Skip to content

පටුනට යන්න

කියවා තේරුම්ගත හැකි පොතක්ද?

කියවා තේරුම්ගත හැකි පොතක්ද?

කියවා තේරුම්ගත හැකි පොතක්ද?

“හැම ඉරිදාවකම ශුද්ධ බයිබලය කියවන්න අපේ පවුලේ අය පුරුදු වෙලා හිටියා. ඒත් මම නම් ඒක කළේ කැමැත්තකින් නෙවෙයි. මොකද ඒකේ තිබුණු දේවලින් වැඩි හරියක් මට තේරුණේ නැහැ. කොහොමවුණත් බයිබලයේ තියෙන්නේ දෙවිගේ අදහස් කියලා මම විශ්වාස කළා.”—බ්‍රිතාන්‍යයේ, ස්ටීවන්.

“වයස අවුරුදු 17දී මම ශුද්ධ බයිබලය කියවන්න පටන්ගත්තා. හැබැයි ඒකේ තිබුණු කිසිම දෙයක් මට තේරුණේ නැති නිසා මම ඒක කියවන එක නතර කළා.”—ස්පාඤ්ඤයේ, බාල්බානේරා.

“මම කතෝලිකයෙක් නිසා ශුද්ධ බයිබලය අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මම බයිබලය කියවන්න පටන්ගත්තා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කියවන්න මට අවුරුදු තුනක් ගත වුණා. ඒත් මම කියෙව්ව දේවලින් වැඩි හරියක් මට තේරුණේ නැහැ.”—ඕස්ට්‍රේලියාවේ, ජොඈන්.

ලොව වැඩියෙන්ම බෙදාහැර තිබෙන හා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී තිබෙන එකම පොත ශුද්ධ බයිබලයයි. එය කැසට් පට, සීඩී හා ඩීවීඩී තැටි ලෙසත් ලබාගත හැකියි. බොහෝදෙනා බයිබලය කියෙව්වත් එහි සඳහන් දේවල් තේරුම්ගැනීම ඔවුන්ට අභියෝගයක් වී තිබෙනවා. ඔබෙත් අද්දැකීම එයද?

මිනිසුන් බයිබලයේ සඳහන් තොරතුරු කියවා තේරුම්ගන්නවාට එහි කර්තෘ කැමතිද?

ශුද්ධ බයිබලයෙහි කර්තෘ යෙහෝවා දෙවියි. එය මුළුමනින්ම ලියනු ලැබුවේ ඔහුගේ මඟ පෙන්වීම යටතේයි. ඒ නිසයි “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය” කියා බයිබලයේ සඳහන් වන්නේ. (2 තිමෝති 3:16) යෙහෝවා දෙවි කැමැති වුණේ සියලුම මිනිසුන් බයිබලය කියවා තේරුම්ගන්නවාටද? නැත්නම් පූජකයන් සහ විශාරදයන් වැනි උගතුන් පමණක් එය තේරුම්ගන්නවාටද?

ඊට පිළිතුරු දැනගැනීමට පහත සඳහන් බයිබල් පද සලකා බලන්න.

“මා අද ඔබට කියා දෙන මේ අණපනත් ඔබට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා නොවෙයි. ඒ නීති දැනගන්න දුර බැහැර ප්‍රදේශයකට යන්න” අවශ්‍ය නැහැ.—ද්විතීය කතාව 30:11, නව ලොව පරිවර්තනය, NW.

“ඔබේ වදන්වල අර්ථය එළිදරව් වන විට ආලෝකය ලැබෙයි. අද්දැකීම් අඩු අයට එයින් අවබෝධය ලැබෙයි.”—ගීතාවලිය 119:130, NW.

“ඒ පැයේදීම [යේසුස්] ශුද්ධාත්මය [දෙවිගේ බලය] තුළින් අතිශයින් ප්‍රීතිමත් වී මෙසේ කීවේය. ‘ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙන බැවින් මම ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමි.’”—ලූක් 10:21.

සියලුම මිනිසුන් බයිබලයේ සඳහන් තොරතුරු කියවා තේරුම්ගන්නවාට එහි කර්තෘ වන යෙහෝවා දෙවි කැමති බව ඉහත බයිබල් පදවලින් පැහැදිලි වෙනවා. නමුත් බොහෝදෙනෙකුට එය කියවා තේරුම්ගැනීම අභියෝගයක්. එය ජයගැනීමට උපකාරවත් වන කරුණු තුනක් ඊළඟ ලිපිවලින් සලකා බලමු.