Skip to content

පටුනට යන්න

ජීවත්ව සිටින අයට උපකාර කිරීමට මිය ගිය අයට හැකිද?

ජීවත්ව සිටින අයට උපකාර කිරීමට මිය ගිය අයට හැකිද?

ජීවත්ව සිටින අයට උපකාර කිරීමට මිය ගිය අයට හැකිද?

බටහිර අප්‍රිකාවේ සිටින යෞවන ස්ටීව් පාසැලේ විභාගයට සූදානම් වෙමින් සිටියා. * එමනිසා විභාගයෙන් සමත් වීමට මුතුන්මිත්තන්ගෙන් උපකාර පතන්න කියා ඔහුගේ මව ඔහුට බල කළා. සිලිසියාවේ අගනුවර වන පැලර්මෝවේහි පොළොව යට පිහිටි ස්ථානයක සියලුදෙනාටම නැරඹිය හැකි වන සේ මෘත ශරීර සිය ගණනක් තබා තිබෙනවා. එම මෘත ශරීරවලින් තමන්ට පිහිට ආරක්ෂාව ලැබෙනවා කියා විශ්වාස කරන බොහෝදෙනා එහි යනවා. එමෙන්ම නිව් යෝක් නගරයේද මායා බන්ධන ක්‍රියාවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක් තිබෙනවා. මිය ගිය ඥාතීන් සහ හිතමිතුරන් සමඟ කතා කර ඔවුන්ගෙන් උපකාර ලබාගැනීම සඳහා බොහෝදෙනා එම ප්‍රදේශයේ සිටින මායාකාරයන් හමු වීමටද යනවා.

ජීවත්ව සිටින අයට උපකාර කිරීමට මිය ගිය අයට හැකියි කියා අද බොහෝදෙනා විශ්වාස කරනවා. ඔබත් එය විශ්වාස කරනවාද? සමහරවිට ඔබ එය විශ්වාස කරනවා විය හැකියි. එසේත් නැත්නම් ඔබ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් එය විශ්වාස කරනවා ඇති. ඇත්තටම අපි ආදරය කරන කෙනෙක් මිය ගිය පසු නැවත ඔහුව දැකගැනීමට ලැබෙනවා නම් අපි කවුරුත් කැමතියි. ඒ නිසා බොහෝදෙනා මායා බන්ධන ක්‍රියා කරන අය ළඟට ගොස් එම ආශාව ඉටු කරගැනීමට පෙලඹෙනවා. එක් මායාකාරියක් පැවසූ දෙයක් ටයිම් සඟරාවේ සඳහන් වුණා. “ඕනෑම වෙලාවක අපට උදව් කරන්න මිය ගිය අය සූදානමින් සිටිනවා.” එය සැබෑවක්ද? ජීවත්ව සිටින අයට උපකාර කිරීමට මිය ගිය අයට හැකිද? ඊට ශුද්ධ බයිබලයේ සපයන පිළිතුර දැනගැනීමෙන් ඔබ පුදුම විය හැකියි.

මළවුන් කොහේ හෝ තැනක ජීවත් වෙනවාද?

මළවුන්ගේ තත්වය ඉතා පැහැදිලිව බයිබලයේ විස්තර කර තිබෙනවා. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” එමෙන්ම ඔවුන්ට හැඟීම් දැනීම්ද නැහැ. “ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත. ඔවුන්ට නැවත කවදාවත් ඉර යට කෙරෙන කිසිම දෙයකට සහභාගි වීමට නොහැක” කියා බයිබලයේ සඳහන් වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. බයිබලයේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.” (දේශනාකාරයා 9:5, 6, 10) යේසුස්ද මිය ගොස් සිටි කෙටි කාල සීමාව තුළ සිටියේ “මිනී වළෙහි” බව බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 2:31.

