Skip to content

පටුනට යන්න

මුදල්වලින් සැබෑ සතුට ලැබිය හැකිද?

මුදල්වලින් සැබෑ සතුට ලැබිය හැකිද?

මුදල්වලින් සැබෑ සතුට ලැබිය හැකිද?

සෝනියා ඉපදුණේ ස්පාඤ්ඤයේ. කුඩා කාලයේදී ඇය තම මව සමඟ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වී තිබෙනවා. නමුත් ඇය වයසින් මුහුකුරා යන විට ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් සඳහා එංගලන්තය බලා පිටත් වුණා.

සෝනියා එම රැකියාවට බෙහෙවින් ඇලුම් කළා. ඒ වගේම ඉන් විශාල මුදලක්ද උපයාගත්තා. ඇය තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් කැපවීමෙන්ද වැඩ කළ නිසා ඇය සාර්ථක වුණා. සාමාන්‍යයෙන් සෝනියා දිනකට පැය 18ක් වැඩ කරනවා. ඒ නිසා සමහර දිනවලදී ඇය නිදාගන්නේ පැය දෙකක් හෝ තුනක් විතරයි. ඇයට රැකියාවෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ. කෙසේවෙතත් වයස අවුරුදු 30දී සෝනියා අංශභාග රෝගයට ගොදුරු වුණ නිසා ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා. සමහරවිට ඇය මෙවැනි තත්වයකට මුහුණ දෙන්න ඇත්තේ ඇගේ වෙහෙසකර ජීවින රටාව නිසා විය හැකියි.

සෝනියාට උපකාර කරමින් ඇයව බලාගැනීම සඳහා ඇගේ මව එංගලන්තයට ආවා. ඒ වන විටත් ඇගේ කතා කිරීමේ හැකියාව ගැන වෛද්‍යවරුන්ට තිබුණේ සැකයක් පමණයි. කෙසේ හෝ සෝනියාට නැවත ඇවිදීමේ හැකියාව ලැබුණා. ඒත් සමඟම ඇගේ මව ඇයට මෙසේ පැවසුවා. “මට සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න ඕනේ. ඒත් මට ඔයාව තනියම දාලා යන්න බැහැ. ඒ නිසා ඔයත් මාත් එක්ක යන්න එන්න.” සෝනියා එයට එකඟ වුණා. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

ඒ ගැන සෝනියා මෙසේ පැවසුවා. “රැස්වීමේදී ඉගැන්වුව හැම දෙයක්ම ඇත්ත. එහේදී මම ලොකු ප්‍රීතියක් අද්දැක්කා. එතන හිටිය හැම කෙනෙක්ම මට ආදරයෙන් සැලකුවා. ඒ අය අතරින් කෙනෙක් මට බයිබලය ගැන ඉගෙනගන්නත් උපකාර කළා. කාලයක් යද්දී මගේ පරණ යාළුවන්ට මාව අමතක වෙලා ගියත් මෙහේදී මට මුණගැහුණ යාළුවන් නම් මං ගැන හුඟක් සැලකිලිමත්.”

කාලයත් සමඟ සෝනියාට ඇගේ කතා කිරීමේ හැකියාව නැවත ලැබුණා. වැඩි කල් යන්න කලින් ඇය යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන අවුරුද්දක් යන්නත් කලින් බව්තීස්ම වුණා. ඇයට සිටි මිතුරන්ගෙන් බොහෝදෙනෙක් පූර්ණකාලීන සේවකයන් ලෙස දෙවිට සේවය කළ අයයි. ඔවුන් මේ සේවයෙන් කොතරම් ප්‍රීතියක් අද්දකිනවාද කියා සෝනියා දැක්කා. ඒ නිසා සෝනියා මෙසේ කල්පනා කළා. ‘මමත් ආසයි ඒ අය වගේ සේවය කරන්න. මට ඕනේ යෙහෝවා දෙවි වෙනුවෙන් මගේ මුළු කාලයම කැප කරන්නයි.’ දැන් සෝනියා පූර්ණකාලීන සේවකයෙක් ලෙස දෙවිට සේවය කරනවා.

සෝනියා තම අද්දැකීමෙන් ඉගෙනගත් දේ ගැන මෙසේ පවසනවා. “මගේ රැකියාවෙන් මම ලොකු මුදලක් ඉපයුවත් මට තිබුණ පීඩනය සහ අනාරක්ෂිතභාවය නිසා කිසිම සතුටක් ලැබුණේ නැහැ. ජීවිතයේ වඩා වැදගත් වෙන්නේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීම බව දැන් මට හොඳටම පැහැදිලියි. මම සැබෑ සතුට අද්දකින්නේ දැන් තමයි.”

බයිබලයේ මෙවැනි අනතුරු ඇඟවීමක් දී තිබෙනවා. “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.” (1 තිමෝති 6:10) මේ වදන්වල සත්‍යයතාව සෝනියා හොඳින්ම අද්දැක්කා.