සංගීතයට ඇලුම් කළ රජෙක්
සංගීතයට ඇලුම් කළ රජෙක්
මීට වසර 3,000කට පමණ පෙර දක්ෂ සංගීතඥයෙක් සිටියා. ඔහු සම්බන්ධයෙන් ඇති තොරතුරු සලකා බැලීමෙන් ඒ කාලයේ පැවති සංගීතය ගැන අපට බොහෝ තොරතුරු දැනගත හැකියි. යෞවන එඬේරෙක්ව සිට රජ කෙනෙකු වීම දක්වා කාලය තුළ සංගීතය ඔහුගේ ජීවිතයට කොතරම් කිට්ටුවෙන් බැඳී තිබුණාද කියා අපට දැනගත හැකියි. මේ දක්ෂ සංගීතඥයා වෙන කිසිවෙකු නොව දාවිත් රජයි.
දාවිත් රජ පිළිබඳ වාර්තා සලකා බැලීමෙන් එවකට භාවිත වූ සංගීත භාණ්ඩ මොනවාද කියාත් ඔවුන් ගායනා කළේ කුමනාකාරයේ ගීතිකාද කියාත් දාවිත්ගේ ජීවිතයට සංගීතය කොතරම් සමීප වූවාද කියාත් ඊශ්‍රායෙල්වරුන් අතර සංගීතයට හිමි වූ ස්ථානයත් අපට දැනගත හැකියි.
ඊශ්‍රායෙල්වරුන් හා සංගීතය
සාමාන්‍යයෙන් අප අසා තිබෙන ගීතයක පද ඇසෙන විට එහි තාලය අපේ මතකයට නැඟෙනවා. නමුත් බයිබලයේ සඳහන් ගීතිකාවල තාල මොනවාද කියා අප දන්නේ නැහැ. කෙසේවෙතත් එම ගීතිකාවල තිබෙන අර්ථවත් පදමාලා දෙස බලන විට ඒවායේ තාල සහ ඊට සැපයූ සංගීතයද ඉතාමත් උසස් තත්වයක තිබුණා කියා සිතිය හැකියි.
අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් සංගීත භාණ්ඩ භාවිත කළත් ඒ ගැන වැඩි විස්තර බයිබලයේ සඳහන් කර නැහැ. ( 28වන පිටුවේ ඇති කොටුව බලන්න.) අඩුම තරමින් දාවිත් භාවිත කළේ කුමනාකාරයේ වීණාවක්ද කියාවත් අප දන්නේ නැහැ. කොහොමවුණත් ඊශ්‍රායෙල්වරුන් සමහර සංගීත භාණ්ඩ නිර්මාණය කර තිබෙනවා. ඒවා අතරට වටිනා දැවවලින් නිමැවූ වීණාද ඇතුළත් වෙනවා.—2 ලේකම් 9:11; ආමොස් 6:5.
ඊශ්‍රායෙල්වරුන් අතර සංගීතයට වැදගත් ස්ථානයක් හිමි වුණා. ඒ බව ඔවුන්ගේ නමස්කාරයට සංගීතය ඇතුළත් වී තිබීමෙන් පැහැදිලියි. ඊට අමතරව රජ මාලිගාවල, සාදයන්වල, මිදි සහ ධාන්‍ය
අස්වනු නෙළන කාලයේදී පැවති උත්සවවල සහ රජවරුන්ට ඔටුනු පැළඳ වූ අවස්ථාවලදීත් සංගීතය ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙනවා. එපමණක්ද නොව යුධමය තත්වයන්වලදී යම් සංඥා දීමටත් අවමංගල්‍ය කටයුතුවලදීත් සංගීතය යොදාගෙන තිබෙනවා. නමුත් කනගාටුවට කරුණක් වන්නේ පහත් ගණයේ ක්‍රියා සිදු වූ ස්ථානවලත් සංගීතය භාවිත කර තිබීමයි.කෙසේවෙතත් සංගීතයෙන් තවත් වැදගත් කාර්යයන්ද ඉටු වුණා. උදාහරණයකට අනාගතවක්තෘ එලිෂා ඉදිරිපිට වීණාව වාදනය කළ අවස්ථාවේ ඔහුට දෙවිගේ බලය ලැබුණා. (2 රාජාවලිය 3:15) එමෙන්ම නව සඳ පායන දවස සහ උත්සව ආරම්භ කිරීමට පෙර රිදී හොරණෑ දෙකක් පිඹිනු ලැබුවා. ඊට අමතරව ඊශ්‍රායෙල්වරුන් සැමරූ විශේෂ අවුරුද්ද පැමිණි විටත් හොරණෑ හඬ අසන්න ලැබුණා. එම හොරණෑවේ හඬ නිකුත් වීමත් සමඟ වහලුන්ට නිදහස ලැබුණු අතර විකුණූ ඉඩකඩම් නැවත මුල් හිමිකරුවන්ට අයිති වුණා. ඒ නිසා විශේෂ අවුරුද්දේදී හොරණෑ හඬ ඇසෙන විට අසරණ මිනිසුන් කොතරම් සතුටු වෙන්න ඇද්ද කියා සිතා බලන්න.—ලෙවී කතාව 25:9; ගණන් කතාව 10:10.