යේසුස් පොළොවේ සිටි කාලයේ ඔහු බොහෝ අයට උදව් උපකාර කළා. නමුත් තමන් මිනී වළෙහි සිටින කාලය තුළ එලෙස මිනිසුන්ට උපකාර කිරීමට නොහැකි බව යේසුස් දැන සිටියා. ඔහු තම මරණය කිසිම වැඩක් කළ නොහැකි රාත්‍රියකට සමාන කළේ ඒ නිසයි. (යොහන් 9:4) මිනී වළෙහි සිටින අයට ‘යළි නැඟිටීමට නොහැකි’ බව යේසුස් හොඳින්ම දැන සිටියා.—යෙසායා 26:14.

මරණය මොන වගේ දෙයක්ද කියා තේරුම්ගැනීමට යේසුස් පැවසූ මේ දෙයද උපකාරවත් වෙනවා. යේසුස්ගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස් මිය ගිය අවස්ථාවේ ඔහු පැවසුවේ ලාසරුස් නිදා සිටිනවා කියායි. (යොහන් 11:11-13) සාමාන්‍යයෙන් තද නින්දක සිටින පුද්ගලයෙක් සිටින්නේ කිසිවක් නොදැනෙන තත්වයකයි. එවැනි තත්වයක සිටින විට කිසිම කෙනෙකුට උපකාර කිරීමට ඔහුට බැහැ.

මරණයෙන් පසු ආත්මයක් ඉතිරි වෙනවාද?

බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ මිනිසුන් තුළ ආත්මයක් තිබෙන බවයි. එමෙන්ම මිය යන විට එම ආත්මය ශරීරයෙන් පිට වී යන බවත් එය අමරණීය බවත් ඔවුන් විශ්වාස කරනවා. නමුත් එවැනි ඉගැන්වීමකට පදනම සපයන කිසිම අදහසක් බයිබලයේ නැහැ.

එසේනම් මිය ගිය අයව දුටු බවටත් ඔවුන්ගේ කටහඬවල් ඇසුණු බවටත් තිබෙන ආරංචි ගැන පැවසිය හැක්කේ කුමක්ද? මෙවැනි පුවත් ලොව පුරාම අසන්න ලැබෙනවා. තමන් ආදරය කළ මිය ගිය අයව දැක බලා ගැනීමට ඥාතීන්ට සහ හිතමිතුරන්ට තිබෙන ආශාව නිසා ඔවුන් මායා බන්ධන ක්‍රියාවන්වල හවුල් වෙනවා.

ජීවත්ව සිටින අයට උපකාර කිරීමට මිය ගිය අයට හැකියි යන විශ්වාසය සත්‍යයක් නම් මිය ගිය අයට කිසිවක් දැනෙන්නේ නැහැ කියා බයිබලයේ සඳහන් වන දෙය බොරු විය නොවේද? නමුත් යේසුස් පැවසුවේ බයිබලයේ සඳහන් දෙවිගේ වචන සියල්ලක්ම සත්‍යය බවයි. (යොහන් 17:17) එම සත්‍යය කිසිම විටක බොරු වන්නේ නැහැ. එමෙන්ම ජීවතුන්ට උපකාර කිරීමට මළවුන්ට හැකි බව බොහෝදෙනා විශ්වාස කළත් අපි එවැනි විශ්වාසයන් සැලකිය යුත්තේ කෙසේද කියාත් බයිබලයේ සඳහන් වෙනවා. එක් අවස්ථාවකදී අතීතයේ සිටි රජ කෙනෙක් මිය ගිය කෙනෙකුගෙන් උපකාර පතා මායාකාරියක් ළඟට ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. එම සිද්ධිය සලකා බැලීමෙන් මළවුන් ඇත්තටම ජීවතුන්ට උපකාර කරනවාද කියා අපට දැනගත හැකියි.

