Skip to content

පටුනට යන්න

නිසි තැන දෙන්න

නිසි තැන දෙන්න

නිසි තැන දෙන්න

මුල් ලිපියේ සඳහන් කළ ටෝනි තමා මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව පිළිගත්තා නම් සමහරවිට ඔහු අදටත් ජීවත් වෙනවා ඇති. නමුත් ඔහු කොතරම් මත්පැන් පානය කළත් ඔහුගේ ශරීර සෞඛ්‍යයට එය තර්ජනයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. ඒ නිසා ඔහු සිතුවේ මත්පැන් පානය ඔහුගේ ජීවිතයට හානියක් නොවේ කියායි. නමුත් ඔහු සිතූ දෙය නිවැරදිද? නැහැ.

ටෝනි අධිකව මත්පැන් පානය කළ අවස්ථාවලදී එය ඔහුගේ මොළයට බලපෑවා. ඒ නිසා සාමාන්‍ය ආකාරයෙන් සිතා බලා තීරණ ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. ටෝනි මෙම කාරණය තේරුම්ගත්තාද නැද්ද කියා අපි හරියටම දන්නේ නැහැ. නමුත් ඔහු දිගටම මත්පැන් පානය කරන්න කරන්න ඔහුගේ සැබෑ තත්වය ඔහුට අවබෝධ කර දීමට මොළයට තිබූ හැකියාව අඩු වී ගියා.

අනික් අතට ටෝනිට මත්පැන් පානයෙන් මිදෙන්න නොහැකි වුණේ ඔහු මත්පැන් පානයට ආශා කළ නිසයි. මුලින් සඳහන් කළ ඇලන්ද තමන් අධික ලෙස මත්පැන් පානය කරනවා කියා පිළිගත්තේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔහු පැවසූ දෙය සලකා බලන්න. “මම මත්පැන්වලට ලොල් කෙනෙක් කියලා අනික් අයට පෙන්නන්න මම කැමති නැහැ. මම වැඩියෙන් බිව්වම ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා අඟවන්න උත්සාහ කළා. මට ඕනේ වුණේ මේ විදිහට දිගටම කරගෙන යන්නයි.” ටෝනි සහ ඇලන් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කළත් ඔවුන් දෙදෙනා සිතුවේ එය සාමාන්‍ය දෙයක් කියායි. එමනිසා මේ තත්වයෙන් මිදෙන්න ඔවුන් දෙදෙනාම පියවර ගත යුතු වුණා. ඒ පියවර කුමක්ද?

ගත යුතු පියවර

පමණ ඉක්මවා මත්පැන් පානයට ඇබ්බැහි වූ බොහෝදෙනෙක් ඉන් මිදීමට යේසුස් දුන් මේ උපදෙසට එකඟව කටයුතු කර තිබෙනවා. “ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න. මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවෙහි හෙළනවාට වඩා ඔබේ ශරීරයේ එක අවයවයක් අහිමි වීම වඩාත් හොඳයි.”—මතෙව් 5:29.

යේසුස් ඉන් අදහස් කළේ අපි අපේ ශරීරයට දුක් දිය යුතු බව නොවෙයි. ඔහු උපමාලංකාර ලෙස පැවසුවේ කොතරම් අමාරු වුණත් දෙවි සමඟ තිබෙන අපේ බැඳීමට හානි කරන ඕනෑම දෙයක් අපි අපේ ජීවිතයෙන් ඉවත් කළ යුතු බවයි. යේසුස් දුන් ඒ උපදෙසට එකඟව අපි ක්‍රියා කළොත් ප්‍රමාණය ඉක්මවා මත්පැන් බීමට ඇති වන සිතුවිලි සහ ඊට මඟ පාදන තත්වයන් මඟ හරවාගත හැකියි. ඔබ ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කරන බව අන් අය ඔබට පැවසුවොත් ඉක්මනින්ම ඉන් මිදීමට පියවර ගන්න. * ඔබට මත්පැන් පාලනය කළ නොහැකි නම් එය සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතයෙන් කපාහරින්න. සමහරවිට එය ශරීරයේ යම් අවයවයක් ඉවත් කරනවා හා සමාන වේදනාකාරී දෙයක් විය හැකියි. නමුත් ජීවිතය නාස්ති කරගෙන වේදනා විඳිනවාට එසේ කිරීම වටින්නේ නැද්ද!

