‘තව කොතරම් කාලයක් උපකාර ඉල්ලා අඬන්නද?’
‘තව කොතරම් කාලයක් උපකාර ඉල්ලා අඬන්නද?’
“මේ වේදනාව මම තව කොච්චර කල් ඉවසන්නද?” එසේ පැවසුවේ පිළිකාවක් නිසා වේදනා විඳින ජේන් නම් කාන්තාවයි. ඇගේ මේ වේදනාව නැති කිරීමට හැකි නම් කොතරම් හොඳද කියා ඇගේ පවුලේ අයට සහ මිතුරන්ට සිතෙන්න ඇති. එමනිසා ඇයට සහනයක් ලබා දෙන්න කියා ඔවුන් නිතර දෙවිට කන්නලව් කළා. නමුත් දෙවි ඊට සවන් දුන්නාද?
පොළොව මත ජීවත් වන සියලුදෙනාම දුක් වේදනාවලට මුහුණ දෙන බව දෙවි දන්නවා. ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (රෝම 8:22) ඉහත සඳහන් කළ ජේන් මෙන් මිලියන ගණන් මිනිසුන් දිනපතාම මානසිකව හා ශාරීරිකව වේදනා විඳින ආකාරයත් මිලියන 800ක් පමණ කුසගින්නේ නින්දට යන ආකාරයත් දෙවි දකිනවා. එමෙන්ම ගෘහස්ත හිංසනය නිසා පීඩා විඳින අයවත් දරුවන්ගේ අනාගතය ගැන බියෙන් සිටින දෙමාපියන්ගේ දුකත් දෙවිට පෙනෙනවා. එසේනම් දෙවි මේ ප්‍රශ්න විසඳීමට පියවර නොගන්නේ ඇයි? මේ ගැන සිතන්න. දුක් විඳින අයට පිහිට වෙන්න ඕනේ කියා ඔබට සිතෙනවා නම් අපව නිර්මාණය කළ දෙවිට ඊටත් වඩා කොපමණ වැඩියෙන් එසේ සිතෙනවා ඇද්ද!
දුක් වේදනාවලට දෙවි විසඳුමක් ගෙනෙන්නේ කවදාද කියන ප්රශ්නය මීට වසර 2,600කට ඉහත ජීවත් වූ දෙවිගේ සේවකයෙකුටත් ඇති වුණා. ඔහුගේ නම හබක්කුක්. ඔහු දෙවිගෙන් මෙසේ ඇසුවා. “යෙහෝවා දෙවියනි, තව කොතරම් කාලයක් ඔබෙන් උපකාර ඉල්ලා අඬන්නද? දාමරිකයන්ගේ අතින් අපව බේරගන්න කියා තව කොතරම් කාලයක් ඔබෙන් අයැද සිටින්නද? ඔබ මට ඇහුම්කන් දී පියවර ගන්නා තුරු මා තව කොපමණ කල් බලා සිටින්නද? ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?” (හබක්කුක් 1:2, 3, නව ලොව පරිවර්තනය) හබක්කුක්ගේ කාලයේ සිටි මිනිසුන්ගේ නපුරුකම් දැක ඔහු කලකිරුණා. අද දින මනුෂ්‍යයන්ගේ කුරිරුකම් දකින අපිත් ඒ ගැන කලකිරෙනවා.
හබක්කුක් ඇසූ ප්‍රශ්න යෙහෝවා දෙවි නොසලකාහැරියේ නැහැ. දෙවි ඔහුට හොඳින් සවන් දී ඔහුට සහනයක් මෙන්ම දිරිගැන්වීමක්ද ලබා දුන්නා. එමෙන්ම දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන බවටත් පොරොන්දු වුණා. දුක් වේදනාවලට දෙවි නිමාවක් ගෙනෙන බව දැනගැනීමෙන් ජේන් සහ ඇගේ පවුලේ අයත් සහනයක් ලැබුවා. එම පොරොන්දුව ගැන දැනගැනීමෙන් ඔබටත් එවැනිම සහනයක් අද්දැකිය හැකියි. නමුත් යෙහෝවා දෙවි අප ගැන සැලකිලිමත් බව අප දැනගන්නේ කෙසේද? ඔහු සියලුම දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන්නේ කෙසේද? ඒ කවදාද? එම ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපිවලින් සලකා බලමු.