Skip to content

පටුනට යන්න

දෙවි මිනිසුන්ට සදාකාල ජීවිතය ලබා දෙන්නේ ඇයි?

දෙවි මිනිසුන්ට සදාකාල ජීවිතය ලබා දෙන්නේ ඇයි?

පාඨකයන් අසයි

දෙවි මිනිසුන්ට සදාකාල ජීවිතය ලබා දෙන්නේ ඇයි?

▪ අපට සදාකාල ජීවිතය ලබා දීමට දෙවි කැමැත්තෙන් සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 6:40) නමුත් දෙවි අපට එම වරප්‍රසාදය දෙන්නේ ඇයි? ඊට හේතුව ඔහු යුක්තිසහගතව ක්‍රියා කරන දෙවි කෙනෙක් වීමද?

දෙවිගේ යුක්තියට අනුව නම් අප සදාකාල ජීවනය ලබන්න සුදුසු නැහැ. ඊට හේතුව බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.” (දේශනාකාරයා 7:20) පළමු මිනිසා වූ ආදම්ට දෙවි අනතුරු ඇඟවූයේ ඔහු තමාට අකීකරු වුණොත් එදාම මිය යන බවයි. (උත්පත්ති 2:17) පසු කාලයේදී බයිබල් ලේඛකයෙකු වූ පාවුල් ඒ ගැන මෙසේ ලිව්වා. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.” (රෝම 6:23) ඒ අනුව ආදම්ගෙන් පැවත එන සියලුදෙනාටම මරණය උරුම වීම යුක්තිසහගතයි. එසේනම් දෙවි මිනිසුන්ට සදාකාල ජීවිතය ලබාගැනීමට අවස්ථාවක් දෙන්නේ ඇයි?

ඇත්තෙන්ම සදාකාල ජීවිතය දෙවි අපට ‘නොමිලේ ලබා දෙන දීමනාවක්.’ ඒ තුළින් දෙවි මොන තරම් ප්‍රේමණීය හා කරුණාවන්ත දෙවි කෙනෙක්ද කියා පැහැදිලි වෙනවා. ඔහු අපට සදාකාල ජීවිතය ලබා දීමට කර ඇති දේ බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති. නමුත් දෙවිගේ මහත් කරුණාවෙන් ඔවුන්ව ධර්මිෂ්ඨ අය ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එය දෙවි නොමිලේ ලබා දෙන දීමනාවකි. එය ලබාගත හැකි වන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙනි. අපගේ පව්කාර ස්වභාවයෙන් අපව නිදහස් කිරීමට ඔහුගේ ජීවිතය වන්දියක් ලෙස ගෙවන ලදි.”—රෝම 3:23, 24.

අපි පව්කාරයන් නිසා අපි සියලුදෙනාටම මරණය හිමි විය යුතුයි. නමුත් දෙවි තමන්ට ප්‍රේම කරන අයට සදාකාල ජීවිතය ලබා දීමට තීරණය කර තිබෙනවා. එය අසාධාරණද? ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. ‘මේ දේවල් සලකා බලද්දී දෙවි අතින් යම් අසාධාරණයක් සිදු වී ඇති බව අප සිතිය යුතුද? නැත. එලෙස කිසිවිටකත් නොසිතන්න. දෙවි මෝසෙස්ට පැවසූ දෙයින් එය පැහැදිලි වේ. එනම්, මා යමෙකුට දයාව පෙන්වන්න කැමති නම් මම ඔහුට දයාව පෙන්වමි. මා යමෙකුට අනුකම්පාව පෙන්වන්න කැමති නම් මම ඔහුට අනුකම්පාව පෙන්වමි. එසේනම් දෙවිට විරුද්ධව සිතන්න ඔබ කවුද?’—රෝම 9:14-20.

උදාහරණයකට විනිශ්චයකරුවෙකු ලබා දෙන බරපතළ දඬුවමකට අපරාධකරුවෙක් යටත් වෙනවා කියා සිතන්න. එවැනි තත්වයකදී ඔහුට ලැබී තිබෙන දඬුවම ළිහිල් කරන්න හෝ ඔහුව නිදහස් කරන්න එම රටේ සිටින විනිශ්චයකරුවෙකුට හෝ ජනාධිපතිට හැකියි. ඔවුන් එවැනි තීරණයක් ගත්තා නම් ඊට හේතුව ඔවුන්ගේ කරුණාවන්තකමයි.

ඒ හා සමානව පව්කාරයන් වන අපට ලැබීමටම නියමිත දඬුවමින් අපව නිදහස් කරන්න දෙවිට හැකියි. ඔහු එසේ කරන්නේ ප්‍රේමය නිසයි. ඒ අනුව තමාට ප්‍රේම කරන හා තමාගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන සියලුදෙනාටම සදාකාල ජීවිතය ලබා දෙන්න දෙවිට පුළුවන්. දෙවි ක්‍රියා කරන ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

යෙහෝවා දෙවි තම එකම පුත්‍රයාට මිය යෑමට ඉඩහැරියා. එසේ කළේ අපට තිබෙන ප්‍රේමය නිසයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

තම පසුබිම කුමක් වුණත් කෙනෙක් යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා නම් හා ඔහුගේ කැමැත්ත කරනවා නම් දෙවි එවැනි කෙනෙකුව පිළිගන්නවා. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ අපට සදාකාල ජීවිතය ලැබෙන්නේ දෙවිගේ අතිමහත් ප්‍රේමයක් හා කරුණාව නිසා බවයි.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපට සදාකාල ජීවනය ලැබෙන්නේ දෙවිගේ අතිමහත් ප්‍රේමය සහ කරුණාව නිසයි