ඔබ මත්පැන්වලට ඇබ්බැහි වී නැතත් සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන අවස්ථාවලදී වැඩිපුර පානය කරනවාද? එසේනම් ඉන් මිදී මත්පැන්වලට නිසි තැන දීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක් සලකා බලමු.

කළ හැකි දේවල් කිහිපයක්

1. යාච්ඤා කරන්න. දෙවිට ප්‍රසන්න අයුරින් ජීවත් වීමට කැමති අයට බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:6, 7.

ඔබ පමණ ඉක්මවා මත්පැන් පානය කරනවා නම් ඒ බව අවංකව පිළිගන්න. ඒ ගැන දෙවිට යාච්ඤා කර ඉන් මිදෙන්න පියවර ගන්නා විට දෙවි ඔබට උපකාර කරනවා. එවිට ඔබට මහත් සහනයක් ලැබෙන අතර බරපතළ ප්‍රශ්න ගැටලු මඟ හරවාගැනීමටත් හැකියි. බයිබලයේ සඳහන් වෙන්නේ “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ” කියායි. (හිතෝපදේශ 28:13) යේසුස්ද අපට උනන්දු කළේ ‘වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්නා’ ලෙස යාච්ඤා කරන්න කියායි.—මතෙව් 6:13.

2. දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ලබාගන්න. “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:12) කලින් මත්පැන්වලට ඇබ්බැහි වී සිටි බොහෝදෙනෙකුට දිනපතා බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් ඉමහත් ප්‍රයෝජන ලැබී තිබෙනවා. බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන අය ගැන බයිබලයේම මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.’—ගීතාවලිය 1:1-3.

කලින් සඳහන කළ ඇලන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කළ නිසා අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් මිදෙන්න ඔහුට හැකි වුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මම බයිබලය ඉගෙනගෙන ඒකේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත්තේ නැත්නම් මට කවදාවත් බීම නතර කරන්න ලැබෙන එකක් නැහැ. එහෙම නොවුණා නම් සමහරවිට මම මේ වෙනකොට ජීවතුන් අතර නැතුවත් ඇති.”

3. තමාව පාලනය කිරීමට ඉගෙනගන්න. පළමු ශතවර්ෂයේ සිටි සමහර අය මත්පැන්වලට අබ්බැහි වී සිටියා. නමුත් ඔවුන් “දෙවිගේ බලය ලබාගැනීමෙන්” ඉන් මිදුණු බව බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 6:9-11) එය සිදු වුණේ කෙසේද? බේබදුකම සහ මත්පැන් අනිසි ලෙස භාවිත වන උත්සවවලින් වැළකී සිටීම සඳහා ඔවුන්ට තමන්වම පාලනය කරගැනීමට සිදු වුණා. මේ හැකියාව ඔවුන්ට ලැබුණේ දෙවිගේ බලය නිසයි. කෙනෙකුට තමාව පාලනය කිරීමට හැකියාව ලැබෙන්නේ ඔහුට දෙවිගේ බලය ලැබුණොත් පමණයි. එමනිසා බයිබලයේ අපට මෙවැනි මඟ පෙන්වීමක් දී තිබෙනවා. ‘වයින්වලින් වෙරි නොවන්න. මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි. ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරින්න.’ (එෆීස 5:18; ගලාති 5:21-23) එමෙන්ම යේසුස්ද පැවසුවේ “ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත්” ඔහු අපට එය දෙන බවයි. එමනිසා “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි.”—ලූක් 11:9, 13.

