Skip to content

පටුනට යන්න

දෙවි ලබා දෙන පොහොසත්කම

දෙවි ලබා දෙන පොහොසත්කම

දෙවි ලබා දෙන පොහොසත්කම

ඔබ දෙවිට විශ්වාසවන්තව සේවය කළොත් දෙවි ඔබව පොහොසත් කරනවාද? ඔව්, නමුත් එය ඔබ සිතන ආකාරයේ පොහොසත්කමක් නොවෙයි. උදාහරණයකට යේසුස්ගේ මව වූ මරියා ගැන සලකා බලන්න. ඇය ධන සම්පත්වලින් පොහොසත් කෙනෙක් නොවෙයි. නමුත් ඇයව හමු වීමට පැමිණි දේවදූතයා ඇයට ආමන්ත්‍රණය කළේ දෙවිගෙන් “බොහෝ සෙයින් ප්‍රසාදය ලද තැනැත්තිය” ලෙසයි. ඒ වගේම දෙවිගේ පුත්‍රයාව බිහි කිරීමේ වරප්‍රසාදය ඇයට ලැබී ඇති බවත් දේවදූතයා පැවසුවා. (ලූක් 1:28, 30-32) මරියා දිලිඳු කෙනෙක් වූ නිසා යේසුස් ඉපදුණු පසුව ඇය පූජා කළේ ‘කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකුවයි.’ (ලූක් 2:24) අතීතයේදී එවැනි පූජා ඔප්පු කිරීමට අවසර දී තිබුණේ දිලිඳු අයට පමණයි.—ලෙවී කතාව 12:8.

මරියා දිලිඳු කෙනෙක් වූ නිසා ඇයට දෙවිගෙන් ආශීර්වාද ලැබුණේ නැද්ද? එක් අවස්ථාවකදී ඇය තම ඥාතියෙක් වූ එලිසබෙත්ව මුණගැසීමට ගිය අවස්ථාවේදී සිදු වූ දෙය බලන්න. “එලිසබෙත් ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පූර්ණ වී, මහත් හඬින් මෙසේ කීවාය: ‘ඔබ ස්ත්‍රීන් අතරින් ආශීර්වාද ලද්දීය. ඔබේ කුසේ පලයද ආශීර්වාද ලද්දේය!’” (ලූක් 1:41, 42) ඇත්තෙන්ම දෙවිගේ පුත්‍රයාව බිහි කිරීමට ලැබීම ඇයට ලැබුණු මහත් ආශීර්වාදයක් නොවේද!

යේසුස් හැදී වැඩුණේ දිලිඳු පවුලකයි. “හිවලුන්ට බෙන තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (ලූක් 9:57, 58) නමුත් යේසුස් පොළොවට පැමිණි නිසා ඔහුගේ අනුගාමිකයන්ට යම් ආකාරයකින් පොහොසත් වීමට අවස්ථාව ලැබුණා. ඒ ගැන ඔහුගේ අනුගාමිකයෙකු වූ පාවුල් පැවසූ දෙය සලකා බලන්න. “ඔහු ධනවත්ව සිටි නමුත් ඔබ උදෙසා ඔහු දිලිඳු විය. එසේ කළේ ඔබ ඔහුගේ දිලිඳුකම තුළින් ධනවත් වන පිණිසය.” (2 කොරින්ති 8:9) යේසුස් තම අනුගාමිකයන්ව ධනවත් හෙවත් පොහොසත් කළේ කිනම් අර්ථයෙන්ද? අද දින සිටින ඔහුගේ අනුගාමිකයන් ගැන කුමක් කිව හැකිද?

පොහොසත් වූ අයුරු

සාමාන්‍යයෙන් වත්පොහොසත් අය නැඹුරු වන්නේ දෙවි කෙරෙහි විශ්වාස කරනවාට වඩා තමන්ගේ ධනය මත විශ්වාසය තැබීමටයි. එවැනි අය ගැන යේසුස් මෙසේ පැවසුවා. “මුදල් ඇත්තන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වන්න මොන තරම් අමාරුද!” (මාක් 10:23) එසේනම් යේසුස් තම අනුගාමිකයන්ට ලබා දුන් පොහොසත්කම ධන සම්පත්වලින් ලැබෙන පොහොසත්කමක් විය නොහැකියි.

