Skip to content

පටුනට යන්න

අතීතයට ගිය ගමනක්

අතීතයට ගිය ගමනක්

ඇමරිකාවෙන් ලිපියක්

අතීතයට ගිය ගමනක්

ඔබේ මුතුන්මිත්තන් ජීවත් වුණ ආකාරය ඔබට දැකගන්න ලැබුණායැයි සිතන්න. එය මොන වගේ අද්දැකීමක් වේවිද? ස්විට්සර්ලන්තයේ සිට ඇමරිකාවට ගිය අපි එවැනි අද්දැකීමක් ලැබුවා. ඇමරිකාව කියන්නේ ඉතා දියුණු රටක්. ඒ වුණත් එහේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ජීවත්වන ආමිෂ් කියන ක්‍රිස්තියානි නිකායට අයත් අය නම් තවමත් ජීවත් වන්නේ මීට අවුරුදු 200කට විතර ඉස්සර ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වුණ ආකාරයටමයි. ඒ ගැන තොරතුරු ස්වල්පයක් අපි ඔබට කියන්නම්.

මේ ප්‍රාන්තයේ ජීවත්වන ආමිෂ්වරුන් කතා කරන්නේ ස්විට්සර්ලන්ත සහ ජර්මානු භාෂාව එකතු වෙලා හැදුණ භාෂාවකින්. අපිත් ඒ භාෂාව දැනගෙන හිටිය නිසා මාස තුනක්ම අපි එහේ හිටියා. අපිට අවශ්‍ය වුණේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඔවුන්ට කියන්නයි. ඒ නිකායට අයත් පවුල් සිය ගණනක් මෙහේ ජීවත් වෙනවා.

ආමිෂ්වරුන්ගේ නිකාය හැදුණේ 17වන සියවසේ සිටි ඇනබැප්තිස්තවරුන් ලෙස හඳුන්වන ක්‍රිස්තියානි කණ්ඩායමෙනුයි. ආමිෂ් යන නම ලැබුණේ ඔවුන්ගේ නායකයා වුණ යාකොප් ආමාන් කියන බිෂොප්වරයාගෙනුයි. මේ අය බයිබලය අධ්‍යයනය කළ නිසා ළදරු බව්තීස්මය සහ යුද්ධවලට හවුල්වීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන්ට රජයෙන් හුඟක් කරදර කළා වගේම සමහර අයව ඝාතනය කළා. මේ තත්වය වැඩි වුණ නිසා සමහර අය ස්විට්සර්ලන්තයේ වෙනත් ප්‍රදේශවලටත් ප්‍රංශයටත් ඇමරිකාවටත් පළා ගියා. මේ අය එහෙම යනකොට ඔවුන්ගේ භාෂාවත් සංස්කෘතියත් අරන් ගියා.

ඉන්ඩියානාවල හිටිය ආමිෂ්වරු හරිම ගුණයහපත්. අපි ඒ අයගේම භාෂාවෙන් කතා කළාම ඒ අය පුදුම වෙලා මෙහෙම ඇහුවා.

“ඕගොල්ලන් කොහොමද අපේ භාෂාව කතා කරන්නේ?”

“අපි ආවේ ස්විට්සර්ලන්තයෙන් නිසා ඒ භාෂාව අපි දන්නවා” කියලා අපි කිව්වා.

“ඒ වුණාට ඕගොල්ලෝ ආමිෂ්වරුන් නෙවෙයිනේ” කියලා ඒ අය කිව්වා.

හුඟක් අය ආදරයෙන් අපිව ඒ අයගේ ගෙවල්වලට ආරාධනා කළා. ඒ අය ජීවත් වෙන විදිහ දැක්කම අපේ මුතුන්මිත්තනුත් මේ විදිහටම ජීවත් වෙන්න ඇති කියලා අපිට හිතුණා. ඔවුන්ට විදුලි ආලෝකය නැහැ, ඒ වෙනුවට තියෙන්නේ ලාම්පු. වාහන වෙනුවට තියෙන්නේ අශ්ව කරත්ත, වතුර ගන්නේ ළිංවලින්, ඒ වගේම මේ අය ළඟ ගුවන්විදුලි යන්ත්‍ර නැහැ. ඒ වෙනුවට මේගොල්ලන්ම සින්දු කියන්න පුරුදු වෙලා ඉන්නවා.