ඔබ මත්පැන්වලට ඇබ්බැහි වී සිටිනවා කියා සිතමින් අධෛර්යයට පත් වෙන්න එපා. දෙවිට සේවය කරන්න කැමති අයට බයිබලය කියවීමෙන් හා ඔහුට නිරතුරුවම යාච්ඤා කිරීමෙන් තමාවම පාලනය කරගැනීමට හැකි වන බව මතක තබාගන්න. එමෙන්ම බයිබලයේ දී තිබෙන මේ පොරොන්දුවද සිතට ගන්න. “තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා දෙවිගෙන් සදාකාල ජීවනය නෙළාගනියි. එහෙයින් අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.”—ගලාති 6:8, 9.

4. හොඳ මිතුරන් තෝරාගන්න. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 13:20) ඒ නිසා ඔබ මත්පැන් පාලනය කිරීමට ගෙන ඇති තීරණය ගැන ඔබේ මිතුරන්ට පවසන්න. නමුත් ඔබ “අධික වයින් පානයෙන්ද ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද” ඉවත් වූ පසු ඔවුන් “ඒ ගැන පුදුම” වී ඔබට නින්දා කළ හැකියි. (1 පේතෘස් 4:3, 4) එසේවූවොත් එවැනි මිතුරන්ව ඇසුරු කරන එක නතර කරන්න.

5. නිශ්චිත සීමාවක් තබාගන්න. බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.” (රෝම 12:2) ඒ අනුව මේ සමාජයේ රැල්ලටවත් ඔබේ මිතුරන්ටවත් ඔබේ සීමාව තීරණය කිරීමට ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට බයිබලයේ තිබෙන උසස් ප්‍රමිතිවලට එසේ කිරීමට ඉඩහරින්න. එසේ කිරීමෙන් දෙවි සතුටු වන අයුරින් ජීවත් වීමට ඔබට හැකි වෙයි. නමුත් ඔබට ඔබේ සීමාව හඳුනාගත හැක්කේ කෙසේද?

මත්පැන් පානයෙන් පසු ඔබේ කල්පනා ශක්තිය දුර්වල වී නිවැරදි තීරණ ගැනීමට බැරි වුණොත් ඉන් අදහස් වෙන්නේ ඔබ ඔබේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. ඒ නිසා මත්පැන් ඔබේ කල්පනා ශක්තියට හානියක් නොකරන ස්ථානයක ඔබේ සීමාව තබාගන්න. ඒ සීමාව කිසිවිටකත් වෙනස් නොකරන්න.

6. එපා කියන්න ඉගෙනගන්න. යේසුස් මෙසේ පැවසුවා. “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.” (මතෙව් 5:37) ඒ අනුව ඔබේ මිතුරෙක් සීමාව ඉක්මවා මත්පැන් පානය කිරීමට ඔබට බල කළොත් ‘එපා’ කියා පවසන්න. නමුත් ඔහුගේ සිත නොරිදෙන ආකාරයෙන් එසේ කරන්න. බයිබලයේද අපට දිරිගන්වා තිබෙන්නේ ඔබේ “කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි” කියායි. ‘එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වෙයි.’—කොලොස්සි 4:6.

7. අන් අයගෙන් උපකාර ලබාගන්න. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට ඔබට උපකාර කළ හැකි අය කවුරුන්ද කියා හඳුනාගෙන ඔවුන්ගෙන් උපකාර ලබාගන්න. එහි ඇති වටිනාකම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.” (දේශනාකාරයා 4:9, 10; යාකොබ් 5:14, 16) අන් අයගේ උපකාර ලබාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මත්පැන් අනිසි භාවිතය හා බේබදුකම පිළිබඳ ජාතික ආයතනය මෙවැනි ප්‍රකාශයක් කළා. “මත්පැන්වලට ඇබ්බැහි වී සිටි කෙනෙකුට එය නතර කිරීම අපහසු කාර්යයක් විය හැකියි. නමුත් එය නතර කිරීමට ඔබ ගත් අධිෂ්ඨානයට එකඟව කටයුතු කිරීමට ඔබේ පවුලේ අයගෙන් සහ විශ්වාසවන්ත මිතුරන්ගෙන් උපකාර ඉල්ලන්න.”

