Skip to content

පටුනට යන්න

නෙතට සොඳුරු දසුන් මවන විලක්

නෙතට සොඳුරු දසුන් මවන විලක්

නෙතට සොඳුරු දසුන් මවන විලක්

නිකරගුවාව කියන්නේ කුඩා රටක්. ඒ වුණත් මධ්‍යම ඇමරිකාවේ විශාලම විලට උරුමකම් කියන්නේ නිකරගුවාවයි. එම විල හඳුන්වන්නේ නිකරගුවා විල ලෙසයි. එහි මෝරුන්, කඩුකොප්පරාවුන් සහ ටාපන් (tarpon) වැනි කරදිය මසුන් දැකගන්න පුළුවන්. සමහරවිට කරදිය මසුන් ජීවත් වන එකම විල මෙය විය හැකියි. ඇත්තෙන්ම මේ වෙනසට හේතුව කුමක්ද? විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට අතීතයේදී මෙය පිහිටා තිබෙන්නේ බොක්කක් ලෙසයි. නමුත් මෙම බොක්ක ආශ්‍රිතව පිහිටා තිබූ ගිනි කඳු පිපිරීමෙන් ඇති වූ ලාවා ගොඩගැසීම නිසා මෙම බොක්ක පැසිෆික් සාගරයෙන් වෙන් වී විලක් බවට පත් වී තිබෙනවා. ඉන්පසු එහි කරදිය ජලය ක්‍රමානුකූලව මිරිදිය බවට පත් වෙනවාත් සමඟම එහි සිටි මසුන්ද එම වෙනසට හුරු වී තිබෙනවා.

නිකරගුවා විල දිගින් කිලෝමීටර් 160ක් පමණ වන අතර පළලින් කිලෝමීටර් 70ක් පමණ වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 30ක් පමණ උසකින්. මේ විලේ දූපත් 400කටත් වඩා තිබෙන අතර ඉන් 300ක් පමණ තිබෙන්නේ විලේ උතුරු සීමාවට වෙන්න තිබෙන ග්‍රානඩා කියන නගරයට ආසන්නවයි. එමනිසා මේ දූපත් ග්‍රානඩා දූපත් ලෙස හඳුන්වනවා.

මෙහි තිබෙන විශාලම දූපත හඳුන්වන්නේ ඔමෙටෙපේ ලෙසයි. එය පළලින් කිලෝමීටර් 13ක් පමණ වන අතර දිගින් කිලෝමීටර් 25ක් පමණ වෙනවා. මෙහි ගිනි කඳු දෙකක් දකින්න පුළුවන්. එකක් කොන්සෙප්සියොන් ලෙසත් අනික මැඩරස් ලෙසත් හඳුන්වනවා. කොන්සෙප්සියොන් ගිනි කන්ද මීටර් 1,610ක් උසයි. මෙය ක්‍රියාශීලී ගිනි කන්දක් ලෙස සැලකෙන අතර මෙය උතුරු මායිම අරක්ගෙන සිටිනවා. අනික් ගිනි කන්ද මැඩරස්, එය මීටර් 1,394ක් උස් වන අතර එය අක්‍රියාශීලී එකක්. මේ කන්දේ ඇති සාරවත් පස නිසා එය සම්පූර්ණයෙන්ම යොදාගැනෙන්නේ වගා කටයුතුවලටයි. මේ කන්ද දිහා දුර සිට බලන අයෙකුට එය පෙනෙන්නේ හරියට කොළ පාට රෙද්දක් අතුරලා වගෙයි. ඒ වගේම එහි මුදුණේ ඇති පොකුණද මේ කන්දේ සුන්දරත්වය තවත් වැඩි කරනවා.

සොබාසෞන්දර්යයෙන් අසිරිමත් නිකරගුවා විලට ඓතිහාසික වශයෙනුත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඇතැම් දූපත්වල පැරණි ජනාවාසවල නටබුන් දැකිය හැකියි. ඒ නිසා මෙය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී හමාරයි. කෙසේවෙතත් මෙහි සුන්දරත්වය වැඩි කරන තවත් සම්පත් කිහිපයක් ගැන අපි සලකා බලමු.

