Skip to content

පටුනට යන්න

සාර්ථක දේවසේවකයෙක් වීම

සාර්ථක දේවසේවකයෙක් වීම

126වන ගිලියද් පාසැල

සාර්ථක දේවසේවකයෙක් වීම

වර්ෂ 2009 මාර්තු 14වනදා නිව් යෝක් නගරයේ පිහිටි වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය වෙත විශාල පිරිසක් පැමිණ සිටියා. ඒ 126වන ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යයන්ට පැවරුම් ලැබෙන ආකාරය දැකගැනීමටයි. මේ ශිෂ්‍යයන්ට රටවල් 22කට ගොස් සේවය කිරීමට පැවරුම් ලැබුණා.—මතෙව් 24:14.

එම ශිෂ්‍යයන් මාස පහක් පුරා බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළා. එය පුහුණුවේ කොටසක් වූ අතර ඔවුන්ගේ සේවය සඳහා මහත් උපකාරයක්ද වෙනවා. පැවරුම් ලැබුණු දිනයේදීත් ඔවුන්ට වටිනා මඟ පෙන්වීම් සහ උපදෙස්ද ලැබුණා.

වර්ෂ 1943 සිට ගිලියද් පාසැලෙන් දේවසේවය සඳහා ශිෂ්‍යයන්ව පුහුණු කර තිබෙන බව පාලක මණ්ඩලයේ සහෝදර ඇන්තනී මොරිස් පෙන්නුම් කළා. එදා සිට මේ දක්වා එම දේවසේවකයන් විවිධ රටවලට ගොස් ශුභාරංචිය දේශනා කර සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා.

යේසුස්ගේ ගෝලයන් එතරම් උගත් අය නොවුණත් ඔවුන් නිර්භීතව කතා කළ ආකාරය දුටු පරිසිවරුන් සහ ලියන්නන් පුදුම වුණා. ඔවුන්ට එම හැකියාව ලැබුණේ ඔවුන් යේසුස්ව ඇසුරු කරමින් ඔහුගේ උපදෙස් අදාළ කරගත් නිසා බව සහෝදර මොරිස් තවදුරටත් සඳහන් කළා. (ක්‍රියා 4:13) ඒ හා සමානව ගිලියද් පාසැලෙන් පුහුණුව ලබන ශිෂ්‍යයන්ටත් තමන් ඉගෙනගන්නා දේ නිර්භීත ලෙස ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා කියා ඔහු පැවසුවා.

‘සියල්ලන්ටම එක හා සමානව සැලකීමේ ඇති වැදගත්කම’ ගැන ලේඛන කමිටුවේ සාමාජික සහෝදර රොබට් සිරැන්කෝ මතක් කළා. විදේශ රටකට ගොස් සේවය කිරීමේදී විවිධ සංස්කෘතිවලට අයත් පුද්ගලයන්ව හමු වෙනවා. ඒත් දෙවි මෙන් ‘සියලුදෙනාටම එක හා සමානව සැලකීමට’ දේවසේවකයන් ඉගෙනගතහොත් මිනිසුන්ගේ සංස්කෘතිය හෝ ගතිපැවතුම් බාධාවක් වෙන්නේ නැහැ. (ක්‍රියා 10:34) “සෑම කෙනෙකුටම දෙවිගේ අනුමැතිය ලබාගැනීමට හැකියාව තිබෙනවා කියා සිතුවොත් දේවසේවකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි” බව තවදුරටත් සහෝදර සිරැන්කෝ පැවසුවා.

“අවශ්‍ය දේ ඔබට ලැබී තිබෙනවා”

“සමහර අයට ඔටුවාව පෙනෙන්නේ අවලස්සන සතෙක් ලෙසයි. ඒ වුණත් ඔටුවන්ට කාන්තාරයේ පවා ජීවත් විය හැකියි” කියා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සැමුවෙල් හර්ඩ් පැවසුවා. ඒ හැකියාව ඔටුවන්ට තිබෙන්නේ උන්ගේ ශරීරය සෑදී තිබෙන ආකාරය නිසයි. ඒ හා සමානව විදේශ රටකට ගොස් සේවය කරන අයටත් සාර්ථක ලෙස සේවය කිරීමට අවශ්‍ය දේවල් ලැබී තිබෙනවා. එවැනි දේවල් පහක් ගැන ඔහු පෙන්නුම් කළා.

1. දෙවිට ප්‍රේම කිරීම. (මතෙව් 22:37, 38) විදේශ රටකට ගොස් සේවය කිරීමට ඉදිරිපත් වීමෙන් පෙන්වන්නේ දෙවිට සේවය කිරීමට තිබෙන ආශාවයි.

