Skip to content

පටුනට යන්න

ඔහු අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

ඔහු අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

ඔහු අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

පේතෘස් ජීවත් වුණේ කපර්ණවුම නම් නගරයේයි. එමෙන්ම ඔහුගේ ඥාතීන්, මිතුරන් සහ ධීවර කටයුතුවලට හවුල් වූ අයත් ජීවත් වන්න ඇත්තේද මේ අවට ප්‍රදේශයේම විය හැකියි. පේතෘස් යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්න ආශා කළ නිසා යේසුස් කපර්ණවුම නගරයේ තිබූ ශාලාවේ උගන්වමින් සිටින විට ඔහුද ඊට හොඳින් සවන් දුන් බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම තම අසල්වාසීන්ද යේසුස්ට හොඳින් සවන් දෙයි කියා ඔහු බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් සිදු වූයේ ඔහු බලාපොරොත්තු වූ දෙය නොවෙයි.

සාමාන්‍යයෙන් මිනිසුන් යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්නේ සතුටින්. ඒත් මේ අයගේ මුහුණුවල එවැනි සතුටක් තිබුණේ නැහැ. පේතෘස්ට ඔවුන්ගේ මුහුණුවලින් දකින්න ලැබුණේ කලකිරීම සහ කෝපය පමණයි. වැඩිදෙනෙක් ශාලාවෙන් පිටව ගියේ ‘යේසුස් උගන්වන දේවල් අසාගෙන සිටින්න බැහැ’ යන සිතුවිල්ල ඇතුවයි. එමෙන්ම තවත් අය අමනාපයෙන් යන්න ගියා. සමහරු කොඳුරන්න පටන්ගත්තා. යේසුස්ගේම ඇතැම් ගෝලයන් පවා ඔහුව අත්හැර ගියා. මේ සියල්ල දකින විට පේතෘස්ට කෙසේ හැඟෙන්න ඇද්ද?

ඒ අවස්ථාව පේතෘස්ට වගේම අනික් ගෝලයන්ටත් අභියෝගයක් වූ බවට සැකයක් නැහැ. ඊටහේතුව යේසුස් ඒ මොහොතේදී පැවසූ දේවල් ඔවුන්ටත් හරිහැටි අවබෝධ නොවීමයි. නමුත් යේසුස්ගේ ඉගැන්වීම් හරිහැටි අවබෝධ කර නොගත්තොත් කෙනෙක් ඒවා වරදවා වටහාගන්නා බව ඉහත සිදුවීමෙන් පේතෘස්ට පැහැදිලි වෙන්න ඇති. මෙය පේතෘස්ගේද විශ්වාසවන්තකම අභියෝගයට ලක් වූ අවස්ථාවක්. නමුත් මෙය ඔහුගේ විශ්වාසවන්තකම අභියෝගයට ලක් වූ මුල්ම අවස්ථාවවත් අවසන් අවස්ථාවවත් නොවෙයි. ඒ කොහොමවුණත් ඔහු එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. ඒ කෙසේද කියා දැන් අපි බලමු.

ඔහු විශ්වාසය කඩ කළේ නැහැ

සමහර අවස්ථාවලදී යේසුස් ක්‍රියා කළේ මිනිසුන් බලාපොරොත්තු වුණාට වඩා වෙනස් ආකාරයටයි. පේතෘස් පවා එය අද්දැක්කා. උදාහරණයකට යේසුස් ආශ්චර්යවත් ලෙස දහස් ගණනකට කෑම දුන් විට මිනිසුන් ඔහුව රජ බවට පත් කිරීමට උත්සාහ කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එමෙන්ම තම ගෝලයන්වද කපර්ණවුමට පිටත් කරහැරියා. ඒ යන අතරවාරයේදී ගෝලයන් ගලීල මුහුදේදී කුණාටුවකට හසු වුණා. නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් යේසුස් වතුර මතින් පැමිණ ඔවුන්ව ගලවාගත්තා. ඒ වගේම ඒ අවස්ථාවේදී ඔහු පේතෘස්ට විශ්වාසය ශක්තිමත්ව තබාගැනීම සම්බන්ධයෙන් වටිනා පාඩමක්ද කියා දුන්නා. *