දක්ෂ සංගීතඥයන් සහ ගායක ගායිකාවන් ඊශ්‍රායෙලයේ සිටින්න ඇති. ඒ බව පැරණි ඇසිරියානු ගල් කැටයමකින් සනාථ වෙනවා. එහි තිබෙන්නේ ඇසිරියාවේ සෙනකෙරිබ් රජ, යූදාහි හෙසකියා රජගෙන් කප්පමක් ලෙස ගායක ගායිකාවන් ඉල්ලා සිටින ආකාරයයි. ඒ පිරිස ඉතා දක්ෂ අය වූවා කියා අපට සිතිය හැකියි. නමුත් මේ සියලුදෙනාටම වඩා කැපීපෙනෙන්නේ දාවිත් රජයි.
නිපුණ සංගීතඥයෙක්
දාවිත් සංගීතඥයෙක් මෙන්ම දක්ෂ කිවිඳෙක්. බයිබලයේ ගීතාවලිය පොතේ ඇති ගීතිකාවලින් භාගයකටත් වඩා රචනා කර තිබෙන්නේ ඔහුයි. යෞවන එඬේරෙක් ලෙස එළිමහනේ බැටළුවන්ව බලාගන්නා අවස්ථාවල බෙත්ලෙහෙමේ සොඳුරු දසුන් ඔහුගේ නෙත ගැටෙන්න ඇති. ගලා බසින දිය දහරාවල ශබ්දයත් තම බැටළුවන්ගේ හඬත් ඔහුට සතුටක් ගෙන ආ බවට සැකයක් නැහැ. අවට පරිසරයේ ඇති මෙම අසිරිය සිතේ රඳවාගත් දාවිත් වීණාව රැගෙන යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කිරීමට පෙලඹුණා. ඔහු විසින් රචනා කළ ගීතා. 23වන ගීතිකාවට පසුබිම් වූ සංගීතය කොතරම් මියුරුව තිබෙන්න ඇද්ද!
දාවිත් කොතරම් දක්ෂ ලෙස වීණාව වාදනය කළාද කියනවා නම් සාවුල් රජගේ මාලිගාවේ වීණාව වාදනය කිරීමට ඔහුව තෝරාගත්තා. රජගේ සිත අවුල් වූ අවස්ථාවලදී දාවිත් සැපයූ සංගීතය නිසා රජගේ සිත සන්සුන් වුණා.—1 සාමුවෙල් 16:16.