2. බයිබලය පිළිබඳව තිබෙන අවබෝධය. ඔටුවෙකුගේ මොල්ලියේ මේදය තැන්පත් වී තිබුණත් ඌ ආහාර ගැනීම නතර කරන්නේ නැහැ. ඒ හා සමානව මාස පහක් පුරා පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන්ද එමගින් විශාල දැනුමක් ලබාගත්තත් බයිබලය අධ්‍යයනය කිරීම ඔවුන් නතර කරන්නේ නැහැ.

3. මිනිසුන් කෙරෙහි තිබෙන ප්‍රේමය. (මතෙව් 22:39) විදේශ රටකට ගොස් සේවය කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්නේ මිනිසුන් කෙරෙහි තිබෙන ප්‍රේමය නිසයි.

4. කැමැත්තෙන්ම ඉදිරිපත් වීම. (ගීතාවලිය 110:3) සමහර අවස්ථාවලදී සේවයේ හවුල් වීමෙන් වෙහෙසක් දැනිය හැකියි. ඒ වුණත් දෙවි තම සේවකයන්ව ශක්තිමත් කරනවා.—යෙසායා 40:29.

5. තරුණ ශක්තිය. සාමාන්‍යයෙන් ඔටුවන් මිනිසුන්ව පිටේ තබාගෙන කාන්තාර හරහා ගමන් කරනවා. ඒ හා සමානව විදේශ රටවලට ගොස් සේවය කරන අයටත් පීඩා මැද සේවය කරන අයව “උසුලාගෙන” යෑමට එනම් ඔවුන්ට උපකාර කිරීමට සිදු විය හැකියි. ඒ සඳහා විශාල ශක්තියක් අවශ්‍යයි. නමුත් ඔවුන්ට තරුණ ශක්තිය තිබෙන නිසා එය කළ හැකියි.

වැඩසටහනේ තවත් අංග

යාකොබ් ඊජිප්තුවේ පාලකයා වෙත යැවූ තෑගි අතර ආමන්ඩ් ඇට තිබුණා කියා ගිලියද් උපදේශක සහෝදර මයිකල් බර්නට් පෙන්වා දුන්නා. (උත්පත්ති 43:11) ආමන්ඩ් ඇට පෝෂ්‍ය ගුණයෙන් ඉතා ඉහළයි. ගිලියද් පාසැලට සහභාගි වූ අයත් ඉතා වටිනා පෝෂණයක් ලබාගෙන තිබෙනවා. ඒවා අතරට දෙවි ලබා දෙන දේවල් අගය කරමින් ඒවායින් සෑහීමට පත් වීම සහ අලුත් පරිසරයකට හුරු වී සේවය කිරීමත් ඇතුළත් වෙනවා. ශිෂ්‍යයන් මේ උපදෙස් මතකයේ තබාගෙන තම පැවරුම් ඉටු කිරීම ඉතා වැදගත්.

බයිබලයේ තිබෙන “ප්‍රඥාව අගනා මුතුවලටත් වඩා වටින” බව ගිලියද් උපදේශකයෙකු වන සහෝදර මාක් නූමැර් පැවසුවා. (යෝබ් 28:18, නව ලොව පරිවර්තනය) එහි ඇති ප්‍රඥාවන්ත උපදෙස් කියවා ඒවා අදාළ කරගැනීම ඉතා වැදගත්. සමහරවිට විදේශ රටක සේවය කරන්න යන අයට තමන් බලාපොරොත්තු නොවූ ප්‍රදේශයකට යන්න සිදු විය හැකියි. එවැනි අවස්ථාවකදී පාවුල්ගේ ආදර්ශය අනුගමනය කිරීම ප්‍රයෝජනදායකයි. වෙනත් ජාතීන්ට ශුභාරංචිය දැනුම් දීම සඳහා ඔහුව තෝරාගත්තත් ඔහුට වසර නවයක්ම සේවය කිරීමට සිදු වුණේ ඔහු හැඳී වැඩුණු නගරයේමයි. ඒ ගැන ඔහු අසතුටු වෙනවා වෙනුවට හැකි උපරිමයෙන් ඒ නගරයේ සිටි මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කළා. (ක්‍රියා 9:15, 28-30) ඇතැම් අවස්ථාවලදී යෙහෝවා දෙවිගේ තීරණවලට එකඟ වීම ඔබට අභියෝගයක් විය හැකියි. ඒ වුණත් ඊට එකඟ වීම ඉතාමත් වටිනවා. උදාහරණයකට යොනාතාන් ගැන සිතන්න. ඔහුට රජකම ලැබීමට නියමිතව තිබුණත් යෙහෝවා දෙවි රජකමට තෝරාගත්තේ දාවිත්වයි. නමුත් දෙවි ගත් එම තීරණයට යොනාතාන් විරුද්ධ නොවී දාවිත්ට සහය දුන්නා.