ජන ජීවිතය

ග්‍රානඩා නගරය ආශ්‍රිතව පිහිටි දූපත්වල විවිධ ශාක වර්ග මෙන්ම විවිධ වන සතුන්වද දැකිය හැකියි. විවිධ තුරුලතා ආදියෙන් ගහන මෙම දූපත්වල අතරින් පතර මල් පිපී තිබෙන ආකාරය නෙතට ඉතාමත් ප්‍රියකරු දසුනක්. දූපත් ඉවුරු අසල සැරිසරන විවිධාකාරයේ ජලාශ්‍රිත පක්ෂීන් අතරට කොක්කු, දියකාවන්, උකුස්සන් වැනි කුරුල්ලන්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දූපත ඇතුළට වෙන්න පිහිටි ගස්වල කූඩු බඳින තවත් අලංකාරවත් පක්ෂියෙක් සිටිනවා. ඌව හඳුන්වන්නේ මොන්ටිසුමා ලෙසයි. විලෙන් හමා එන සුළඟට වේගයෙන් පැද්දෙන උන්ගේ කූඩු දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ එය කඩා වැටෙයිදෝ කියායි. නමුත් කෙදිනකවත් එය එසේ වන්නේ නැහැ.

මින් සමහර දූපත්වල මිනිසුන් ජීවත් වෙනවා. ඒවාවල ධීවරයන්ගේ නිවාස, නිවාඩු නිකේතන, පාසැල්, සුසාන භූමි, අවන්හල් සහ තැබෑරුම් දැකිය හැකියි. එමනිසා මේ දූපත් සමූහය එකම ගම්මානයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි.

මෙහි දිනපතා සිදු වන සමහර දේවල් ගම්වැසියන්ගේ ජීවිතවලට හුඟක් සමීපයි. සෑම උදෑසනකම පාසැල් දරුවන්ව එකතු කරගැනීමට නිල් සහ සුදු පැහැයෙන් යුත් බෝට්ටුවක් දූපතෙන් දූපතට යනවා. ඒ වගේම එළවළු සහ පලතුරු වර්ග විකුණන්න තවත් බෝට්ටුවක් දූපතෙන් දූපතට යනවා. ඊට අමතරව ඉවුර දිගේ ධීවරයන් දැල් සකසන ආකාරය සහ කාන්තාවන් රෙදි සෝදන ආකාරයත් එහි සුලබව දක්නට ලැබෙනවා.

මේ දූපත්වල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැනත් යමක් නොපැවසුවොත් එය අඩුවක් විය හැකියි. ඊට හේතුව දෙවිගේ රාජ්‍ය ගැන මිනිසුන්ට කියා දීම සඳහා දූපත් වෙත යන්න ඔවුන් අපමණ වෙහෙසක් දැරීමයි. (මතෙව් 24:14) ඔවුන් දූපත් වෙත ගිහින් දේවරාජ්‍ය ගැන කියා දුන්නත් එකට රැස් වී බයිබලය ගැන ඉගෙනගන්න ඔවුන්ට ස්ථානයක් තිබුණේ නැහැ. මේ නිසා වතුර මත පා කරන්න පුළුවන් වන ආකාරයේ ශාලාවක් සෑදීමට ඔවුන් සැලසුම් කළා. ඔවුන් එවැනි ශාලාවක් සෑදීමට තීරණය කළේ නොකඩවා රැස්වීම්වලට සහභාගි වන්න කියා බයිබලයේ දිරිගන්වා තිබෙන නිසයි.—හෙබ්‍රෙව් 10:25.

පා වෙන ශාලාව

යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන යුවළක් 2005 නොවැම්බර් මාසයේදී ග්‍රානඩා දූපත් සමූහය වෙත ගියා. ඉන් මාස කිහිපයකට පසු යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා පවත් වන විශේෂ රැස්වීමට එන්න කියා ඔවුන් එහි වැසියන්ට ආරාධනා කළා. එම ආරාධනාව පිළිගෙන 76දෙනෙක් එහි පැමිණ සිටියා. ඒ ගැන මේ යුවළ පුදුම වුණා. නිතිපතා සියලුදෙනාටම එකට රැස් වී බයිබලය ගැන ඉගෙනගැනීමට ශාලාවක් තිබුණා නම් කොතරම් හොඳද කියා ඔවුන්ට සිතුණා. ඒත් ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයාගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. සියලුදෙනාගේ පහසුව තකා තැනින් තැනට ඇදගෙන යා හැකි පා වෙන ශාලාවක් සෑදීමට ඔවුන් තීරණය කළේ ඒ නිසයි.

