අපි සාර්ථක ජීවිතයක් ගත කරනවාට දෙවි කැමතියි
දෙවිට ළං වෙන්න
අපි සාර්ථක ජීවිතයක් ගත කරනවාට දෙවි කැමතියි
ඕනෑම මවක් හා පියෙක් කැමති වන්නේ තම දරුවන් සාර්ථක ජීවිතයක් ගත කරනවාටයි. ඒ හා සමානව යෙහෝවා දෙවිද කැමති වන්නේ අපි සාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්නයි. ඒ නිසා අප කළ යුත්තේ කුමක්ද කියා දෙවි පෙන්වා දී තිබෙනවා. එය දැනගැනීමට අපි පුරාණයේ සිටි යොෂුවාට දෙවි පැවසූ දේවල් සලකා බලමු.
මෝසෙස් මිය ගිය පසු ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා බවට පත් වුණේ යොෂුවායි. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට ගෙන යෑමේ වගකීම ඔහුට පැවරුණා. ඒ වගකීම නිසි ලෙස ඉටු කිරීම සඳහා ඔහු කළ යුතු දේවල් ගැන යෙහෝවා දෙවි ඔහුට යම් මඟ පෙන්වීම් දුන්නා. ඔහු ඊට එකඟව කටයුතු කළා නම් සාර්ථකත්වය අද්දකින්න හැකි වුණා. දෙවි ලබා දුන් එම උපදෙස් අදාළ කරගැනීමෙන් යොෂුවාට මෙන්ම අපටත් සාර්ථක විය හැකියි.—රෝම 15:4.
මේ වගකීම ඉටු කිරීමේදී ධෛර්යයෙන් යුතුව සිටින්න කියා දෙවි තුන් වතාවක්ම ඔහුට පැවසුවා. (යොෂුවා 1:6, 7, 9) මෙතරම් විශාල ජනකායක් පොරොන්දු දේශයට ගෙන යෑමට නම් යොෂුවාට ධෛර්යය අත්‍යවශ්‍යයි. නමුත් ඔහු ධෛර්යය ඇති කරගන්නේ කෙසේද?
ඒ සඳහා ඔහු ශුද්ධ ලියවිල්ල කියවිය යුතු වුණා. * දෙවි පැවසුවේ “මාගේ සේවකයා වූ මෝසෙස් ඔබට කියා දුන් නීතියට ඇතුළත් සෑම දෙයක්ම ඉටු කරන පිණිස ධෛර්යවත්ව, එඩිතරව සිටීමට වගබලා ගන්න” කියායි. (යොෂුවා 1:7, නව ලොව පරිවර්තනය, NW) ඒ වන විට ඔහු ළඟ තිබුණේ බයිබලයට අයත් පොත් කිහිපයක් පමණයි. ඉන් ප්‍රයෝජන ගැනීමට නම් ඔහු දේවල් දෙකක් කළ යුතු වුණා.
මුලින්ම යොෂුවා කළ යුතුව තිබුණේ දෙවිගේ නීතියේ සඳහන් දේවල් තමන්ගේ සිතට ගැනීමයි. ඒ සඳහා ඔහු “දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා” කළ යුතු වුණා. (යොෂුවා 1:8, NW) එක් පොතක සඳහන් වූ ආකාරයට දෙවි ඔහුට පැවසුවේ නීතියේ සඳහන් දේවල් මතක තබාගන්නා පිණිස ඒ දේවල් ‘නිතරම තමන්ටම කියාගන්න’ කියායි. ඔහු එසේ කළා නම් නායකයෙක් ලෙස කටයුතු කිරීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගැනීමට ඔහුට හැකි වෙනවා.
දෙවැනි කාරණය නම් තමා කියවා සිතට ගත් දේවල් ජීවිතයට අදාළ කරගැනීමයි. දෙවි ඒ ගැන ඔහුට පැවසුවේ ‘මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින්න. එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය’ කියායි. (යොෂුවා 1:8, NW) යොෂුවා දෙවිගේ අරමුණට එකඟව තමාගේ ජීවිතය ගත කළා නම් ඔහු අනිවාර්යයෙන්ම සාර්ථකත්වය අද්දකිනවා. ඊට හේතුව දෙවිගේ අරමුණ කිසිදාක නිෂ්ඵල නොවීමයි.—යෙසායා 55:10, 11.
දෙවි දුන් උපදෙස් යොෂුවා සතුටින් අදාළ කරගත්තා. ඒ නිසා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු ලෙස තම ජීවිත කාලය පුරාවටම සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඔහුට හැකි වුණා.—යොෂුවා 23:14; 24:15.
යොෂුවා මෙන් ඔබත් සාර්ථක ජීවිතයක් ගත කරනවා දැකීමට යෙහෝවා දෙවි කැමතියි. ඒ සඳහා ඔබ දේවවචනය කියවා එහි උපදෙස් ජීවිතයට අදාළ කරගත යුතුයි. එසේ කළොත් යොෂුවා මෙන් ‘ජීවිතය සාර්ථක කරගැනීමට ඔබටත් හැකි වෙනවා.’
[පාදසටහන]
^ 4 ඡේ. මෝසෙස් ලියූ උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව සහ ද්විතීය කතාව යන පොත් පහ ඇතුළු යෝබ් පොත සහ ගීතිකා එකක් හෝ දෙකක් ඔහු ළඟ තිබෙන්න ඇති.