Skip to content

පටුනට යන්න

යුක්තිසහගත විනිශ්චයකරුවෙක්

යුක්තිසහගත විනිශ්චයකරුවෙක්

දෙවිට ළං වෙන්න

යුක්තිසහගත විනිශ්චයකරුවෙක්

ගණන් කතාව 20:2-13

සාමාන්‍යයෙන් විනිශ්චයකරුවන් අසාධාරණ ලෙස විනිශ්චය කරන්න ඉඩ තිබෙනවා. නමුත් “යුක්තියට ප්‍රිය” කරන යෙහෝවා දෙවි නම් කිසිවිටක අසාධාරණ ලෙස විනිශ්චය කරන්නේ නැහැ. (ගීතාවලිය 37:28) ඔහු බොහෝ ඉවසිලිවන්ත කෙනෙක් වුණත් යුක්තිය ඉටු කිරීමට වගබලා ගන්නවා. උදාහරණයකට පුරාණයේ සිටි මෝසෙස් සහ ආරොන් දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරි විට දෙවි කටයුතු කළ ආකාරය බලමු.

පොරොන්දු දේශය අද්දරටම පැමිණ සිටි ඊශ්‍රායෙල්වරුන්ට එක් අවස්ථාවකදී බීමට ජලය තිබුණේ නැහැ. * ඒ නිසා කෝපයෙන් ඔවුන් මෝසෙස්ට සහ ආරොන්ට මෙසේ පැවසුවා. ‘ඔබ දෙදෙනා යෙහෝවා දෙවිගේ සෙනඟව මේ පාළුකරයට ගෙනාවේ ඇයි? අපිවයි අපේ සතුන්වයි මරලා දාන්නද? අපිව මේ කිසි කමකට නැති තැනට ගෙනාවේ ඇයි? මෙහේ අත්තික්කා, දෙළුම්, මිදිවතු නැහැ. අඩුම තරමේ අපිට බොන්න වතුරවත් නැහැ.’ (ගණන් කතාව 20:4, 5, නව ලොව පරිවර්තනය, NW) ඊශ්‍රායෙල්වරුන් දැන් අද්දකින්නේ පොරොන්දු දේශයේ තිබෙන තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක්.—ගණන් කතාව 13:23.

මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව ඊශ්‍රායෙල්වරුන් දොස් නැඟුවා කියා ඔවුන්ට දඬුවම් කරනවා වෙනුවට යෙහෝවා දෙවි ඔවුන්ට ජලය ලබා දීමට පියවර ගත්තා. ඒ සඳහා ඔහු මෝසෙස්ට දේවල් තුනක් කරන්න කියා පැවසුවා. (1) සැරයැටිය අතට ගන්න, (2) සෙනඟ රැස් කරන්න, (3) “ඔවුන්ට පෙනෙන සේ ඔබ පර්වතයට කතා කරන්න.” (ගණන් කතාව 20:8NW) ඉන් මුල් කාරණා දෙක ඔහු හොඳින් ඉටු කළත් තුන්වන කාරණය ඉටු කිරීමට ඔහු අපොහොසත් වුණා. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා පර්වතයට කතා කරනවා වෙනුවට ඔහු කෝපයෙන් සෙනඟට මෙසේ පැවසුවා. “කැරලිකාරයෙනි, දැන් ඇහුම්කන් දෙන්න. ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්න කියාද?” (ගණන් කතාව 20:10NW; ගීතාවලිය 106:32, 33) ඉන්පසු මෝසෙස් ඔහුගේ සැරයැටියෙන් දෙසැරයක් පර්වතයට ගැසුවා. “එවිට පර්වතයෙන් වතුර ගලා ආවේය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—ගණන් කතාව 20:11NW.

මෝසෙස් සහ ආරොන් එලෙස කටයුතු කිරීමෙන් කළේ බරපතළ වරදක්. ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ දෙදෙනා මා දුන් ආඥාවට විරුද්ධව ක්‍රියා කළා.” (ගණන් කතාව 20:24NW) මෝසෙස්, ඊශ්‍රායෙල්වරුන්ව කැරලිකරුවන් කියා ඇමතුවත් දෙවිගේ ආඥා කඩ කළ නිසා ඇත්තෙන්ම කැරලිකරුවන් බවට පත් වුණේ ඔවුන් දෙදෙනායි. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට රැගෙන යෑමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියා දෙවි පැවසුවා. එම විනිශ්චය සාධාරණද? ඔව්. එසේ පැවසීමට හේතු හතරක් දැන් අපි සලකා බලමු.

එක් හේතුවක් නම් ඊශ්‍රායෙල්වරුන්ව කැරලිකරුවන් කියා විනිශ්චය කිරීමට දෙවි මෝසෙස්ට පවසා නොතිබීමයි. දෙවන හේතුව මෝසෙස් හා ආරොන් දෙවිට දිය යුතු ගෞරවය නොදීමයි. ඒ ගැන දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ සෙනඟ ඉදිරියේ මාව ගෞරවයට පත් කළේ නැත.” (ගණන් කතාව 20:12NW) “ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්නද” කියා සෙනඟගෙන් ඇසීමෙන් මෝසෙස් හා ආරොන් අදහස් කළේ පර්වතයෙන් ආශ්චර්යවත් ලෙස වතුර ලබා දෙන්නේ ඔවුන් දෙදෙනා බවයි. තුන්වන හේතුව නම් දෙවි ඔවුන්ට ලබා දුන් විනිශ්චය දෙවි අතීතයේදී කළ විනිශ්චයන්ට සමාන වීමයි. එනම් අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරු දෙවිට අකීකරු වූ විට දෙවි ඔවුන්ට පොරොන්දු දේශයට ඇතුල් වීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ හා සමානව මේ අවස්ථාවේදීත් මෝසෙස් හා ආරොන් දෙවිට අකීකරු වූ විට දෙවි ඔවුන්ටත් ලබා දුන්නේ ඒ විනිශ්චයමයි. (ගණන් කතාව 14:22, 23) හතරවන හේතුව නම් මෝසෙස් හා ආරොන් ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයන් ලෙස කටයුතු කිරීමයි. දෙවි යම් අයට වැඩිපුර වගකීම් පවරනවා නම් දෙවිට වැඩිපුර ගණන් දීමට ඔවුන්ට සිදු වෙනවා.—ලූක් 12:48.

යෙහෝවා දෙවි නිතරම නිවැරදි දේ කිරීමට වගබලා ගන්නවා. ඔහු යුක්තියට ප්‍රිය කරන නිසා ඔහු ලබා දෙන විනිශ්චයන් සෑමවිටම සාධාරණයි. එවැනි විනිශ්චයකරුවෙක් අපගේ ගෞරවය ලැබීමට වටින්නේ නැද්ද!

[පාදසටහන]

^ 2 ඡේ. ඊජිප්තුවෙන් නිදහස් වී පැමිණි ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට ඉතා ආසන්නවයි සිටියේ. නමුත් ඔත්තුකරුවන් දසදෙනා ගෙනා නරක ආරංචි විශ්වාස කළ ඊශ්‍රායෙල්වරුන් මෝසෙස්ට විරුද්ධව දොස් නැඟුවා. ඒ නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අවුරුදු 40ක් පාළුකරයේ සිටින්න සැලැස්සුවා. දොස් නැඟූ සියලුදෙනාම ඒ කාලය තුළ මිය ගියා.