යේසුස් තම ගෝලයන් සමඟ කපර්ණවුමට ගිය බව මිනිසුන් දැනගත්තා. එවිට ඔවුන් යේසුස්ව හමු වීමට එහි පැමිණියා. මේ සෙනඟ ඇවිත් සිටින්නේ යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දීමට නොව ඔහු ආශ්චර්යවත් ලෙස ආහාර ලබා දෙයි යන බලාපොරොත්තුව ඇතුවයි. එවැනි අදහසකින් තමන් ළඟට පැමිණීම වැරදි බව පෙන්වමින් ඔවුන්ට වැදගත් කාරණා යේසුස් කියා දුන්නා. යේසුස් කපර්ණවුමේ තිබූ ශාලාවට ගිය විටත් ඔහු ඒ ගැන සඳහන් කළා. එමෙන්ම ඒ අවස්ථාවේදී ඉතා වැදගත් කාරණයක් පහදා දීමට ඔහු යොදාගත් උදාහරණය නිසා මිනිසුන් තවත් අමනාප වුණා. ඊට හේතුව කුමක්ද?

අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ ගමන් කරමින් සිටි විට දෙවි ඔවුන්ට මන්නා ලෙස හැඳින්වූ ආහාරයක් ලබා දුන්නා. නමුත් මේ අවස්ථාවේ යේසුස් තමාවම ජීවනදායක ආහාරයකට සමාන කරනවා. ඔහු එසේ කළේ තමාගේ ජීවිත පූජාව තුළින් මිනිසුන්ට සදාකාල ජීවනය ලබා දීමට දෙවි පියවර ගෙන තිබුණු නිසයි. නමුත් ඒ මොහොතේ යේසුස් පැවසූ දේවලට බොහෝදෙනෙක් එකඟ වුණේ නැහැ. එමනිසා එය තවත් පැහැදිලි කරමින් යේසුස් පැවසුවේ සදාකාල ජීවනය ලබාගැනීමට නම් තම ශරීරය ආහාරයට ගෙන තමාගේ රුධිරය පානය කළ යුතු බවයි. ඇත්තටම යේසුස් ඉන් අදහස් කළේ තමාගේ ශරීරයවත් රුධිරයවත් ආහාරයට ගත යුතු බව නොවෙයි. ඊට තිබුණේ සංකේතාත්මක අර්ථයක්. නමුත් මෙය හරිහැටි අවබෝධ කරගැනීමට නොහැකි වූ ඔවුන් “මෙය මහ පුදුම කතාවක්. මේ වගේ දේවල් අසාගෙන ඉන්න පුළුවන් කාටද” කියා අසමින් එතැනින් යන්න ගියා. යේසුස්ගේ සමහර ගෝලයන් පවා ඔහුව අත්හැර ගියා. *යොහන් 6:48-60, 66.

නමුත් මේ අවස්ථාවේදී පේතෘස් කුමක් කරයිද? ඔහුත් යේසුස්ව අතහැර යයිද? දෙවිගේ කැමැත්ත ඉටු වීමට යේසුස් මිය යා යුතු බව පේතෘස් හරිහැටි වටහාගෙන සිටියේ නැහැ. ඒ නිසා යේසුස් පැවසූ දෙය ඔහුටත් අවබෝධ නොවෙන්න ඇති. සමහරවිට ඔහු ඒ දේ අසා කලබලයට පත් වෙන්නත් ඇති. ඒ කොහොමවුණත් ඔහු අනික් අය මෙන් යේසුස්ව අතහැර ගියේ නැහැ. ඒ ඔහු තුළ තිබූ සුවිශේෂී ගුණාංගයක් නිසයි.

බොහෝදෙනා තමාව හැර යන විට යේසුස් තම ගෝලයන් 12දෙනා දෙස බලා “ඔබත් යන්න කැමතිද” කියා ඇසුවා. (යොහන් 6:67) යේසුස් මේ ප්‍රශ්නය ඇසුවේ ගෝලයන් 12දෙනාගෙන්ම වුවත් සුපුරුදු විදිහට ඊට මුලින්ම පිළිතුරු දුන්නේ පේතෘස්. සමහරවිට ඔහු එසේ කරන්නේ ගෝලයන් 12දෙනාගෙන් වයසින් වැඩිම කෙනා ඔහු වූ නිසා විය හැකියි. ඔහු කිසිවිටෙක තම සිතේ ඇති අදහස් සඟවාගෙන සිටියේ නැහැ. මේ අවස්ථාවේදීද ඔහු යේසුස්ට දුන්නේ තම හද පත්ලෙන්ම පැමිණි පිළිතුරයි. ඔහු පැවසුවේ “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි” කියායි.—යොහන් 6:68.