පුරාණයේ සිටි ක්‍රිස්තියානීන් අතරින් වැඩිදෙනෙක් දිලිඳු අයයි. එක් අවස්ථාවකදී උපන්දා පටන් කොරව සිටි සිඟමන් අයැදූ මිනිසෙක් තමන්ට කීයක් හරි දෙන්න කියා පැවසූ විට ක්‍රිස්තියානියෙකු වූ පේතෘස් දුන් මේ පිළිතුරෙන් ඒ බව පැහැදිලි වෙනවා. “රන් රිදී මට නැත. නමුත් මට ඇති දේ ඔබට දෙමි, නාසරිය යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්, ඇවිදින්න.”—ක්‍රියා 3:6.

පුරාණයේ සිටි ක්‍රිස්තියානීන් අතරින් බහුතරයක් දිලිඳු අය වූ බව යේසුස්ගේ අනුගාමිකයෙක් වූ යාකොබ් පැවසූ මේ දෙයින්ද පැහැදිලි වෙනවා. “මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, සවන් දෙන්න. ඇදහිල්ලෙන් [විශ්වාසයෙන්] ධනවත් වන පිණිසත්, තමාට ප්‍රේම කරන අයට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත් දෙවි තෝරාගත්තේ, ලෝකයට අනුව දිලිඳු අයව නොවේද?” (යාකොබ් 2:5) පාවුල්ද පැවසුවේ අතීතයේදී යේසුස්ගේ අනුගාමිකයන් ලෙස කටයුතු කළ බොහෝ අය මිනිසුන් අතර සිටින ප්‍රඥාවන්තයැයි සැලකූ අය හෝ සමාජයේ ඉහළ පෙළේ වැජඹුණ ධනවත් අය නොවූ බවයි.—1 කොරින්ති 1:26.

යේසුස්ගේ අනුගාමිකයන් පොහොසත් වුණේ ධන සම්පත් අතින් නොවේ නම් ඔවුන් පොහොසත් වුණේ කිනම් අර්ථයෙන්ද? ස්මර්ණාවේ පිහිටි සභාවේ සිටි අයට යේසුස් පැවසූ මේ දෙයින් ඊට පිළිතුර දැනගත හැකියි. “ඔබේ පීඩාවද දිලිඳුකමද මම දනිමි. එහෙත් ඔබ ධනවත්ය.” (එළිදරව් 2:8, 9) එහි සිටි අයට එතරම් මිල මුදල් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට දෙවි කෙරෙහි තිබුණ විශ්වාසය අතින් ඔවුන් ඉතාමත් පොහොසත්ව සිටියා. ඇත්තෙන්ම දෙවි කෙරෙහි විශ්වාසයක් ඇතුව සිටීම ඉතාමත් වැදගත්. නමුත් එවැනි විශ්වාසයක් සෑම කෙනෙක් තුළම දක්නට නොලැබීම කනගාටුවට කරුණක්. (2 තෙසලෝනික 3:2) පුද්ගලයෙකුට කොතරම් මුදල් තිබුණත් ඔහුට දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් දෙවිගේ ඇස් ඉදිරියේ ඔහු සිටින්නේ ඉතාමත් දිලිඳු තත්වයකයි.—එළිදරව් 3:17, 18.