මේ යුවළට එවැනි දෙයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කිසිම අද්දැකීමක් තිබුණේ නැහැ. ඒත් තවත් හයදෙනෙකුගේ උපකාරය ඇතුව මෙය සෑදීමට ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒ සඳහා ඔවුන්ට මාසයක් ගත වුණා. ඔවුන් එම ශාලාව සෑදුවේ මේ ආකාරයටයි. මුලින්ම යකඩ බටවලින් ශාලාවේ සැකිල්ල සකස් කරගත්තා. එය පා කිරීමට අවශ්‍ය නිසා හුළං පිරවූ බැරල් 12ක් මතට එය සම්බන්ධ කළා. මේ ශාලාවේ බිම සාදා තිබුණේ ප්ලයිවුඩ්වලින්. එමෙන්ම කැන්වස් රෙදි යොදාගෙන වහලද සකස් කරගත්තා. ඒත් මේ ශාලාව ඇත්තටම පා වෙයිද? ඔවුන්ගේ ඊළඟ ප්‍රශ්නය වුණේ එයයි. ඒ නිසා ඔවුන් උපකාර ඉල්ලා දිනපතාම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. අවසානයේදී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා.

මෙම ශාලාවේ මුල්ම රැස්වීම 2006 ජූනි 10වෙනිදා පවත්වනු ලැබුවා. එම රැස්වීමට අනික් දූපත්වල අයත් සහභාගි විය යුතු නිසා ඔවුන් ඊළඟ දවසේ මෙම ශාලාව බෝට්ටුවකින් එම දූපත් වෙත ඇදගෙන ගියා. මෙම රැස්වීම් දෙකටම 48දෙනෙක් පැමිණ සිටියා. එයට සහභාගි වීමට සමහර අයට පැය භාගයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ කැලෑ මැදින් ඇවිදගෙන ඒමට සිදු වුණා. නමුත් සියලුදෙනාටම රැස්විය හැකි ශාලාවක් තිබීම ගැන හැමෝම සතුටු වුණා.

මේ පා වෙන ශාලාව බොහෝදෙනාගේ අවධානයට ලක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ශාලාව එක තැනක සිට අනික් තැනට ඇදගෙන යන විට සමහර අය සතුටින් හිනා වෙලා අත වනනවා. සෑම සතියකම බයිබලය ගැන ඉගෙනගැනීමට සහ එකිනෙකා සමඟ ආශ්‍රය කිරීමට 20කට වඩා වැඩිදෙනෙක් පැමිණෙනවා. ඇත්තෙන්ම මෙම පා වෙන ශාලාවත් නිකරගුවා විලේ තිබෙන සම්පතක් කියා පැවසුවොත් එය නිවැරදියි. මේ පා වෙන ශාලාවේ රැස්වීම් පැවැත්වීම හරිම සුන්දර අද්දැකීමක්. එසේ වන්නේ එය පරිසරයට ඉතා ලෙන්ගතු නිසයි. රැස්වීමේ කතාවලට සවන් දෙන අතරතුර වතුර ගල්වල ගැටෙන හඬ පරිසරයට එකතු කරන්නේ අමුතුම සුන්දරත්වයක්. ඒ වගේම ඉඳහිට වන ලැහැබෙන් නැඟෙන දඟකාර වඳුරන්ගේ හඬත් මේ සුන්දරත්වය තව වැඩි කරනවා.

ඔමෙටෙපේ දූපත

ඔමෙටෙපේ දූපත පිහිටා තිබෙන්නේ ග්‍රානඩා දූපත් සමූහයේ දකුණු දෙසට වෙන්න කිලෝමීටර් 50ක පමණ දුරකින්. එහි ඇති ස්වභාවික අලංකාරය සහ සරු පස නිසා එය වාසයට කදිම ස්ථානයක්. නිකරගුවාවේ මුලින්ම වගා කටයුතු ආරම්භ කර තිබෙන්නේ මේ දූපතෙන් බව පැවසෙනවා. මෙහි මිනිසුන් 42,000ක් පමණ සිටින අතර ඔවුන්ගේ ජීවිකාව සඳහා ඔවුන් කරන්නේ මාළු ඇල්ලීම, බඩඉරිඟු, කෙසෙල්, කෝපි සහ වෙනත් බෝග වර්ග වගා කිරීමයි. මේ දූපතේ රෑනගිරව් මෙන්ම මැග්පයිජෙයිස් නම් කුරුලු විශේෂයත් දැකගන්න පුළුවන්. එමෙන්ම කාගෙත් සිත් ඇදගන්නා කැපුචින් වඳුරන්ද එහි සිටිනවා.