මළවුන්ගෙන් තොරතුරු විමසූ රජෙක්

ප්‍රබල පිලිස්තීය හමුදා භටයින් උතුරු ඊශ්‍රායෙලයට පහර දීමට සැරසුණා. ඒ හමුදාව දැකීමෙන් සාවුල් රජ ‘බොහෝ සෙයින් භය වුණා.’ සාවුල් රජ යෙහෝවා දෙවිට අකීකරු වී දෙවිගෙන් ඈත් වී සිටි නිසා ඔහු යෙහෝවා දෙවිට කොපමණ කන්නලව් කළත් දෙවි ඔහුට පිළිතුරු දුන්නේ නැහැ. ඒ වගේම මෙතෙක් කල් යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ ලෙස සේවය කළ සාමුවෙල්ද ඒ වන විට ජීවතුන් අතර සිටියේ නැති නිසා සාවුල් රජට මඟ පෙන්වීමට කිසිවෙකු සිටියේ නැහැ.—1 සාමුවෙල් 28:3, 5, 6.

ඒ නිසා ඔහු ඒන්දෝර් දේශයේ සිටි මායාකාරියක්ව හමු වීමට ගොස් මිය ගිය සාමුවෙල්ව කැඳවන්න කියා ඇගෙන් ඉල්ලා සිටියා. ඇය මන්තර බලයෙන් සාමුවෙල්ගේ ඡායාව දුටු අතර සටනේදී සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මිය යන බවත් පිලිස්තිවරු ජය ගන්නා බවත් එලෙස පැමිණි සාමුවෙල් පැවසුවා. (1 සාමුවෙල් 28:7-19) නමුත් ඇත්තටම එසේ කතා කළේ සාමුවෙල්ද?

මේ ගැන සිතන්න. මිය ගිය අය ‘දූවිල්ලට හැරී යන’ බවත් ‘ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 146:4) ඒ අනුව සාවුල්ව හමු වීමට පැමිණියේ මිය ගිය සාමුවෙල් කියා සිතිය හැකිද? බැහැ. යෙහෝවා දෙවි මායා බන්ධන ක්‍රියා දැඩි සේ හෙළාදකින බව සාවුල් රජ මෙන්ම අනාගතවක්තෘ සාමුවෙල්ද හොඳින්ම දැන සිටියා. ඒ නිසා කලින් අවස්ථාවකදී මායාකරුවන්ව ඊශ්‍රායෙලයෙන් තුරන් කිරීම සාවුල් රජ පියවරද ගෙන තිබුණා.—ලෙවී කතාව 19:31.

මේ ගැනත් සිතන්න. අනාගතවක්තෘ සාමුවෙල් යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක්. ඒ නිසා ඔහු මායාකාරියක් තුළින් පැමිණ සාවුල් රජට කතා කරයි කියා කොහොමටවත් සිතන්න බැහැ. අනික් අතට යෙහෝවා දෙවිද සාවුල් රජ සමඟ කතා කිරීමට කොහෙත්ම කැමති වුණේ නැහැ. එසේනම් මිය ගිය සාමුවෙල් තුළින් දෙවිගේ වදන් සාවුල් රජට පැවසීමට සියලු බලය ඇති දෙවිව පෙලඹවීමට මායාකාරියට හැකි වෙයිද? නැහැ. එසේනම් සාමුවෙල් මෙන් පෙනී සිටියේ සාමුවෙල් නොවන බව පැහැදිලියි. එසේනම් ඒ කවුද? දෙවිට විරුද්ධව වැඩ කරන නපුරු භූතයෙක්.

භූතයන් කියා හඳුන්වන්නේ මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම දෙවිගේ පාලනයට විරුද්ධ වූ දේවදූතයන්ටයි. (උත්පත්ති 6:1-4; යූද් 6) මේ භූතයන් මිනිසුන්ව හොඳින් නිරීක්ෂණය කරන නිසා මිනිසුන්ගේ කතා විලාසය, පෙනුම සහ හැසිරීම හොඳින් අනුකරණය කිරීමට ඔවුන්ට හැකියි. ඔවුන් උත්සාහ කරන්නේ මිය ගිය අය මෙන් පෙනී සිටිමින් බයිබලයේ සඳහන් වන දේ බොරු බව ඇඟවීමටයි. ඒ අනුව මායා බන්ධන ක්‍රියාවලින් වැළකී සිටින්න කියා බයිබලයේ දී තිබෙන උපදෙස කොතරම් වටිනවාද! (ද්විතීය කතාව 18:10-12) මෙම භූතයන් අදටත් උත්සාහ කරන්නේ මිනිසුන්ව නොමඟ යැවීමටයි.