කෙසේවෙතත් දාවිත්ගේ ජීවිතයට අනතුරුදායක තත්වයක් උදා වීමට හේතු වූයේත් සංගීතයමයි. උදාහරණයකට දිනක් දාවිත් සහ සාවුල් රජ පිලිස්තිවරුන්ව පරාජය කර පැමිණෙන විට කාන්තාවන් රබන් ගසමින් මෙසේ ගායනා කළා. “සාවුල් දහස් ගණන් මැරුවෝය. දාවිත් දසදහස් ගණන් මැරුවෝය.” එම වචන ඇසුණු රජට දාවිත් කෙරෙහි දැඩි කෝපයක් මෙන්ම ඊර්ෂ්‍යාවක්ද ඇති වුණා. ඒ නිසා ඒ මොහොතේ පටන් ‘සාවුල් රජ, දාවිත් දෙස සැකෙන් බලන්න පටන්ගත්තා.’—1 සාමුවෙල් 18:7-9, NW.
ගීතිකාවෙන් කියැවෙන දාවිත්ගේ හැඟීම්
දෙවිගේ මඟ පෙන්වීමෙන් දාවිත් රචනා කළ ගී ඇත්තෙන්ම විශිෂ්ටයි. විවිධ සිදුවීම් අලළා ඔහු රචනා කළ ගීවල තිබෙන හැඟීම් විවිධාකාරයි. උදාහරණයකට දෙවිට ප්‍රශංසා කිරීම වෙනුවෙන් රචනා කළ ගී, ඉතිහාසය මතකයට නගමින් රචනා කළ ගී, මිදි අස්වැන්න නෙළන අවස්ථාවන් සඳහා රචනා කළ ගී සහ රජ මාලිගාව කැප කරන විට ගායනා කිරීමට රචනා කළ ගීවල තිබුණු හැඟීම් එකිනෙකට වෙනස්. එමෙන්ම යම් දේවල් නැවත මතක් කිරීම සඳහාත් බලාපොරොත්තු මුල් කරගෙන රචනා කළ ගීවලටත් යම් ඉල්ලීම් ඇතුළත් ගීවලටත් තිබුණේ වෙනස්ම ආකාරයේ හැඟීම්. (ගීතාවලිය 32, 23, 145, 8, 30, 38, 72, 51, 86 සහ ඒවායේ පෙර පද බලන්න.) සාවුල් රජ සහ ඔහුගේ පුත් යොනාතාන් මිය ගිය අවස්ථාවේදී දාවිත් විලාප ගීයක් රචනා කළා. එය නම් කර තිබුණේ “දුන්න” ලෙසයි. එම ගීය ආරම්භ වන්නේ මෙම ශෝකාකූල වදන් පෙළ සමඟයි. “අනේ ඊශ්‍රායෙල්, ඔබේ තේජස කඳු මුදුනෙහි පහව ගියේය.” මේ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ තම වීණාව සහ පදවැල් ඔස්සේ විවිධ හැඟීම් ප්‍රකාශ කිරීමට දාවිත්ට තිබූ විශිෂ්ට හැකියාවයි.—2 සාමුවෙල් 1:17-19, NW.
දාවිත් සංගීතයට ඇලුම් කළ කෙනෙක් නිසා වේගවත් රිද්මයක් තිබූ සංගීතයටද ඔහු ප්‍රිය කළා. උදාහරණයකට ගිවිසුම් පෙට්ටිය සියොන් නගරයට ගෙන එන අවස්ථාවේ වාදනය වූ සංගීතය නිසා ඔහු උඩ පනිමින් නැටුවා. කොහොමවුණත් ඔහුගේ නැටීම දුටු ඔහුගේ භාර්යාව වූ මීකල් ඔහුට දොස් නැඟුවා. නමුත් තමන් එසේ හැසිරීම වරදක් කියා දාවිත්ට සිතුණේ නැහැ. ඔහු යෙහෝවා දෙවිට බෙහෙවින් ප්‍රේම කළ අතර සංගීතයටත් ඇලුම් කළා. එමනිසා යෙහෝවා දෙවිට වූ තම ප්‍රේමය පෙන්නුම් කිරීමට ඔහු ප්‍රීතියෙන් නැටුවා.—2 සාමුවෙල් 6:14, 16, 21.