“දේවසේවකයන් නිර්භීතව කතා කරයි” යන මාතෘකාවෙන් යුත් කතාව අතරතුරේදී ගිලියද් පාසැලට සහභාගි වූ අයට තමන් පුහුණුව ලැබූ මාස පහ තුළ ලද අද්දැකීම් ගැන පැවසීමට අවස්ථාව ලැබුණා. බොහෝ අයට ඒ කාලයේදී බයිබල් පාඩම් පවා ඇරඹීමට හැකි වී තිබුණා. “යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් පුහුණුව ලැබූ අය” නමැති මාතෘකාවෙන් යුත් කතාවේදී බොහෝ කාලයක් පුරා විදේශ රටවල සේවය කළ තිදෙනෙක් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. තම පැවරුම ඉටු කිරීමේදී දෙවිගේ සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කරන ආකාරය සම්බන්ධයෙන් තමන් ලද පුහුණුව ගැන ඔවුන් සඳහන් කළා.

“සතුටින් දෙවිට සේවය කරන්න”

පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ගෙරිට් ලෝෂ් මෙම වැඩසටහනේ මූලික කතාව ඉදිරිපත් කළා. එහි මාතෘකාව “සතුටින් දෙවිට සේවය කරන්න” යන්නයි. බොහෝ අය විනෝදය උදෙසා කරන දේවලින් සැබෑ සතුටක් ලබන්නේ නැති බව ඔහු සඳහන් කළා. (හිතෝපදේශ 14:13; දේශනාකාරයා 2:10, 11) සැබෑ සන්තෝෂය ලැබෙන්නේ දෙවිට සේවය කිරීමෙන් පමණයි. නමුත් එය කිරීම ලෙහෙසි කාර්යයක් නොවෙන්න පුළුවන්. ඒත් එයින් සැබෑ ප්‍රීතිය ලැබිය හැකියි. උදාහරණයකට ගිලියද් පුහුණුව ලැබූ කාලයේදී වෙහෙස වී වැඩ කිරීමට සිදු වුණත් එයින් සැබෑ සන්තෝෂය සහ තෘප්තිය ඔවුන් ලබා තිබුණු බව සහෝදර ලෝෂ් පෙන්නුම් කළා.

දේවසේවකයන්ගේ සන්තෝෂයට බලපාන බොහෝ දේවල් තිබෙනවා. එක් දෙයක් නම් ඔවුන් සන්තෝෂවත් දෙවිට නමස්කාර කිරීමයි. (ගීතාවලිය 33:12; 1 තිමෝති 1:11) එමෙන්ම දෙවිගේ ආශීර්වාද ලබන සෙනඟ සමඟ ඇසුරු කරන්න ලැබීම නිසා ඔවුන් අද පාරාදීසයක් බඳු තත්වයක සිටිනවා. අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් වන බවට තිබෙන බලාපොරොත්තුව ගැනත් ඔවුන් සතුටින් සිටිනවා. දෙවිට සේවය කිරීම නිසා ඔවුන්ගේ ජීවිතයට අරමුණක් තිබෙනවා. එමෙන්ම දෙවි සහ යේසුස් ඔවුන්ට ප්‍රේම කරන බව දැන සිටීමද ඔවුන්ගේ සන්තෝෂයට දායක වෙනවා.

“ලැබී තිබෙන දේවලින් සෑහීමට පත් වී තමන්ව අන් අය සමඟ සැසඳීමෙන් වැළකුණොත් සතුටින් දෙවිට සේවය කළ හැකි” බව තවදුරටත් සහෝදර ලෝෂ් මතක් කළා. අන් අයට ප්‍රේම කිරීමත් ඔවුන්ගේ ප්‍රේමය ලැබීමත් සන්තෝෂයෙන් සිටීමට දායක වෙනවා. ඒ නිසා අන් අය අතින් වන වැරදි ගැන සිතසිතා ඉන්නවා වෙනුවට ඒවා අමතක කර දමා දුර්වලයන්ට උපකාර කරමින් එකිනෙකාව දිරිගැන්වෙන දේවල් පැවසීමට පියවර ගත යුතුයි. (ගීතාවලිය 41:1, 2; ක්‍රියා 20:35) එමෙන්ම දේශනා සේවයේ හවුල් වීමෙන්ද සන්තෝෂය අත් කරගත හැකියි.—ලූක් 11:28.