විශ්වාසයෙන් ලැබෙන පොහොසත්කම

දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙහි ඇති ප්‍රයෝජන මොනවාද? එවැනි අයට දෙවිගේ “කරුණාව” සහ ‘බොහෝ ඉවසිලිවන්තකමෙන්’ ප්‍රයෝජන ලැබිය හැකියි. (රෝම 2:4) එමෙන්ම යේසුස්ගේ ජීවිත පූජාව කරණකොට ගෙන තම පව්වලට සමාව ලබාගැනීමටත් අවස්ථාව තිබෙනවා. (එෆීස 1:7) එපමණක්ද නොව යේසුස් ඉගැන්වූ දේවල් තුළින් ප්‍රඥාවන්තව කටයුතු කිරීමටත් හැකි වෙනවා. (කොලොස්සි 3:16) ඔවුන් දෙවිට යාච්ඤා කරන විට “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” සහ සන්තෝෂය අද්දකින්නත් හැකි වෙනවා.—ෆිලිප්පි 4:7.

ඉහත කී කාරණාවලට අමතරව දෙවි කෙරෙහි සහ යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව ඇතුව සිටීමටත් හැකි වෙනවා. ඒ සම්බන්ධයෙන් යේසුස් පැවසූ දෙය සලකා බලන්න. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල [විශ්වාසය] පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) සදාකාල ජීවනය ලබාගැනීමට නම් දෙවි ගැනත් යේසුස් ගැනත් නිවැරදි දැනුමක් ලබාගැනීම අවශ්‍යයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

දෙවිගේ ආශීර්වාදයෙන් ලැබෙන තවත් ප්‍රයෝජන තිබෙනවා. ඒවා තේරුම්ගැනීමට අද්දැකීම් කිහිපයක් සලකා බලමු. බ්‍රසීලයේ ජීවත් වන ඩාලිඩියෝ නම් තැනැත්තා මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක්. ඒ නිසා ඔහුගේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති වූ අතර ඔහු ආර්ථික ප්‍රශ්නවලටත් මුහුණ දුන්නා. නමුත් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගැනීමත් සමඟම ඔහුගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා.

බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත් ඩාලිඩියෝ මත්පැන් පානය නතර කළා. ඉන්පසු ඔහු පූර්ණකාලීන දේවසේවකයෙක් ලෙස ගෙයින් ගෙට ගොස් දෙවිගේ රාජ්‍යය ගැන අන් අයට කියා දෙන්න පටන්ගත්තා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “ඉස්සර මම ගියේ තැබෑරුමෙන් තැබෑරුමට. ඒත් දැන් මම යන්නේ ගෙයින් ගෙට.” ඔහු එම නරක පුරුද්ද අත්හැරිය නිසා ඔහුට යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීමටත් ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්නත් හැකි වුණා. ඒ ගැන ඔහු පවසන දේ බලන්න. “මම දැන් මත්පැන්වලට සල්ලි නාස්ති කරන්නේ නැති නිසා ඒ සල්ලිවලින් අනික් අයට උදව් කරන්නත් මට අවශ්‍ය දේවල් ගන්නත් පුළුවන්.” ඩාලිඩියෝට දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර හොඳ මිතුරන්ද සිටිනවා. එමෙන්ම කලින් අත් නොදුටු සහනයක් දැන් ඔහු අද්දකිනවා.

දැන් අපි තවත් අද්දැකීමක් සලකා බලමු. දිනක් කාන්තාවන් දෙදෙනෙක් ගමන් කරමින් සිටින විට බංකුවක් යට බෑගයක් තිබෙනවා දුටුවා. එය සෙලවෙමින් තිබුණ නිසා ඔවුන් සිතුවේ යම් කෙනෙක් පූස් පැටියෙකුව එහි දමා ගොස් ඇත කියායි. නමුත් බෑගය දිගහැර බැලූ විට ඔවුන් දුටුවේ පූස් පැටියෙකු නොව පෙකණිවැලවත් වැටී නොතිබුණ සීරීම් තුවාල සහිත කුඩා බිලිඳෙක්. ඔවුන් දෙදෙනා ඉක්මනින්ම එම දරුවාව ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත රැගෙන ගියා. ඒ නිසා බිලිඳාගේ ජීවිතය බේරුණා. ඒ දරුවා දැන් වැඩිහිටියෙක්. ඔහුගේ නම රෙනාටෝ. නමුත් ඔහුගේ සිනා මුසු මුහුණ දකින විට ඔහු අතීතයේදී එතරම් කටුක අද්දැකීමකට මුහුණ දුන්නා කියා සිතන්නවත් බැහැ.