ගායනයෙන් සහ වාදනයෙන් පමණක් දාවිත් සෑහීමට පත් වුණේ නැහැ. ඔහු සංගීත භාණ්ඩද නිර්මාණය කළා. (2 ලේකම් 7:6) දක්ෂ කිවිඳෙක් ලෙසත් ගීත රචකයෙකු ලෙසත් වාදකයෙකු ලෙසත් සංගීත භාණ්ඩ නිර්මාණය කරන්නෙකු ලෙසත් දාවිත් පෙන්වූ කුසලතාවන් ඔහුට ලැබී තිබුණේ සහජයෙන්මයි. නමුත් සංගීතය මුල් කරගෙන දාවිත් කළ තවත් සුවිශේෂී දේවල්ද තිබුණා.
දේවමාලිගාවේ ගී ගැයීම සහ සංගීතය
නමස්කාර කටයුතුවලදී ගී ගායනය සහ සංගීතය සැපයීමට පියවර ගැනීම දාවිත් කළ විශිෂ්ට ක්‍රියාවක් කියා හැඳින්විය හැකියි. ඔහු දක්ෂ ගායකයන් හා වාදකයන් 4,000ක් තෝරාගෙන ඔවුන්ව ආසාෆ්, හේමාන් සහ යෙදූතුන් යන අයගේ ප්‍රධානත්වය යටතේ තැබුවා. එමෙන්ම ඔවුන්ව පුහුණු කිරීම සඳහා දක්ෂ සංගීතඥයන් 288දෙනෙකුවද පත් කළා. ඊශ්‍රායෙලයේ වාර්ෂිකව පැවති උත්සව තුනේදීම මෙම ගායකයන් 4,000දෙනා දේවමාලිගාවේ සමූහයක් ලෙස එකට ගී ගායනයෙහි හවුල් වුණා. ඒ අවස්ථාවේදී මොන තරම් මියුරු ගායනයක් ඇසෙන්න ඇද්ද!—1 ලේකම් 23:5; 25:1, 6, 7.
දේවමාලිගාවේ ගීතිකා ගායනා කළේ පුරුෂයන් පමණයි. හතළිස්හයවන ගීතිකාවේ පෙර පදයේ “තරුණියන් විසින් ගායනා කිරීම සඳහාය” කියා සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඒ කාලයේදී උච්ච ස්වරවලින් ගායනයන් සිදු වූ බව හෝ ඊට සරිලන සංගීත භාණ්ඩ භාවිත කරන්න ඇති බවයි. ඔවුන් සමූහයක් ලෙස “එක හඬින්” ගායනා කළා. (2 ලේකම් 5:13, NW) ඔවුන් ගායනා කළ ගීතිකා අතරට දාවිත් රචනා කළ තුන්වන ගීතිකාවත් තවත් ගීතිකාත් ඇතුළත් වෙන්න ඇති. සමහර ගීතිකා රචනා කර තිබුණේ එකම පදවැල නැවත නැවතත් ගැයෙන ආකාරයටයි. ඊට කදිම උදාහරණයක් වන්නේ ගීතාවලිය 42:5, 11 සහ 43:5යි. එමෙන්ම එක් කණ්ඩායමක් ප්‍රශ්නයක් නගන විට අනික් කණ්ඩායම ඊට පිළිතුරු දෙන ආකාරයට රචනා කළ ගීතිකාද තිබුණා. ගිවිසුම් පෙට්ටිය සියොන් නගරයට ගෙන එන අවස්ථාවේ ගායනා කිරීමට දාවිත් රචනා කළ ගීතිකාව ඊට කදිම නිදසුනක්. එය නම් ගීතාවලිය පොතේ 24වන ගීතිකාවයි.—2 සාමුවෙල් 6:11-17.
ගායනය පූජකයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. වාර්ෂිකව යෙරුසලමේ පැවති උත්සවවලට ගිය අනික් අයත් ගායනයට හවුල් වුණා. සමහර ගීතිකාවල පෙර පදයේ “කන්ද නඟින විට ගැයූ ගීතයකි” කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 120 සිට 134) එවැනි අවස්ථාවලදී ගායනා කිරීම සඳහා දාවිත් රචනා කළ එක් ගීතිකාවක් ආරම්භ වන්නේ මේ ආකාරයටයි. “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!” (ගීතාවලිය 133:1, NW) වාර්ෂිකව පැවැත්වූ උත්සවවලට සියලුදෙනාම සමූහයක් ලෙස සහභාගි වූ නිසා එකමුතුකම ගැන සඳහන් කරන එම ගීතිකාව ඒ අවස්ථාවට කොතරම් උචිතද!