පේතෘස් දුන් එම පිළිතුරෙන් අපට පැහැදිලි වන්නේ ඔහු කොතරම් විශ්වාසවන්ත කෙනෙක්ද කියායි. යේසුස් හැර වෙනත් ගැලවුම්කරුවෙක් නැහැ කියා පේතෘස් හොඳින්ම දැන සිටියා. එමෙන්ම දේවරාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූ දේවල් සදාකාල ජීවනයට මඟ විවර කරන බවත් ඔහු දැන සිටියා. සමහර අවස්ථාවලදී යේසුස් ඉගැන්වූ දේවල් ඔහුට සම්පූර්ණයෙන් අවබෝධ වුණේ නැහැ. ඒ වුණත් ඔහු යේසුස්ව අත් නොහැරියේ දෙවිගේ අනුමැතිය ලබාගෙන සදාකාල ජීවනය ලබාගැනීමට එකම මඟ යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම බව ඔහු දැන සිටි නිසයි.

ඔහුගේ එම ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? අද බොහෝ අය යේසුස්ව විශ්වාස කරනවා කියා පැවසුවත් ඔවුන්ගේ ක්‍රියා තුළින් එවැනි දෙයක් පෙනෙන්න නැහැ. නමුත් අපි යේසුස් ඉදිරියේ විශ්වාසවන්ත අය වීමට නම් පේතෘස් මෙන් අපත් යේසුස්ගේ ඉගැන්වීම් අගය කරමින් ඒවා අපේ ජීවිතයට අදාළ කරගත යුතුයි. සමහරවිට යේසුස්ගේ ඉගැන්වීම් අපි කැමති දේට වඩා වෙනස් විය හැකියි. ඒ වුණත් අප ඒවාට කීකරු වීමට උත්සාහ කළ යුතුයි. ඒ ආකාරයෙන් අපි යේසුස් ඉදිරියේ විශ්වාසවන්තව සිටියොත් අපට සදාකාල ජීවනය ලබාගත හැකියි.

වැරදි පෙන්වා දුන්නත් අමනාප නොවී

කපර්ණවුම නගරයේ සිදු වූ එම සිද්ධියෙන් ටික දවසකට පසු යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ පලස්තීනයේ උතුරු කෙළවරටම ගමන් කළා. හෙර්මොන් කන්ද පිහිටා තිබෙන්නේත් මේ අවටයි. සමහර අවස්ථාවලදී ගලීල මුහුදේ සිට වුණත් මේ දැවැන්ත කඳු වැටිය දැකගත හැකියි. යේසුස් සහ ඔහුගේ ගෝලයන් සිසේරිය ෆිලිප්පියට ළඟා වෙත්ම ඔවුන්ට හෙර්මොන් කන්ද වඩාත් පැහැදිලිව දිස් වෙන්න ඇති. * මේ උස් ප්‍රදේශයේ සිට පලස්තීනයේ දකුණු ප්‍රදේශයේ පරක් තෙරක් නොමැතිව දැකබලා ගත හැකියි. මේ සුන්දර පරිසරයේ සිටින අතර යේසුස් තම ගෝලයන්ගෙන් ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇසුවා.

“සමූහයා මම කවුරුන් කියලද කියන්නේ?” යේසුස් එසේ ඇසුවේ තමන් ගැන අන් අය සිතන්නේ කුමක්ද කියා දැනගැනීමටයි. එම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් බොහෝ අය යේසුස් ගැන වරදවා වටහාගෙන ඇති බව ගෝලයන් පැවසුවා. නමුත් තම ගෝලයන්ද තමාව ඒ ආකාරයෙන් වටහාගෙන තිබෙනවාද කියා දැනගැනීමට යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “ඔබ හිතන්නේ මම කවුරු කියාද?”—ලූක් 9:18-22.

