‍රායෙල් දේශයේ මී මැසි පාලනය කෙරුණාද?

ඊශ්‍රායෙල්වරුන්ව “කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට” ගෙන යන බවට දෙවි පොරොන්දු වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 3:8, නව ලොව පරිවර්තනය) බයිබලයේ පැණි ගැන සඳහන් කරද්දී එය බොහෝවිට යොමු දක්වන්නේ මී පැණිවලටයි. ඒ වුණත් අතීතයේදී ඊශ්‍රායෙලයේ මී මැසි පාලනය සිදු වූ බවට බයිබලයේ කිසිම වාර්තාවක් නැහැ. කොහොමවුණත් ඊශ්‍රායෙලයේ මී මැසි පාලනය වෘත්තීමය මට්ටමෙන් සිදු වී ඇති බව මෑතකදී බෙත්ෂෙයාන් නිම්නයේ පිහිටි ටාල් රෙකෝ නම් ස්ථානයේ කරන ලද කැනීම්වලින් ඔප්පු වී තිබෙනවා.

එම කැනීම් කටයුතු කළේ යෙරුසලමේ පිහිටි විශ්ව විද්‍යාලයක පර්යේෂක කණ්ඩායමක් විසිනුයි. ඔවුන්ට මී මැසි පාලනය සඳහා භාවිත කළ මැටි බඳුන් සොයාගත හැකි වූ අතර ඒවා ක්‍රිස්තු පූර්ව දහවන සහ නවවන සියවසට අයත් බවත් සඳහන් වෙනවා. එවැනි බඳුන් මැද පෙරදිග රටකින් සොයාගත් මුල්ම අවස්ථාව එයයි. එම ස්ථානයේ එවැනි බඳුන් සිය ගණනක් තිබෙන්න ඇති බවත් ඒවා පේළියට තට්ටු තුනක් සිටින සේ තබා තිබූ බවත් ඔවුන් පවසනවා.

පර්යේෂකයන්ගේ වාර්තාවට අනුව ‘එම බඳුන් මැටිවලින් සාදා තිබුණත් ඒවා පුලුස්සා තිබුණේ නැහැ. ඒවා සිලින්ඩරාකාර හැඩයක් ගත් අතර අඟල් 30ක පමණ උසකින් සහ අඟල් 15ක පමණ විෂ්කම්භයකින්ද යුක්තයි. එම බඳුන් ප්‍රමාණය දෙස බලද්දී වාර්ෂිකව මී පැණි ටොන් භාගයක් පමණ රැස් කරගන්න ඇති කියා මී මැසි පාලනය ගැන අද්දැකීම් ලත් අය සහ පර්යේෂකයන් පවසනවා.’

[22වන පිටුවේ පින්තූරය]

ටාල් රෙකෝ ප්‍රදේශය

[හිමිකම් විස්තර]

Institute of Archaeology/Hebrew University © Tel Rehov Excavations