නමස්කාරය හා බැඳි සංගීතය
බයිබලයේ දහයෙන් එකකම තිබෙන්නේ ගීතිකායි. එමෙන්ම ගීතාවලිය පොතේ අප සියලුදෙනාටම දිරිගන්වා තිබෙන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න කියායි. (ගීතාවලිය 150) ඇත්තෙන්ම ජීවිතයේ ප්‍රශ්න මොහොතකට හෝ අමතක කර දැමීමට සංගීතය ලොකු උපකාරයක් වන නිසා එය ගතටත් සිතටත් ඖෂධයක් කියා පැවසිය හැකියි. එමෙන්ම වේදනාවෙන් සිටින අයට පමණක් නොව සතුටින් සිටින අයටත් දෙවිට ප්‍රශංසා ගී ගයන්න කියා බයිබලයේ දිරිගන්වනවා.—යාකොබ් 5:13.
දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය සහ ප්‍රේමය පෙන්නුම් කළ හැකි ක්‍රමයක් වන්නේ ගීතිකා ගායනා කිරීමයි. යේසුස් පවා ඔහුගේ ගෝලයන් සමඟ ගත කළ අවසාන රාත්‍රියේදී ගීතිකා ගායනා කළා. (මතෙව් 26:30) ඔහු කොතරම් මියුරු හඬකින් ගායනා කරන්න ඇතිද කියා සිතා බලන්න. ස්වර්ගයේ සිටි දේවදූතයන් දෙවිට ප්‍රශංසා ගී ගායනා කළ ආකාරය ඔහු දැන සිටියා. බොහෝවිට යේසුස් අන්තිම රාත්‍රියේදී ගායනා කරන්න ඇත්තේ ගීතාවලිය පොතේ 113 සිට 118 දක්වා ඇති ගීතිකා විය හැකියි. ගෝලයන් යේසුස්ගේ මරණයට අදාළ සියලුම තොරතුරු වටහාගෙන නොසිටි නිසා ඇතැම් පදමාලා යේසුස් කාවදින ආකාරයෙන් ශබ්ද නඟා ගායනා කරන්න ඇති. සමහරවිට ඒ මෙම පද කිහිපය විය හැකියි. ‘යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය. ඔහු මාගේ අයැදීමට කන් දෙන්නේය. එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය. මරණයේ රැහැන් මා වටා එතුණේය. මම මිනී වළෙහි බැමි අතර හිර වී සිටියෙමි. යෙහෝවා දෙවියනි, මාගේ ජීවිතය ගලවාගන්න.’—ගීතාවලිය 116:1-4, NW.
සංගීතය ආරම්භ වූයේ මිනිසුන්ගෙන් නොවෙයි. මිනිසුන් බිහි වීමට පෙර සිටම ස්වර්ගයේ සිටි දේවදූතයන් දෙවිට ප්‍රශංසා ගී ගායනා කරමින් සංකේතාත්මක වීණා වාදනය කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 5:9; 14:3; 15:2, 3) ඇත්තෙන්ම සංගීතය පිළිබඳව අපගේ සිත් තුළ ඇල්මක් ඇති කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා ගීයක් ගායනා කිරීමෙන් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමෙන් තම හැඟීම් ප්‍රකාශ කිරීමට අපට ඇති පුදුමාකාර හැකියාව යෙහෝවා දෙවිගෙන් ලැබුණු දීමනාවක් කියා පැවසිය හැකියි.—යාකොබ් 1:17.
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘ඔබ ප්‍රීතියෙන් සිටින අවස්ථාවලදීද උත්සවයන් පවත්වන කාලයේදීද හොරණෑ පිඹින්න.’—ගණන් කතාව 10:10, NW.