ආමිෂ්වරුන්ගේ නිහතමානිකම සහ අවංකකම දැක්කම අපේ හිත ඇදිලා ගියා. ඒ වගේම මේ අය හැමදාම බයිබලය කියවනවා. බයිබලයේ තිබෙන දේවල් අගය කරන නිසා ඒ ගැන කතා කරන්න මේ අය හුඟක් කැමතියි. ඒ නිසා පොළොව සහ මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිට තියෙන අරමුණ ගැන හුඟක් තොරතුරු කතා කරන්න අපිට පුළුවන් වුණා.

ස්විට්සර්ලන්තයෙන් අමුත්තන් කිහිපදෙනෙක් ඇවිත් ඉන්නවා කියන ආරංචිය ප්‍රදේශය පුරා පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. අපිට මුණගැසුණ අය කිව්වා ඒ අයගේ ඥාතීන්වත් මුණගැහෙන්න කියලා. අපිත් ඒකට කැමති වුණා. මේ අතරවාරයේදී ප්‍රදේශයේ තිබුණ පාසැලකටත් එන්න කියලා කිව්වා. ඒ ආරාධනාවත් සතුටින් අපි පිළිගත්තා. එහේදී මොකද වුණේ කියලා දන්නවාද?

අපි ගිහින් පාසැලේ දොරට තට්ටු කළාම ගුරුතුමා ඇවිත් අපිට ඇතුළට එන්න කියලා කිව්වා. ඊටපස්සේ ළමුන් 38දෙනෙක් හිටිය පන්ති කාමරයට අපිව එක්කගෙන ගියා. ඒ හැම ළමයෙක්ම පුදුමයෙන් වගේ අපි දිහා බලාගෙන හිටියා. පන්ති කාමර අටක සිටි දරුවන් හැමෝවම එදා එක පන්ති කාමරයකට රැස් කරලා තිබුණා. ගැහැනු දරුවන් නිල් පාට ඇඳුම් ඇඳලා සුදු පාට තොප්පි දාගෙන හිටියා. පිරිමි දරුවන් ඇඳගෙන හිටියේ කලු කලිසමයි තද නිල් පාට කමිසයයි. ඒ පන්ති කාමරයේ වහල හරිම උසයි. කලු ලෑල්ල තිබුණේ ඉදිරිපස බිත්තියේයි. ඒ ළඟ ලෝක බෝලයකුත් ලෝක සිතියම් කිහිපයකුත් තිබුණා. ඒ වගේම පන්තියේ කොනක උණුසුම ලබා දෙන උඳුනක්ද හදලා තිබුණා.

අපි පන්තියේ ඉඳගෙන ඉන්න අතරේ ගුරුතුමා දරුවන්ට දුන්න වැඩ බැලුවා. ටික වෙලාවකට පස්සේ ගුරුතුමා ඇල්ප්ස් කඳුවැටිය ගැන දරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පටන්ගත්තා. එයා ළඟ තිබුණ පරණ අච්චු පොතේ ස්විට්සර්ලන්තයේ කඳුවැටිවල කලු සුදු පින්තූර කිහිපයක් තිබුණා. ඊටපස්සේ ගුරුතුමා අපෙන් ඇහුවා ස්විට්සර්ලන්තයේ තාමත් මේ අච්චු පොතේ විස්තර කරලා තියෙන විදිහටම දේවල් සිදු වෙනවාද කියලා. ඒත් එක්කම එයා මේ වගේ ප්‍රශ්නත් ඇහුවා. ඉස්සර වගේ තාමත් තණකොළ කන්න ගවයින් කඳුවැටිවලට යනවාද? ශීත කාලයේදී කඳු මුඳුන් හිමෙන් වැහෙනවාද? අපි ළඟ තිබුණ ස්විට්සර්ලන්තයේ වර්ණවත් පින්තූර කිහිපයක් එයාට පෙන්නුවාම එයා හුඟක් සතුටු වුණා.

ගුරුතුමාගේ පාසැලේ වැඩවලට උදව් කරන්නේ එයාගේ බිරිඳ. එයා අපෙන් ඇහුවා “ඕගොල්ලන්ට යෝඩ්ල් ගීයක් ගායනා කරන්න පුළුවන්ද” කියලා. අපි කිව්වා ඒක අපිට බැහැ කියලා. හැබැයි ආමිෂ්වරුන්ට නම් ඒ විදිහේ ගී ගායනා කරන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියා. ඒ නිසා අපි වෙනුවෙන් ඒ වගේ ගීයක් ගායනා කරන්න කියලා අපි එයාට කිව්වා. ඒ වෙලාවේ ගුරුතුමාත් එයාගේ බිරිඳත් පාසැල් දරුවන් 38දෙනාත් හරිම ලස්සනට ඒ වගේ ගී ගායනා කළා. ඊටපස්සේ ළමයින්ට එළියට ගිහින් සෙල්ලම් කරන්න කියලා ගුරුතුමා කිව්වා.