ඒ ප්‍රශ්නයටත් පිළිතුරු දුන්නේ පේතෘස්මයි. ඔහුටත් අනික් ගෝලයන්ටත් යේසුස් ගැන හැඟුණු ආකාරය ඔහු විශ්වාසයෙන් යුතුව මෙසේ පැවසුවා. “ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි.” ඒ වචන ස්වල්පය ඇසුණු විට යේසුස් කොතරම් සතුටු වන්න ඇද්ද! සමහරවිට ඔහු පේතෘස් දෙස බලා පුංචි සිනහවකින් ඔහුව අගය කරන්න ඇති. ඉන්පසු මේ වැදගත් කාරණය පේතෘස්ට හෙළි කළේ දෙවි මිස වෙන කිසිවෙකු නොවන බව යේසුස් ඔහුට පැවසුවා. වසර ගණනාවක් පුරා මිනිසුන් බලාපොරොත්තුවෙන් සිටි ගැලවුම්කරු යේසුස් බව දෙවි විසින්ම ඔහුට හෙළි කිරීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!—මතෙව් 16:16, 17.

බයිබල් අනාවැකිවල ගැලවුම්කරුව විස්තර කර තිබෙන්නේ ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ගලකටයි. (ගීතාවලිය 118:22; ලූක් 20:17) සමහරවිට එවන් අනාවැකි යේසුස්ගේ මනසේ තිබෙන්න ඇති. ඒ නිසා යේසුස් තමාවම පර්වතයකට සමාන කරමින් ඒ පර්වතය මත ක්‍රිස්තියානි සභාව ගොඩනඟන බව පැවසුවා. * ඉන්පසු ඒ සභාවට අදාළ වැදගත් වගකීම් ඔහු පේතෘස්ට පැවරුවා. ඉන් අදහස් වුණේ පේතෘස් අනික් ගෝලයන්ට වඩා උසස් බව නොවේ. එමෙන්ම යේසුස් ‘ස්වර්ග රාජ්‍යයේ යතුරුද’ ඔහුට භාර දුන්නා. (මතෙව් 16:19) ඉන් අදහස් වුණේ ඔහු මුලින්ම යුදෙව්වන්ටත් පසුව සමරිතානුවන්ටත් අවසාන වශයෙන් යුදෙව් නොවන අයටත් ස්වර්ගික ජීවිතයක් ලබාගැනීමට ප්‍රස්තාව විවෘත කරන බවයි.

පේතෘස්ට වැඩියෙන් වගකීම් භාර දුන් නිසා ඔහුගෙන් සාමාන්‍යයට වඩා වැඩියෙන් බලාපොරොත්තු වූ බවට කිසිම සැකයක් නැහැ. ඊට හේතුව කෙනෙකුට බොහෝ වගකීම් භාර දී තිබෙනවා නම් ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා කියා යේසුස්ම පවසා තිබීමයි. (ලූක් 12:48) කෙසේවෙතත් සාකච්ඡාව දිගටම සිදු වන අතරේ තමන් යෙරුසලමේදී පීඩා අද්දැක මරණයට පත් වන බව යේසුස් පැවසුවා. එය ඇසුණු විගස කලබලයට පත් වූ පේතෘස් යේසුස්ව පැත්තකට ගෙන ගොස් ඔහුට තදින් පැවසුවේ “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ” කියායි.—මතෙව් 16:21, 22.

පේතෘස් එවැනි දෙයක් පැවසුවේ යේසුස්ට තිබෙන ආදරය නිසයි. නමුත් යේසුස් දුන් පිළිතුර ඔහු කොහොමටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති. යේසුස් ඔහු වෙතින් හැරී මෙසේ පැවසුවා. “සාතන්! මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි.” (මතෙව් 16:23; මාක් 8:32, 33) යේසුස් පැවසූ ඒ දෙයින් අපටත් වටිනා පාඩමක් ඉගෙනගත හැකියි. සමහර අවස්ථාවලදී අපිත් දෙවි සිතන විදිහ අමතක කර දමා මිනිසුන් සිතන ආකාරයට සිතන්න පෙලඹෙන්න පුළුවන්. එසේ සිතා කෙනෙකුට උපකාර කරන්න උත්සාහ කළොත් අප කරන්නේ සාතන්ගේ කැමැත්තට අනුබල දීමක් විය හැකියි. කෙසේවෙතත් යේසුස් පේතෘස්ට තදින් අවවාද කළ විට පේතෘස්ට කෙසේ හැඟෙන්න ඇද්ද!

