Skip to content

පටුනට යන්න

ඔබ පොහොසත් වන්නේ දෙවි නිසාද?

ඔබ පොහොසත් වන්නේ දෙවි නිසාද?

ඔබ පොහොසත් වන්නේ දෙවි නිසාද?

‘යාන වාහන සහ මිල මුදලින් ඔබව පොහොසත් කරන්න දෙවි කැමතියි. ඔබට කරන්න තියෙන්නේ දෙවිව විශ්වාස කරලා භය නැතුව තියෙන හැම දෙයක්ම දෙවිට දෙන එක විතරයි.’

ඉහත සඳහන් අදහස බ්‍රසීලයේ බොහෝ ආගම්වල උගන්වන බව එක් පුවත්පතක සඳහන් වුණා. අද බොහෝදෙනෙක්ද එම අදහසට එකඟයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සමීක්ෂණයක් කරනු ලැබුවා. එහි ප්‍රතිඵල ටයිම් සඟරාවේ වාර්තා කර තිබුණේ “මිනිසුන් පොහොසත් වෙනවා දකින්න දෙවි කැමති බව සියයට 61ක්ද තමන් සතු සම්පත් දෙවිට දුන්නොත් තවත් ධනවත් වෙන්න දෙවි ආශීර්වාද කරයි කියා සියයට 31ක්ද විශ්වාස කරන” බවයි.

ඒ නිසා අද බොහෝ මිනිසුන් පල්ලි යන්නේ පොහොසත් වීමට දෙවි තමන්ට ආශීර්වාද කරයි යන බලාපොරොත්තුව ඇතුවයි. නමුත් තමන්ට සේවය කරන අයට ධන සම්පත්වලින් ආශීර්වාද කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවාද? පුරාණයේ දෙවිට සේවය කළ සියලුදෙනාම පොහොසත් අයද?

දෙවිගේ ආශීර්වාදය නිසා පොහොසත් වූ අය සිටි බව බයිබලයේ සඳහන් මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ඔබ එලෙස ධනවත් වන්නේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි. ඒ නිසා හැමවිටම ඔබේ දෙවිව මතකයේ තබාගන්න.” (ද්විතීය කතාව 8:18, නව ලොව පරිවර්තනය, NW) දෙවි එය පැවසුවේ ඊශ්‍රායෙල්වරුන්ටයි. ඔවුන්ට එවැනි දෙයක් පැවසීමෙන් දෙවි අදහස් කළේ ඔවුන් දෙවිට කීකරුව ජීවත් වුණොත් ජාතියක් හැටියට සමෘද්ධිය අද්දකින්න ඔවුන්ට ආශීර්වාද කරන බවයි. නමුත් දෙවි එක් එක් පුද්ගලයාට පොහොසත් වීමට ආශීර්වාද කරනවාද?

පුරාණයේදී දෙවිට විශ්වාසවන්තව සේවය කළ යෝබ් ඉතා ධනවත් පුද්ගලයෙක්. නමුත් දෙවිගේ සතුරා වන යක්ෂයා යෝබ්ට තිබූ සියලුම සම්පත් විනාශ කර දැමුවා. කොහොමවුණත් යෝබ්ට තිබූ සම්පත් මෙන් ‘දෙගුණයක්’ දීමෙන් දෙවි ඔහුට ආශීර්වාද කළා. (යෝබ් 1:3; 42:10NW) පුරාණයේ සිටි ආබ්‍රහම්ද ධනවත් පුද්ගලයෙක්. ඔහුට “රන් රිදී තොගයක්” තිබූ බවත් විශාල සතුන් සංඛ්‍යාවක් සිටි බවත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 13:2NW) දිනක් නැඟෙනහිර දිශාවේ රජවරු හතරදෙනෙක් ආබ්‍රහම්ගේ ඥාතියෙක් වූ ලොත්ව පැහැරගෙන ගිය අවස්ථාවේදී “ඔහුගේම නිවසේ උපන්, සටනට දක්ෂ වූ දාසයන් තුන්සිය දහඅටදෙනෙකුව තෝරාගෙන” ඔවුන්ව ලුහුබැඳ ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 14:14NW) ඔහුගේම නිවසේ උපන් සටනට දක්ෂ දාසයන් 318දෙනෙකු ඔහුට සිටි බව සැලකිල්ලට ගන්න. මේ අය ඇතුළුව තම නිවසේ සිටි සියලුදෙනාවම ඔහු හොඳින් බලා කියා ගත්තා. ඒ සඳහා ඔහුට විශාල වියදමක් දරන්න සිදු වෙන්න ඇති. ඉන් පැහැදිලි වෙන්නේ ඔහු ධනවත් පුද්ගලයෙක් වූ බවයි.

පුරාණයේ දෙවිට සේවය කළ ධනවත් පුද්ගලයන් ලෙස ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, දාවිත් හා සලමොන් වැනි අයව සඳහන් කළ හැකියි. ඉන් අදහස් වන්නේ දෙවිට සේවය කරන අයට පොහොසත් වීමට දෙවි ආශීර්වාද කරන බවද? කෙනෙක් දුප්පත් වන්නේ දෙවිගේ ආශීර්වාදය නැති නිසාද? එම ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරි ලිපිවලින් සලකා බලමු.