රෙනාටෝව රෝහලට රැගෙන ගිය කාන්තාවන් දෙදෙනා අතරින් එක් කාන්තාවක් සාක්ෂිකාරියක්. ඇය ඒ බිලිඳා ගැන තවත් සාක්ෂිකාරියක් වූ රීටාට පැවසුවා. රීටාට සිටියේ දියණියක් පමණක් නිසා පුතෙකුව හදා වඩා ගැනීමට ඇය ලොකු ආශාවකින් පසු වුණා. අවස්ථා කිහිපයකදීම රීටාට මළ දරු උපත් සිදු වී තිබෙනවා. ඒ නිසා ඇය රෙනාටෝව හදා වඩා ගැනීමට කැමති වුණා.

රෙනාටෝ කුඩා කාලයේදීම ඔහුගේ සැබෑ මව තමන් නොවන බව රීටා ඔහුට පැවසුවා. නමුත් ඇය ඔහුට දැක්වූ ආදරයේ නම් කිසි අඩුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඇය බයිබලයේ සඳහන් තොරතුරුද දිගටම රෙනාටෝට ඉගැන්වූවා. රෙනාටෝ ටිකෙන් ටික වැඩිහිටියෙක් වන විට ඔහු බයිබලයේ සඳහන් දේවල් තවත් උනන්දුවෙන් ඉගෙනගත්තා. ඔහුගේ ජීවිතය ආරක්ෂා වූ ආකාරය ගැන රෙනාටෝ හුඟක් සතුටු වෙනවා. මෙම බයිබල් පදය කියවන සෑම අවස්ථාවකදීම රෙනාටෝගේ ඇස්වලට කඳුළු එනවා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.”—ගීතාවලිය 27:10NW.

යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් කළ සියල්ල රෙනාටෝ මහත් සේ අගය කරනවා. වර්ෂ 2002දී ඔහු දෙවිට කැප වී බව්තීස්ම වුණා. ඊළඟ වසරේ සිට ඔහු පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. රෙනාටෝගේ සැබෑ දෙමාපියන් කවුද කියා ඔහු තවමත් දන්නේ නැහැ. අනාගතයේදී ඔහුට ඒ බව දැනගන්න ලැබෙයිද කියා අප දන්නෙත් නැහැ. කොහොමවුණත් යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබීම සහ ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ලැබුණ අවස්ථාව ගැන රෙනාටෝ සතුටු වෙනවා.

සමහරවිට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබත් කැමති ඇති. දුප්පත් පොහොසත් සියලුදෙනාටම යෙහෝවා දෙවි සමඟත් යේසුස් සමඟත් එවැනි මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවස්ථාව තිබෙනවා. එමගින් ඔබව මිල මුදලින් ධනවතෙක් නොකළත් මුදලින් ලබාගත නොහැකි සාමය හා සතුට අද්දැකීමට ඔබට හැකි වේවි. බයිබලයේ සඳහන් මෙම වදන් ඇත්තෙන්ම සත්‍යයක්. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.”—හිතෝපදේශ 10:22NW.

තමන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නා අය ගැන යෙහෝවා දෙවි හුඟක් සැලකිලිමත්. ඔහු මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.” (යෙසායා 48:18NW) නිවැරදි ආකල්පයක් ඇතුව ඔහුගේ කැමැත්ත කරන අයට ආශීර්වාද කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. එය බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.”—හිතෝපදේශ 22:4NW.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් සාමය හා සතුට අද්දැකිය හැකියි

[5වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ පවුලේ අය දිලිඳු වුණත් දෙවි ඔවුන්ට ආශීර්වාද කළා