ඔමෙටෙපේ දූපතේ සිටින සාක්ෂිකරුවන් අනික් අයට රාජ්‍ය ගැන කියා දෙන්නේ හරිම උනන්දුවෙන්. වර්ෂ 1966දී මෙහි සිටියේ සාක්ෂිකරුවන් අටදෙනෙක් පමණයි. ඒත් අද වන විට එම සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම රැස්වීම් පැවැත්වීමට ශාලාවන් හතරක්ද ඉදි කර තිබෙනවා. මේ නිසා සියලුදෙනාටම රැස්වීම්වලට පහසුවෙන් සහභාගි විය හැකියි. සාමාන්‍යයක් ලෙස ගත් කළ මේ දූපතේ වෙසෙන මුළු ජනගහනයෙන් 230දෙනෙකුගෙන් එක් අයෙක් සාක්ෂිකරුවෙක්.

ගත වූ කාලය පුරා මෙහි සිටි සාක්ෂිකරුවන්ට විවිධ දුෂ්කරතාවලටත් මුහුණ දීමට සිදු වුණා. උදාහරණයකට 1980දී විරුද්ධවාදීන් පිරිසක් මෙරීඩාවල පිහිටි සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ශාලාවක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ කළා. නමුත් ඒ වෙනුවට 1984දී තවත් ශාලාවක් ඉදි කරනු ලැබූ අතර 2003දී අලුත් ශාලාවක් ඉදි කරන තුරු ඔවුන් රැස්වීම් පැවැත්වූවේ එම ශාලාවේයි. එම අලුත් ශාලාව ඉදි කිරීම ගැන එහි රැස්වීම්වලට පැමිණෙන 60දෙනා බොහෝ සෙයින් සතුටු වෙනවා.

මොයොගාල්පා ගම්මානයේ සෑදූ ශාලාවේ විශාල පිරිසකට වුණත් එකවර රැස්විය හැකියි. එමනිසා වාර්ෂිකව පවත් වන විශාල එක්රැස්වීම් සඳහා සාක්ෂිකරුවන් සහ ඒ අවට දූපත්වල පදිංචි ඔවුන්ගේ මිතුරන් පැමිණෙන්නේ මේ ශාලාවටයි. මෙවැනි අවස්ථාවලදී සමහර අය තම ජීවිත දෙවිට කැප කරමින් බව්තීස්ම වීම විශේෂ දෙයක්. (මතෙව් 28:19) බව්තීස්ම කිරීම සඳහා භාවිත කරන්නේද නිකරගුවා විලයි.

විලේ අනාගතය

නිකරගුවා විල සුන්දරත්වයෙන් පිරිපුන් දැකුම්කලු ස්ථානයක් වුණත් අද ඒ සුන්දරත්වය වියැකෙමින් පවතිනවා. ඊට හේතුව කර්මාන්ත ශාලාවලින් හා ගොවිපොළවලින් ඉවතලන අපද්‍රව්‍ය එයට එකතු වීමයි. එමෙන්ම වනලැහැබ එළිපෙහෙළි කිරීමත් මේ තත්වයට බලපා තිබෙනවා.

මේ තත්වය වැළැක්වීමට ප්‍රදේශවාසීන් සහ රජය ගන්නා උත්සාහය කොතරම්දුරට සාර්ථක වෙයිද කියා කියන්න බැහැ. කොහොමවුණත් පොළොවේ තිබෙන ජෛව විවිධත්වයෙන් යුත් ඉතා අලංකාර විල් සහ දූපත් නැති වී යාමට යෙහෝවා දෙවි ඉඩහරින්නේ නැහැ. එවැනි සුන්දර ස්ථාන ඇතුළු මේ මුළු පොළොවම ධර්මිෂ්ඨ මිනිසුන්ට දායාද කිරීම දෙවිගේ අරමුණයි. එය බයිබලයෙහි සඳහන් වී තිබෙන්නේ මේ ආකාරයටයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29, නව ලොව පරිවර්තනය.

[26වන පිටුවේ පින්තූරය]

පා වෙන ශාලාව