සහෝදර ලෝෂ් කතාව අවසානයේදී මෙවැනි දෙයක් පැවසුවා. “සතුටින් සේවය කරන දේවසේවකයෙක් ලෙස යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරමින් ඔබේ සේවයෙන් අන් අයවත් සතුටට පත් කරන්න.”

විවිධ රටවලින් පැමිණි සුබ පැතුම් කියවීමෙන් පසු සහෝදර මොරිස් ශිෂ්‍යයන්ට සිය පැවරුම් ලබා දුන්නා. ඉන්පසු 126වන ගිලියද් පාසලේ ශිෂ්‍යයෙක් එම පාසැලේ සියලුදෙනාවම නියෝජනය කරමින් පාලක මණ්ඩලයට ස්තුතිය ප්‍රකාශ කළ ලිපියක් කියවනු ලැබුවා.

අවසානයේදී සහෝදර මොරිස් ශිෂ්‍යයන්ට මෙවැනි දෙයක් පැවසුවා. ‘සන්ධි සහ පේශි’ මාර්ගයෙන් බැඳී පවතින අපේ ශරීරය වර්ධනය වෙනවා හා සමානව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළින් දෙවි ලබා දෙන උපදෙස් හා මඟ පෙන්වීම් දෙවිගේ සෙනඟට පෝෂණය ලබා දෙනවා. (කොලොස්සි 2:18, 19; මතෙව් 24:45) විදේශ රටකට ගොස් සේවය කරන අය විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිගෙන සහයෝගයෙන් වැඩ කළොත් ඔවුන්ට තම පැවරුම සාර්ථකව කිරීමට හැකියි.—2 තිමෝති 4:5.

[30වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 6

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 22

ශිෂ්‍යයන් සංඛ්‍යාව: 56

විවාහ යුවළයන් සංඛ්‍යාව: 28

වයසේ සාමාන්‍යය: 32.8

සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය: 17.9

පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.5

පැවරුම් ලැබූ රටවල්

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් පැවරුම් ලැබූ රටවල් මේවායි. බෙනින්, බොලිවියාව, බල්ගේරියාව, බ(ර්)කිනා ෆසෝ, කැමරූන්, කොස්ටරිකාව, ඝානාව, ග්වාතමාලාව, හොන්ඩ්‍යුරාස්, කෙන්යාව, ලයිබීරියාව, මැඩගස්කරය, මොසැම්බික්, නිකරගුවාව, පැනමා, පැරගුවේ, පේරු, රොමේනියාව, සියරා ලියොන්, දකුණු අප්‍රිකාව, ටෝගෝ, උගන්ඩාව.

[31වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 126වන පන්තිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) ක්‍රික්හොෆ්, කේ.; නිකල්ස්, සී.; ගූස්මාන්, වයි.; කොයිල්, එච්.; බෙකර්, ඕ.; ඩි සිමෝනේ, ඒ. (2) මාන්සනාරෙස්, ඒ.; බූවියේ, ඊ.; පෙඩල්, ජේ.; මෙසන්, එච්.; බ්‍රාස්, ජේ. (3) ලී, ජේ.; ෆෝර්ටෙ, ඒ.; බූෂේ, ටී.; මාෂ්, ඒ.; ලෙයිටන්, එස්.; ග්ලවර්, එම්. (4) කැම්බැක්, එච්.; ජෝන්ස්, ටී.; ෆෙරෙයිරා, ඒ.; මොරාලෙයිස්, ජේ.; චීකස්, එස්.; ඩෙයිවස්, බී.; ඩෝර්මනන්, ඊ. (5) ඩෝර්මනන්, බී.; නිකල්ස්, ජේ.; පාචෝ, ටී.; ටිට්මස්, එල්.; බූවියේ, ඊ.; ක්‍රික්හොෆ්, ඒ. (6) ලෙයිටන්, ජී.; පාචෝ, ඒ.; වැන් කැම්පන්, බී.; මාන්සනාරෙස්, ඒ.; රිවාඩ්, ඒ.; ලී, වයි.; ටිට්මස්, එල්. (7) බූෂේ, එම්.; කොයිල්, කේ.; මාෂ්, සී.; ගූස්මාන්, ජේ.; ජෝන්ස්, ඩබ්ලිව්.; කැම්බැක්, ජේ. (8) ග්ලවර්, ඒ.; ෆෙරෙයිරා, ජී.; මෙසන්, ඊ.; ෆෝර්ටෙ, ඩී.; ඩෙයිවස්, එන්.; චීකස්, ඕ.; රිවාඩ්, වයි. (9) බ්‍රාස්, ඩී.; වැන් කැම්පන්, ඩී.; මොරාලෙයිස්, ඒ.; ඩි සිමෝනේ, එම්.; බෙකර්, එම්.; පෙඩල්, ඩී.