Skip to content

පටුනට යන්න

යේසුස් ඉපදුණ අවස්ථාවේදී ඔහුව බැලීමට රජවරුන් තිදෙනෙක් පැමිණියාද?

යේසුස් ඉපදුණ අවස්ථාවේදී ඔහුව බැලීමට රජවරුන් තිදෙනෙක් පැමිණියාද?

පාඨකයන් අසයි

යේසුස් ඉපදුණ අවස්ථාවේදී ඔහුව බැලීමට රජවරුන් තිදෙනෙක් පැමිණියාද?

යේසුස් ඉපදුණ අවස්ථාවේ ඔහුව බැලීමට වටිනා තෑගි බෝග රැගෙන රජවරුන් තිදෙනෙක් (රජතුන්කට්ටුව) පැමිණි බව ලොව පුරා සිටින බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් ඇත්තටම යේසුස් ඉපදුණ අවස්ථාවේ ඔහුව බැලීමට රජවරුන් තිදෙනෙක් පැමිණියාද?

යේසුස්ගේ උපත ගැන සඳහන් කරන්නේ මතෙව් හා ලූක් යන බයිබල් ලේඛකයන් දෙදෙනා පමණයි. යේසුස් ඉපදුණ අවස්ථාවේ ඔහුව බැලීමට එඬේරුන් පැමිණි බව බයිබලයේ වාර්තා වෙන අතර රජවරුන් පැමිණි බව එහි වාර්තා වෙන්නේ නැහැ. තෑගි බෝග රැගෙන යේසුස්ව බැලීමට පැමිණියේ රජවරුන් නොවේ. බයිබලයේ ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ “ශාස්ත්‍රවන්තයෝ” හෙවත් “ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ” ලෙසයි. එමෙන්ම ඔවුන් යේසුස්ව බැලීමට පැමිණියේ යේසුස්ගේ නිවසට මිස ගවමඩුවටද නොවේ. ඒ වන විටත් යේසුස් බිලිඳු අවදිය පසු කර සිටියා. එමෙන්ම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ කීදෙනෙක් පැමිණියාද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේවෙතත් ඔවුන්ගේ පැමිණීම යේසුස්ගේ ජීවිතයට තර්ජනයක් වුණා.

යේසුස්ගේ උපතට අදාළ සිදුවීමක් ලූක් වාර්තා කරන්නේ මෙසේයි. ‘එම ප්‍රදේශයේම එඬේරු රාත්‍රියේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළ රකිමින් එළිමහනේ සිටියහ. එකෙණෙහිම යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් ළඟ සිටගත්තේය. එවිට දේවදූතයා ඔවුන්ට මෙසේ කීවේය: රෙදි පටිවලින් ඔතා ගව ඔරුවක සිටින ළදරුවෙක් ඔබට සම්බ වන්නේය.’ එය ඇසූ පසු එඬේරුන් “ඉක්මනින්ම ගොස්, මරියාව, යෝසෙප්ව සහ ගව ඔරුවේ නිදා සිටි ළදරුවාව” බැලූ බව බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 2:8-16.

ලූක් සඳහන් කරන ආකාරයට ඒ අවස්ථාවේදී ගවමඩුවේ සිටියේ බිලිඳු යේසුස්, මරියා, යෝසෙප් සහ එඬේරුන් පමණයි. වෙන කිසිවෙක් එහි සිටි බවක් ලූක් වාර්තා කරන්නේ නැහැ.

යේසුස්ගේ උපතට අදාළ සිදුවීමක් මතෙව් වාර්තා කරන ආකාරයද සලකා බලන්න. ‘හෙරොද් රජුගේ කාලයේදී යුදයේ පිහිටි බෙත්ලෙහෙමෙහි යේසුස් උපත ලැබීය. පසුව, බලන්න! නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යෙරුසලමට පැමිණියා. ඔවුහු ගෙට ඇතුල් වෙද්දී කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා දුටුවෝය.’—මතෙව් 2:1-11.

යේසුස්ව බැලීමට ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පැමිණි බව මතෙව් වාර්තා කළත් කීදෙනෙක් පැමිණියාද කියා ඔහු සඳහන් කරන්නේ නැහැ. එමෙන්ම එම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් නැඟෙනහිර දෙසින් පැමිණ කෙළින්ම ගියේ යෙරුසලමටයි. ඔවුන් යේසුස්ව බැලීමට බෙත්ලෙහෙමට ගියේ ඉන්පසුවයි. ඒ වන විට යේසුස් සිටියේ ගවමඩුවේ නොව නිවසේයි. එමෙන්ම ඔහු බිලිඳු අවදියද පසු කර සිටියා.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සහ මායා බන්ධන ක්‍රියාවන් එදා මෙන්ම අදත් ඉතා ජනප්‍රියයි. නමුත් ඒවායින් වැළකී සිටින්න කියා යෙහෝවා දෙවි අණ කර තිබෙනවා. (යෙසායා 47:13-15) භූතයන්ව සම්බන්ධ කරගෙන කරන එවැනි ක්‍රියා යෙහෝවා දෙවි හෙළාදකිනවා. (ද්විතීය කතාව 18:10-12) යෙහෝවා දෙවි දේවදූතයන් මාර්ගයෙන් යේසුස්ගේ උපත ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට දැනුම් නොදුන්නේ ඒ නිසයි. නමුත් නපුරු හෙරොද් රජු යේසුස්ව ඝාතනය කිරීමට සිතාගෙන සිටි නිසා නැවත රජුව හමු වීමට නොයන්න කියා දෙවි සිහිනයකින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට අනතුරු ඇඟෙව්වා. එමනිසා “ඔවුහු එතැනින් පිටත්ව අන් මඟකින් තම රටට ගිය” බව මතෙව් සඳහන් කරනවා.—මතෙව් 2:11-16.

යේසුස්ගේ උපතට සම්බන්ධ සත්‍යය තොරතුරු බොඳ කරන අසත්‍ය තොරතුරුවලට යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කිසිලෙසකින්වත් අනුබල දෙන්නේ නැහැ.