මෙහිදී යේසුස් සාතන් කියා පැවසුවත් ඔහු තමාව සාතන් නමැති යක්ෂයාට සමාන නොකළ බව පේතෘස් දැන සිටියා. කලින් අවස්ථාවකදී යේසුස් සාතන්ව හෙළාදැක කතා කළත් ඔහු පේතෘස්ව එලෙස හෙළාදැක්කේ නැහැ. (මතෙව් 4:10) එමෙන්ම පේතෘස් තුළ යහපත් ගතිගුණ තිබුණ නිසා යේසුස් ඔහුව කොහොමටවත් හෙළාදකියි කියා සිතන්න බැහැ. ඒ අවස්ථාවේදී යේසුස් කළේ පේතෘස් සිතන ආකාරය නිවැරදි කිරීම පමණයි. එමෙන්ම යේසුස් සමඟ සිටිමින් ඔහුට උපරිමයෙන් සහයෝගය දීමට පේතෘස් ඉගෙනගත යුතු වුණා.

යේසුස් තදින් උපදෙස් දුන් නිසා පේතෘස් ඔහු සමඟ අමනාප වුණාද? නැහැ. ඔහු නිහතමානීව යේසුස් පැවසූ දේ සිතට ගත්තා. මෙයින්ද අපට පැහැදිලි වන්නේ ඔහු විශ්වාසවන්ත කෙනෙක් බවයි. යේසුස්ගේ අනුගාමිකයන් හැටියට අපිටත් උපදෙස් සහ හික්මවීම් අවශ්‍යයි. අපත් පේතෘස් මෙන් නිහතමානීව ඒ හික්මවීම් පිළිගන්නවා නම් යේසුස් සමඟත් යෙහෝවා දෙවි සමඟත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකියි.—හිතෝපදේශ 4:13.

විශ්වාසවන්තකම නිසා ලැබූ ආශීර්වාද

පේතෘස්ට තදින් උපදෙස් දී සුළු මොහොතකට පසු යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “මා ඔබට කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා රජු හැටියට පැමිණෙනවා දකින තුරු මෙතැන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිවිටකත් මරණය අද්දකින්නේ නැති බවයි.” (මතෙව් 16:28) යේසුස් පැවසූ ඒ වදන්වල අර්ථය දැනගන්න පේතෘස්ට විශාල උනන්දුවක් තිබෙන්න ඇති. නමුත් මේ වන විට ඔහුට යේසුස්ගෙන් උපදෙස් ලැබී තිබුණ නිසා යේසුස් රජු ලෙස පැමිණෙනවා දකින්න තමන්ට අවස්ථාව අහිමි වේදෝ කියා ඔහු කල්පනා කරන්න ඇති.

සතියකට පමණ පසු තම ගෝලයන් තිදෙනෙකු වූ යාකොබ්, යොහන් සහ පේතෘස් සමඟ යේසුස් “උස් කන්දකට” ගියා. බොහෝවිට මේ හෙර්මොන් කන්ද විය හැකියි. රෑ බෝ වන විට ගෝලයන් තිදෙනාට නිදිමත දැනුණා. නමුත් ඒ අවස්ථාවේදී සිදු වූ දෙයින් ඔවුන්ගේ නිදිමත තුරන් වී ගියා.—මතෙව් 17:1; ලූක් 9:28, 29, 32.

යාච්ඤා කරමින් සිටි යේසුස්ගේ මුහුණේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහුගේ ඇඳුම් දිදුලන සුදකින් බැබළෙන්න පටන්ගත්තා. එමෙන්ම ඔහුගේ දෙපසින් මෝසෙස් සහ එලියා කතා කරමින් සිටිනවාත් ගෝලයන් දුටුවා. ඔවුන් යේසුස් සමඟ කතා කරමින් සිටියේ “යෙරුසලමේදී ඔහු මෙලොවින් සමුගන්නා ආකාරය ගැනයි.” එනම් යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ගැනයි. කලින් අවස්ථාවේදී යේසුස් තම මරණය ගැන පැවසූ විට පේතෘස් ඊට විරුද්ධව අදහස් දැක්වීම වරදක් බව අපට මේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ නැද්ද!—ලූක් 9:29-31.

