Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

යේසුස් සහ දෙවි එක තැනැත්තෙක් වන්නේ කුමන අර්ථයෙන්ද?

යේසුස් සහ දෙවි එක තැනැත්තෙක් වන්නේ කුමන අර්ථයෙන්ද?

“මමද පියාණන්ද එක තැනැත්තායයි” කියා යේසුස් එක් අවස්ථාවකදී පැවසුවා. (යොහන් 10:30, පැරණි අනුවාදය) ඒ නිසා යේසුස් සහ දෙවි පියාණන් යන දෙදෙනාම එක පුද්ගලයෙක් කියා ඇතැමුන් පවසනවා. නමුත් යේසුස් එවැනි දෙයක් අදහස් කළාද?

එය තේරුම්ගැනීම සඳහා යේසුස් ඉහත සඳහන් දෙය පැවසීමට පෙර පැවසූ දේවල් සලකා බලමු. යේසුස් ක්‍රියා කරන්නේ පියාණන්ගේ නාමයෙන් බවත් පියාණන් තමාට බැටළු ගුනැති මිනිසුන්ව භාර දුන් බවත් ඔහු පැවසුවා. (යොහන් 10:25, 27-29) යේසුස් සහ පියාණන් එකම පුද්ගලයෙක් නම් යේසුස් පියාණන්ව වෙනම පුද්ගලයෙක් වශයෙන් හැඳින්වූයේ ඇයි? ඇත්තෙන්ම යේසුස් පැවසුවේ ‘මම සහ මගේ පියාණන් පූර්ණ එකඟත්වයෙන් සිටින නිසා බැටළු ගුනැති මිනිසුන්ව පියාණන්ගේ අතින්වත් මාගේ අතින්වත් උදුරාගත නොහැකි බවයි.’ මේ උදාහරණය සලකා බලන්න. යම් කෙනෙක් ‘ඔයා මගේ තාත්තට ගැහුවා කියන්නේ, හරියට මට ගැහුවා වගේ තමයි’ කියා පැවසුවොත් ඔබ එය තේරුම්ගන්නේ කෙසේද? එය පැවසූ පුතා සහ පියා යන දෙදෙනාම එක පුද්ගලයෙක් කියා ඔබ තර්ක කරනවාද? ඔබ එසේ නොකරන බව පැහැදිලියි. ඉන් අදහස් වන්නේ ඔවුන් දෙදෙනා අතර තිබෙන කිට්ටු බැඳීමයි.

මාද පියාද එක තැනැත්තායැයි කීමෙන් යේසුස් අදහස් කළේ ඔවුන් දෙදෙනා අතර තිබෙන පූර්ණ එකඟත්වයයි. එනම් ඔවුන් දෙදෙනාම එකම අරමුණක් ඔස්සේ එකම ප්‍රමිති මාලාවකට අනුව කටයුතු කරන බවයි. සාතන් නමැති යක්ෂයා සහ මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව දෙවිගෙන් වෙන් වී තම තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කළා. නමුත් ඊට වඩා වෙනස්ව යේසුස් තමාගේ කැමැත්තට අනුව කටයුතු නොකර පියාණන් කටයුතු කරන ආකාරයටම කළා. ඒ ගැන ඔහුම මෙසේ පැවසුවා. “තමාගේම අදහසට අනුව පුත්‍රයාට කිසිවක් කළ නොහැක. ඒ තැනැත්තා [පියාණන්] යම් දෙයක් කරන්නේද, ඒ දෙය පුත්‍රයාත් ඒ ආකාරයෙන්ම කරන්නේය.”—යොහන් 5:19; 14:10; 17:8.

පියාණන්ව සහ පුත්‍රයයාව හඳුනාගැනීම අපහසු කාර්යයක් නොවේ. ඔවුන් දෙදෙනාටම පෞද්ගලිකත්වයන් දෙකක් තිබෙනවා. යේසුස්ට තමන්ටම කියා ආවේණික වූ අද්දැකීම් හා හැඟීම් තිබෙන අතර තීරණ ගැනීමට නිදහසත් තිබෙනවා. “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා” කියා ඔහු තම පියාණන්ට පැවසීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (ලූක් 22:42) යේසුස් සහ දෙවි එක පුද්ගලයෙක් වූවා නම් යේසුස් තමන්ගේ කැමැත්ත පසෙකලා පියාණන්ගේ කැමැත්ත කිරීමට පෙලඹුණේ ඇයි? එමෙන්ම තවත් අවස්ථාවකදී දෙවි දන්නා සමහර දේවල් තමා නොදන්නා බවත් යේසුස් පැවසුවා. ඔවුන් දෙදෙනාම එක්කෙනෙක් වූවා නම් යේසුස් එවැනි දෙයක් පවසයිද?—මතෙව් 24:36.

සමහර ආගම්වල සාමාජිකයන් නමස්කාර කරන්නේ පවුල් අතර ගැටුම් ඇති කරගත් දෙවිවරුන්ටයි. උදාහරණයකට ග්‍රීක ප්‍රබන්ධ කතාවල සඳහන් දෙවිවරුන් ගැන සලකා බලන්න. ක්‍රෝනස් නම් දෙවියා ඔහුගේ පියා වන යුරනස්ව පිටුවහල් කර තම දරුවන්ව මරා කෑ බව සඳහන් වෙනවා. එකිනෙකාට බෙහෙවින් ප්‍රේම කරන යෙහෝවා දෙවිට සහ යේසුස්ට වඩා ඔවුන් කොතරම් වෙනස්ද? ඇත්තෙන්ම මේ විශ්වයේ සිටින උසස්ම පුද්ගලයන් දෙදෙනාගේ කැමැත්ත කිරීමට ලැබීම මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද! එක අවස්ථාවකදී යේසුස් තම අනුගාමිකයන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළා. ‘මා කෙරෙහි ඇදහිල්ල තබන අය ගැනත් අයැදිමි. එසේ කරන්නේ, ඔවුන් සියලුදෙනාම එකඟත්වයෙන් සිටින පිණිසය. ඔබ මා සමඟ එක්සත්ව හා මා ඔබ සමඟ එක්සත්ව සිටින්නා සේම, ඔවුන්ද අප සමඟ එක්සත්ව සිටීම සඳහා අයැදිමි.’—යොහන් 17:20, 21.

“මමද පියාණන්ද එක තැනැත්තායයි” පැවසීමෙන් යේසුස් අදහස් කළේ ඔවුන් දෙදෙනා එක් කෙනෙකු බව නොව ඔවුන් දෙදෙනා අතර තිබෙන පූර්ණ එකඟත්වයයි.