ඒ අනුව මිය ගිය අය මෙන් පෙනී සිටින්නේ කවුද කියා දැන් අපට පැහැදිලියි. මෙසේ ක්‍රියා කරන භූතයන් මිත්‍රශීලී ස්වභාවයක් පෙන්විය හැකියි. නමුත් ඇත්තටම ඔවුන් උත්සාහ කරන්නේ මිනිසුන්ව රැවටීමටයි. * (එෆීස 6:12) මේ ගැනත් සිතන්න. යෙහෝවා දෙවි අප ගැන සැලකිලිමත් ප්‍රේමණීය දෙවි කෙනෙක්. (1 පේතෘස් 5:7) එසේනම් මිය ගිය අය තම පවුලේ අයට හෝ හිත මිතුරන්ට උපකාර කිරීමට පැමිණීම යහපත් දෙයක් නම් දෙවි එය හෙළාදකියිද? කොහෙත්ම නැහැ.

අප සියලුදෙනාටම උපකාර කරන කෙනෙක්

අප මෙතෙක් සාකච්ඡා කළ තොරතුරුවලින් පැහැදිලි වුණේ මිය ගිය අය අක්‍රියාශීලී තත්වයක සිටින බව හා ඔවුන්ට අන් අයගේ උපකාරයට පැමිණිය නොහැකි බවයි. ඒ නිසා ඔවුන්ගෙන් උපකාර පැතීම ඇත්තෙන්ම නිෂ්ඵල මෙන්ම ඉතා භයානකයි. මන්ද එවැනි කෙනෙක් යෙහෝවා දෙවිගේ නීතියට පිටුපාන අතර භූතයන්ගේ ග්‍රහණයට හසු වීමේ අවධානමකටද ලක් වෙනවා.

ඇත්තටම අපට උපකාර කළ හැකි හොඳම තැනැත්තා වන්නේ අප සියලුදෙනාවම නිර්මාණය කළ යෙහෝවා දෙවියි. අපව මරණයෙන් ගලවාගැනීමට පවා ඔහුට හැකියි. (ගීතාවලිය 33:19, 20) එමෙන්ම අපට උපකාර කිරීමට ඔහු නිතරම සූදානමින් සිටිනවා. මායා බන්ධන ක්‍රියාවලින් මිනිසුන්ට ලබාදෙන බොරු පොරොන්දුවලට වඩා දෙවි ලබා දී තිබෙන බලාපොරොත්තුව ඉතා වටිනවා.

මුතුන්මිත්තන්ගෙන් උපකාර ලබාගැනීමට වඩා යෙහෝවා දෙවි දී තිබෙන බලාපොරොත්තුව කොතරම් සැබෑද කියා මෙම ලිපියේ මුලින් සඳහන් කළ ස්ටීව් තේරුම්ගෙන සිටියා. නමුත් මායාකරුවන් පැවසුවේ මුතුන්මිත්තන් වෙනුවෙන් පූජාවක් ඔප්පු නොකළොත් ඔහු විභාගයෙන් අසමත් වෙනවා කියායි. ස්ටීව් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටි නිසා මිය ගිය අයගේ සැබෑ තත්වයත් ඔවුන් මෙන් පෙනී සිටින්නේ භූතයන් බවත් ඔහු දැන සිටියා. ඒ නිසා මිය ගිය අයගෙන් උපකාර ලබාගෙන විභාගයෙන් සමත් වෙන්න කියා ඔහුගේ මව ඔහුට බල කළත් ඔහු ඊට එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ “මම මේ පාර විභාගයෙන් අසමත් වුණොත් හොඳට පාඩම් කරලා ඊළඟ අවුරුද්දේ විභාගෙන් සමත් වෙනවා” කියලයි.

