Skip to content

පටුනට යන්න

දිලිඳු වන්නේ දෙවිගේ අනුමැතිය නැති නිසාද?

දිලිඳු වන්නේ දෙවිගේ අනුමැතිය නැති නිසාද?

දිලිඳු වන්නේ දෙවිගේ අනුමැතිය නැති නිසාද?

“ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට දිලිඳු වීමට හේතුවක් නැහැ” කියා යෙහෝවා දෙවි පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. ඔහු එසේ පැවසුවේ දිලිඳු අයව රැකබලා ගැනීමට සහ ණය බරින් මිරිකී සිටි අයට සහනයක් දීමට නීති දී තිබුණ නිසයි. (ද්විතීය කතාව 15:1-4, 7-10) එම නීතිවලට එකඟව ඔවුන් ජීවත් වුණා නම් ඔවුන් අතර දිලිඳු අය සිටීමට ඉඩ තිබුණේ නැහැ. එමෙන්ම ඔවුන් එම නීතියට කීකරු වන තාක් කල් ඔවුන්ට ආශීර්වාද කිරීමටත් දෙවි පොරොන්දු වී තිබුණා. නමුත් ඊශ්‍රායෙල්වරුන් සම්පූර්ණයෙන්ම දෙවිට කීකරු වුණේ නැහැ.

කොහොමවුණත් කෙනෙක් දිලිඳු වන්නේ ඔහුට දෙවිගේ අනුමැතිය නැති නිසාවත් කෙනෙක් ධනවත් වෙන්නේ ඔහුට දෙවිගේ අනුමැතිය ඇති නිසාවත් නොවෙයි. අතීතයේ දෙවිට සේවය කළ සමහර අය සිටියේ දිලිඳු තත්වයකයි. ඊට උදාහරණ කිහිපයක් සලකා බලමු. දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ ආමොස් එඬේරෙක් මෙන්ම අත්තික්කා ගස් බලාගන්නෙක්. (ආමොස් 1:1; 7:14) එමෙන්ම ඊශ්‍රායෙල් දේශයේ නියඟයක් පැවති කාලයේදී අනාගතවක්තෘ එලියාට ආහාර ලබා දුන්නේ දිලිඳු වැන්දඹුවක්. එමනිසා නියඟය පැවති කාලය පුරාවටම වැන්දඹුවට අවශ්‍ය පිටි සහ තෙල් ආශ්චර්යවත් ආකාරයෙන් ලබා දීමෙන් දෙවි ඔවුන්ට ආශීර්වාද කළා. ඔවුන්ට දෙවිගේ ආශීර්වාද ලැබුණු නිසා මිල මුදලින් ඔවුන් ධනවතුන් බවට පත් වුණේ නැහැ. නමුත් දෙවි ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන් සැපයුවා.—1 රාජාවලිය 17:8-16.

නොසිතූ ලෙස සිදු වන දේවල් නිසා මිනිසුන් දිලිඳු තත්වයට පත් විය හැකියි. උදාහරණයකට හදිසි අනතුරක් හෝ අසනීපයක් නිසා සමහරවිට පුද්ගලයෙක් තාවකාලිකව හෝ සදහටම වැඩක් පලක් කරගත නොහැකි තත්වයකට පත් විය හැකියි. එමෙන්ම හදිසි මරණයක් නිසා දරුවන් අසරණ තත්වයකටත් භාර්යාවන් වැන්දඹුවන් බවටත් පත් විය හැකියි. එවැනි දේවල් සිදු වන්නේ දෙවිගේ අනුමැතිය නොලැබීම නිසා නොවෙයි. පුරාණයේ සිටි වැන්දඹුවන් දෙදෙනෙකු වූ රූත් සහ නයොමි ඊට කදිම උදාහරණයක්. ඔවුන් දෙදෙනාව යෙහෝවා දෙවි ආදරයෙන් රැකබලා ගත්තා වගේම ඔවුන්ගේ අවශ්‍යතා සැපයීමෙන් ඔවුන්ට ආශීර්වාද කළා.—රූත් 1:1-6; 2:2-12; 4:13-17.

දිලිඳුකම දෙවිගේ අනුමැතිය නොමැති බවට සාක්ෂියක් නොවන බව ඉන් පැහැදිලියි. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට පුරාණයේ සිටි දාවිත් රජ පැවසූ මෙම වදන් මහත් සහනයක්. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.”—ගීතාවලිය 37:25NW.

[8වන පිටුවේ පින්තූරය]

රූත් සහ නයොමි දිලිඳු වුණත් දෙවි ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත්තා