මේ දර්ශනය පේතෘස්ගේ හදවතට තදින් කාවැදුණා. ඒ නිසා මෝසෙස් සහ එලියා යේසුස්ගෙන් වෙන් වී යන බවක් ඔහුට හැඟුණු විට ඔහු ඉක්මනින්ම මෙසේ පැවසුවා. “ගුරුතුමනි, මේ අවස්ථාවේදී මෙතැන සිටින්න ලැබීම අපට ලොකු සතුටක්. අපි මෙහි කූඩාරම් තුනක්, එකක් ඔබටත් එකක් මෝසෙස්ටත් එකක් එලියාටත් සාදන්නම්.” ඇත්තටම මෝසෙස්ව සහ එලියාව පේතෘස් දකින්නේ දර්ශනයක් ලෙසයි. ඊට හේතුව ඒ වෙනකොටත් ඔවුන් මිය ගොස් බොහෝ කාලයක් ගත වී තිබීමයි. ඒ නිසා ඔවුන්ට කූඩාරම් අවශ්‍ය නැහැ. නමුත් ඔහු එවැනි දෙයක් පැවසුවේ ‘තමා පවසන්නේ කුමක්ද කියා තේරුම් නොගෙනයි.’ මේ අවස්ථාවේදී පේතෘස් ක්‍රියා කළ ආකාරය සහ ඔහු තුළ තිබූ උනන්දුව ඔබ දුටුවාද?—ලූක් 9:33.

මේ අතරවාරයේදී යාකොබ්, යොහන් සහ පේතෘස් තවත් සුවිශේෂී අද්දැකීමක් ලබනවා. ඒ කුමක්ද? ඔවුන් කතා කරමින් සිටින අවස්ථාවේදී ඔවුන්ව වලාකුළකින් වැසුණා. ඉන්පසු වලාකුළ තුළින් යෙහෝවා දෙවි කතා කරමින් මෙසේ පැවසුවා. “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි. මොහුට සවන් දෙන්න.” ඉන්පසු සුළු මොහොතකින් දර්ශනය අවසන් වූ අතර නැවතත් කන්දේ සිටියේ යේසුස් සහ ගෝලයන් තිදෙනා පමණයි.—ලූක් 9:34-36.

මෙවැනි දර්ශනයක් දකින්න ලැබීම පේතෘස්ට මොන තරම් වරප්‍රසාදයක්ද කියා සිතා බලන්න. ඔහුට පමණක් නොව එය අපටත් ඉතා ප්‍රයෝජනදායකයි. දශක කිහිපයකට පසුව පවා රජු ලෙස යේසුස්ගේ “මහත් තේජස” තමන්ගේ ඇස්වලින් දැකීමට ලැබීම ගැන පේතෘස් අගයෙන් යුතුව සඳහන් කළා. (2 පේතෘස් 1:16-19) ඒ සිද්ධිය බයිබල් අනාවැකිවල ඉටු වීම සනිටුහන් කළ අතර පේතෘස්ගේ විශ්වාසයද ශක්තිමත් කරමින් අනාගත අභියෝගවලට මුහුණ දීමටද ඔහුව හොඳින් පුහුණු කළා. පේතෘස් මෙන් අපිත් යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිමින් දිනපතා ඔහුව අනුකරණය කරනවා නම් යේසුස් ඉදිරියේ විශ්වාසවන්ත පුද්ගලයන් වීමට අපටත් හැකියි. එමෙන්ම ජීවිතයේ ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාවද අපට ලැබෙනවා.

[පාදසටහන්වල]

^ 7 ඡේ. වර්ෂ 2009 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ “බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්” නමැති ලිපිය බලන්න.

^ 9 ඡේ. කලින් වතාවකදී යේසුස්ගේ ආශ්චර්යයන් දැක ඔහුව දෙවිගේ අනාගතවක්තෘ කියා හැඳින්වූ මිනිසුන්ම මේ වතාවේදී යේසුස්ව අත්හැර ගියා. ඔවුන් මොන තරම් වෙනස් වන සුලුද කියා මෙයින් පැහැදිලි වෙනවා.—යොහන් 6:14.

^ 15 ඡේ. මුහුදු මට්ටමේ සිට මීටර් 350ක් පමණ ඉහළින් තිබෙන සුන්දර ස්ථානයක් වන ෆිලිප්පිය සිසේරියට යන මාර්ගය කිලෝමීටර් 50ක් පමණ ආවරණය වන දීර්ඝ නැම්මක්.

^ 18 ඡේ. 28වන පිටුවේ ඇති  “යේසුස් සඳහන් කළ පර්වතය කුමක්ද?” නමැති කොටුව බලන්න.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 යේසුස් සඳහන් කළ පර්වතය කුමක්ද?