[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය. ඔහු සරු තණබිම්වල මා සතපවන්නේය. සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට මා ගෙන යන්නේය.”—ගීතාවලිය 23:1, 2, NW.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සංගීත භාණ්ඩ වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අයගේ සංඛ්‍යාව හාරදහසකි. දාවිත් රජ පැවසුවේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඒ සංගීත භාණ්ඩ තැනූ බවයි.”—1 ලේකම් 23:4, 5, NW.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
වීණාව සහ පදවැල් ඔස්සේ විවිධ හැඟීම් ප්‍රකාශ කිරීමට දාවිත්ට තිබූ හැකියාව විශිෂ්ටයි
[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. රබන් ගසමින් හා නටමින් ඔහුට ප්‍රශංසා කරන්න. පණ ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.’—ගීතාවලිය 150:1, 4, 6, NW.
[28වන පිටුවේ කොටුව/පින්තූර]
ඊශ්‍රායෙල්වරුන් භාවිත කළ සංගීත භාණ්ඩ
ඊශ්‍රායෙල්වරුන් භාවිත කළ තත් භාණ්ඩවලට කුඩා වීණා, මහා වීණා සහ තත් දහයේ සංගීත භාණ්ඩ ඇතුළත් වුණා. (ගීතාවලිය 92:3) එම භාණ්ඩ ඇලමොත් සහ ෂෙමිනිත් ස්වරයට අනුව සකසා තිබුණු බව බයිබලයේ සඳහන් වෙනවා. සමහරවිට ඉන් අදහස් වුණේ එම භාණ්ඩ ඉහළ ස්වරයෙන් සහ පහළ ස්වරයෙන් වාදනය කිරීමට සකසා තිබූ බව විය හැකියි. (1 ලේකම් 15:20, 21) ඒ කාලයේදී භාවිත වූ ශුශීර භාණ්ඩ අතරට නලා, බටනලා, හොරණෑ අයත් වුණා. එමෙන්ම ‘මහත් හඬක්’ නැඟිය හැකි හොරණෑද භාවිත කළා. (2 ලේකම් 7:6, NW; 1 සාමුවෙල් 10:5; ගීතාවලිය 150:3, 4) දේවමාලිගාව කැප කළ අවස්ථාවේ හොරණෑ පිඹිණු ලැබූ අතර ගීතිකාද ගායනා කරනු ලැබුවා. ඒ අවස්ථාවේ සංගීත භාණ්ඩවල හා ගායකයන්ගේ හඬ අසන්න ලැබුණේ ‘එක හඬක්’ ලෙසයි. (2 ලේකම් 5:12, 13, NW) ඉන් පැහැදිලි වන්නේ එම සංගීත භාණ්ඩ එක හා සමාන ආකාරයකින් සුසර කර තිබූ බව සහ ගායකයන්ද ඊට සරිලන ලෙස ඔවුන්ගේ ගායනය ඉදිරිපත් කළ බවයි. ඊශ්‍රායෙල්වරුන් යොදාගත් සමාඝාත භාණ්ඩ අතරට රබන්, අත්තාලම් සහ “ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද” අයත් වුණා. ඇතැම් අත්තාලම්වලින් ‘මිහිරි හඬක්’ නිකුත් වූ අතර තවත් ඒවායින් ‘මහත් හඬක්ද’ නැඟුණා.—2 සාමුවෙල් 6:5; ගීතාවලිය 150:5, NW.
[පින්තූර]
ඉහළ: ක්‍රිස්තු වර්ෂ 70දී රෝමවරුන් යෙරුසලම වටලා දේවමාලිගාවේ තිබූ හොරණෑ රැගෙන යන ආකාරය පෙන්වන කැටයමක්. (ටයිටස්ගේ ආරුක්කුව, රෝමය) යුදෙව්වන් භාවිත කළ සංගීත භාණ්ඩ දැක්වෙන ක්‍රි.ව. 130ට අයත් කාසි.
[හිමිකම් විස්තර]
Coins: © 2007 by David Hendin. All rights reserved.