මුතුන්මිත්තන්ගෙන් උපකාර නොගත් නිසා ස්ටීව් විභාගයෙන් අසමත් වුණාද? නැහැ. ඔහු විභාගයෙන් ඉහළින්ම සමත් වුණා. ඒ නිසා මිය ගිය අයගෙන් උපකාර ලබාගැනීමට තැත් කිරීම නිෂ්ඵල දෙයක් බව ඔහුගේ මවටත් වැටහුණා. ඒ නිසා නැවත එවැනි දේවල් කරන්න කියා ඇය ස්ටීව්ට බල කළේ නැහැ. ‘ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසීම’ යෙහෝවා දෙවි හෙළාදකින බව ස්ටීව් ඉගෙනගෙන තිබුණා. (යෙසායා 8:19) එමෙන්ම යෙහෝවා දෙවිගේ නීතියට ඇලුම් කරමින් ඒ අනුව ජීවත් වුණොත් යෙහෝවා දෙවි තමාව කිසිදාක අත් නොහරින බවත් ඔහු බයිබලයෙන් ඉගෙනගත්තා.—ගීතාවලිය 1:1-3.

අපි ආදරය කළ මිය ගිය අය ගැන පැවසිය හැක්කේ කුමක්ද? ජීවතුන් අතර සිටින අය ගැන පමණක් නොව මිය ගිය අය ගැන පවා යෙහෝවා දෙවි සැලකිලිමත්. එය තේරුම්ගැනීමට මිය ගිය අය ගැන ඔහු පවසා තිබෙන මේ වදන් සලකා බලන්න. ‘මරණ නින්දෙහි සැතපී සිටින ඔබේ සෙනඟ යළි නැඟිටින්නෝය. දූවිල්ලෙහි සැතපී සිටින ජනයෙනි, අවදි වී ප්‍රීති ඝෝෂා නඟන්න!’ මිය ගොස් සිටින අයට දෙවි නැවත ජීවිතය ලබා දෙන බවට එම බයිබල් වගන්තිවල තවදුරටත් සඳහන් වෙනවා.—යෙසායා 26:19.

මිය ගොස් සිටින බිලියන ගණනක් දෙනා නැවතත් මේ පොළොව මත ජීවත් වීම මොන තරම් පුදුමාකාර දෙයක්ද! බයිබලයේ සඳහන් වෙන්නේ මිය ගොස් සිටින අයට නැවත ජීවිතය ලබා දීමට යෙහෝවා දෙවි ‘මහත් ආශාවෙන් බලා සිටින’ බවයි. (යෝබ් 14:14, 15) නමුත් එය විශ්වාස කළ හැකිද? ඔව්. මිය ගිය අයට දෙවි ජීවිතය ලබා දෙන බව විශ්වාස කළ යේසුස් මළවුන්ව විස්තර කළේ දෙවි ඉදිරියේ ජීවත්ව සිටින අය හැටියටයි.—ලූක් 20:37, 38.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමතිද? * ඒ සඳහා බයිබලය හොඳින් අධ්‍යයනය කරන්න. එසේ කිරීමෙන් ජීවත්ව සිටින අයටත් මිය ගොස් සිටින අයටත් උපකාර කිරීමට දෙවිට හැකි බවත් ඔහු දී තිබෙන පොරොන්දු සියල්ලක්ම විශ්වාසවන්ත හා සැබෑ බවත් ඔබ තේරුම්ගනියි.—එළිදරව් 21:4, 5.

[පාදසටහන්වල]

^ 2 ඡේ. නම වෙනස් කර ඇත.

^ 18 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? නමැති ප්‍රකාශනය බලන්න.

^ 26 ඡේ. මිය ගිය අය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන පොරොන්දුව ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 7වන පරිච්ඡේදය සලකා බලන්න.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපි ආදරය කරන කෙනෙක් මිය ගිය පසු නැවත ඔහුව දැකගැනීමට ලැබෙනවා නම් අපි කවුරුත් කැමතියි

[20වන පිටුවේ පින්තූරය]

සාවුල් සමඟ කතා කළේ මිය ගොස් සිටි සාමුවෙල්ද?