“මා ඔබට කියන මේ දේටත් සවන් දෙන්න. ඔබ පේතෘස්ය. මා මගේ සභාව ගොඩනඟන්නේ මේ පර්වතය මතයි.” (මතෙව් 16:18) යේසුස් පේතෘස්ට පැවසූ ඒ දේ ක්‍රිස්තියානියැයි කියාගන්නා බොහෝ අය වරදවා තේරුම්ගෙන තිබෙනවා. ඔවුන් සිතන්නේ ක්‍රිස්තියානි සභාව පේතෘස් මත ගොඩනඟා ඇති බවයි. එමෙන්ම පේතෘස්ව අනික් ගෝලයන්ට වඩා උතුම් කෙනෙක් ලෙස යේසුස් සැලකූ බවත් ඔවුන් උගන්වනවා. ඔවුන් පේතෘස්ව සලකන්නේ පළමු පාප්තුමා ලෙසයි. ඒ නිසා යේසුස් පැවසූ එම වදන් රෝමයේ පිහිටි ශාන්ත පීතර දේවස්ථානයේ විශාල ලතින් අකුරුවලින්ද ලියා තිබෙනවා.

ඇත්තටම ක්‍රිස්තියානි සභාව ගොඩනඟන්නේ පේතෘස් මත කියා යේසුස් පැවසුවාද? නැහැ. එසේ පැවසීමට හේතු තුනක් සලකා බලන්න. පළමු හේතුව නම් යේසුස් පේතෘස්ට එසේ පවසන විට අනික් ගෝලයන්ද එතැන සිටියත් ඔවුන් පේතෘස්ව උතුම් කෙනෙක් ලෙස නොසැලකීමයි. ඒ බව පැහැදිලි වන්නේ ඊටපසු අවස්ථාවලදී පවා වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් වාද කිරීමෙනුයි. (මාක් 9:33-35; ලූක් 22:24-26) දෙවන හේතුව නම් යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල්ද පේතෘස්ව පර්වතයක් ලෙස නොසැලකීමයි. ඔහු පැවසුවේ යේසුස් නමැති පර්වතය මත ක්‍රිස්තියානි සභාව ගොඩනඟන බවයි. (1 කොරින්ති 3:11; 10:4) තුන්වන හේතුව නම් ක්‍රිස්තියානි සභාව තමා මත ගොඩනඟා ඇති බව පේතෘස්ම නොපැවසීමයි. ඔහු පැවසුවේ අනාවැකිවල සඳහන් කර තිබූ “අත්තිවාරම සඳහා අනර්ඝ ප්‍රධාන ගල” වන යේසුස් මත ක්‍රිස්තියානි සභාව ගොඩනඟා ඇති බවයි.—1 පේතෘස් 2:4-8.

කොහොමවුණත් බොහෝ අය කියන්නේ පේතෘස්ගේ නමේ අර්ථය අනුව යේසුස් යොමු දැක්වූ පර්වතය පේතෘස් මිස වෙන කිසිවෙකු නොවන බවයි. පේතෘස්ගේ නමේ අර්ථය “ගල” බව ඇත්ත. නමුත් යේසුස් කතා කළේ සභාව ගොඩනඟන ගලක් ගැන නොව පර්වතයක් ගැනයි. ඒ අනුව බලන කළ යේසුස් පේතෘස්ට පැවසුවේ මේ හා සමාන දෙයක්. “ඔබ පේතෘස්ය, ක්‍රිස්තුස් නම් සැබෑ පර්වතය මත ක්‍රිස්තියානි සභාව ගොඩනඟන බව ඔබ දැන් හඳුනාගෙන තිබෙනවා.” ඇත්තෙන්ම මෙවැනි දෙයක් දැනගැනීමට ලැබීම පේතෘස්ට ලැබුණු උතුම් වරප්‍රසාදයක්!

[24, 25වන පිටුවේ පින්තූරය]

යේසුස්ගෙන් උපදෙස් ලැබුණත් පේතෘස් අමනාප වුණේ නැහැ

[26වන පිටුවේ පින්තූරය]

පේතෘස්ගේ විශ්වාසවන්තකම නිසා යේසුස් රජු ලෙස සිටින ආකාරය දර්ශනයකින් දකින්න ඔහුට හැකි වුණා