ඊටපස්සේ ගුරුතුමාගේ බිරිඳ කිව්වා අපි කැමති මොකක් හරි ගීයක් ගායනා කරන්න කියලා. ස්විස් ජර්මානු භාෂාවෙන් තිබුණු සාම්ප්‍රදායික ගී කිහිපයක් අපි දැනගෙන හිටිය නිසා අපි ඒ ගීයක් ගායනා කළා. ඒක ආරංචි වුණ පිට්ටනියේ හිටිය ළමයි එක පිම්මට පන්තියට දුවගෙන ආවා. ඒ සියලුදෙනාවම සතුටු කරන්න ඕනේ නිසා අපි ඒ ගීය හොඳට ගායනා කළා.

ආමිෂ් පවුලක් අපිට දවල් කෑමට ආරාධනා කළා. ඒ පවුලේ සාමාජිකයන් 12දෙනෙක් හිටියා. ගෙදරට ගියාම අපි දැක්කා පාන්, චීස්, පේස්ට්‍රි, හැම්, එළවළු, අලවලින් හැදුව කෑමක්, බඩඉරිඟු, සහ අතුරුපස වර්ගවලින් කෑම මේසය පුරවලා තියෙනවා. කෑම කන්න කලින් හැමෝම තනි තනියම යාච්ඤාවක් කළා. ඊටපස්සේ ඒගොල්ලන් කෑම කන්න පටන්ගත්තා. කෑම කන අතරේදී ස්විට්සර්ලන්තය ගැනත් ඒගොල්ලන් වගා කටයුතු කරගෙන යන විදිහ ගැනත් අපි ටිකක් කතා කළා. ඒ අයගේ ළමයි එදා හරිම නිශ්ශබ්දයි. ඒත් වෙනදාට මේ අය එහෙම ඉන්නේ නැහැලු. සමහරවිට අද මේගොල්ලෝ වැඩිය කතාවක් නැත්තේ අපි ඉන්න නිසා වෙන්න ඇති. හැමෝම කාලා ඉවර වුණාට පස්සේ තවත් යාච්ඤාවක් කරනවා. ඒකෙන් අදහස් කළේ කාලා ඉවර අයට මේසයෙන් නැඟිටින්න පුළුවන් කියන එකයි. හැබැයි නැඟිටලා ගිහින් සෙල්ලම් කරන්න නම් බැහැ. මොකද දරුවෝ හැමෝම එකතු වෙලා මේසය අස් කරලා පිඟන් කෝප්ප සෝදන්න ඕනේ.

දරුවෝ ටික පිඟන් කෝප්ප සෝදන අතරේ අම්මයි තාත්තයි අපිව සාලෙට එක්කන් ගියා. එතන තිබුණු කබඩ් එකකින් ඒ අය පැරණි ජර්මානු බයිබලයක් ගත්තා. සාමාන්‍යයෙන් ආමිෂ්වරුන් බයිබලය ගැන කතා කරන්න කැමතියි. මේ පවුලත් ඒ වගේමයි. ඒ නිසා මේ අය එක්ක බයිබලය ගැන හුඟක් දේවල් අපි කතා කළා. පොළොව සහ මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ, මෘදු ගුණැති අය පොළොව උරුම කරගන්නවා කියලා යේසුස් පැවසූ දෙයින් අදහස් වන දේ, දෙවි දුෂ්ට මිනිසුන්ව නරකාදියක දාලා සදහටම වධ වේදනා දෙන්නේ නැහැ කියලත් අපි සාකච්ඡා කළා. ඒ වගේම ශුභාරංචිය ලොව පුරා දේශනා කරන්න කියලා යේසුස් දුන්න ආඥාව ඒ විදිහටම පිළිපදින්නේ කවුද කියලත් අපි පැහැදිලි කළා. බයිබලයට ගරු කරන ඒ වගේ මිනිසුන් එක්ක මෙවැනි තොරතුරු සාකච්ඡා කරන්න ලැබුණ එක ගැන අපි හුඟක් සතුටු වෙනවා.

ආමිෂ්වරුන්ව මුණගැහෙන්න ගිය මේ ගමන අපි අතීතයට ගිය ගමනක් කියලා කිව්වොත් නිවැරදියි. මේ ගමනෙන් අපිට රසවත් අද්දැකීම් හුඟක් ලැබුණා. අපිට මුණගැසුණ ආමිෂ්වරුන් බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් නිවැරදිව අවබෝධ කරගන්නවා දැකීම අපේ පැතුමයි.