8. ඔබේ අධිෂ්ඨානයට අනුව වැඩ කරන්න. බයිබලයේ දී තිබෙන මෙම මඟ පෙන්වීම හොඳින් සිතට ගන්න. “ඔබ තුළ ඇති වන බොරු තර්ක විතර්කවලින් ඔබවම රවටාගන්නා සවන් දෙන්නන් පමණක් නොවන්න. ඒ වෙනුවට දෙවිගේ වදන් පිළිපදින්නන් බවට පත් වන්න.” එමෙන්ම “කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව දෙවිගේ වදන් පිළිපදින්නෙක් වෙයි. ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක්ද අද්දකියි.”—යාකොබ් 1:22, 25.

බීමත්කමින් ගොඩ ඒම

සමහර අය නිතර දෙවේලේ මත්පැන් පානය කිරීම නිසා ඊට ඇබ්බැහි වී තිබෙනවා. මේ තත්වයෙන් ඔවුන්ව බේරාගැනීමට වෛද්‍ය ප්‍රතිකාරද අවශ්‍ය විය හැකියි. ඒ ගැන ඇලන් පැවසූ දේ සලකා බලන්න. “මම මත්පැන් බොන එක නතර කළාම මගේ ඇඟට ලොකු අමාරුවක් දැනුණා. ඒ වෙලාවේ මට තේරුණා මම වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ කියලා.”

මත්පැන්වලට ඇබ්බැහි වී සිටින බොහෝදෙනෙකුට ඉන් මිදීමට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. * මත්පැන් නතර කිරීම නිසා ඇති විය හැකි අතුරු විපාකවලින් පුද්ගලයෙකුව ආරක්ෂා කරගැනීමටත් මත්පැන් ගැනීමට තිබෙන ආශාව මැඩපවත්වා ගැනීමටත් කෙනෙකුව රෝහල් ගත කිරීමට පවා සිදු විය හැකියි. අප සියලුදෙනාටම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව යේසුස් පවා පිළිගත්තා. “වෛද්‍යවරයෙක් අවශ්‍ය වෙන්නේ රෝගීන්ටයි. නිරෝගී අයට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැහැ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—මාක් 2:17.

දෙවිගේ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ලබන්න

මත්පැන් භාවිතය ඇතුළුව සියලු කාරණා සම්බන්ධයෙන් බයිබලයේ තිබෙන උපදෙස් සියල්ලම ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවිගෙනුයි. එවැනි මඟ පෙන්වීම් දෙවි අපට දී තිබෙන්නේ අපි දැනුත් සදහටත් සතුටින් සිටිනවා දැකීමට ඔහු කැමති නිසයි. දෙවිගේ උපකාරයෙන් මත්පැන් පානය නතර කළ ඇලන් ඉන් වසර 24කට පසු මෙසේ පැවසුවා. “මට මත්පැන් අත්හැරලා මගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියලා දැනගත්තම මම හුඟක් සතුටු වුණා. ඒ වගේම යෙහෝවා දෙවි මාව තේරුම්ගන්නවා කියලත් මං ගැන සැලකිලිමත් කියලත් මට අවශ්‍ය උපකාරය ලබා දෙනවා කියලත් දැනගත්ත එක මට ලොකු ශක්තියක් වුණා. ඒක විස්තර කරන්න මට වචන නැහැ.” ඇලන් එසේ පැවසුවේ ඔහුගේ දෙනෙත්වල කඳුළු පුරවාගෙනයි.

ඔබ අධික ලෙස මත්පැන් පානය කිරීමට පටන්ගෙන තිබෙනවා නම් හෝ ඊට ඇබ්බැහි වීමට පටන්ගෙන තිබෙනවා නම් ඉන් මිදිය නොහැකියි කියා අධෛර්යයට පත් වන්න එපා. ඔබ සිටින තත්වයටම බොහෝදෙනෙක් මුහුණ දී තිබෙනවා. නමුත් ඔවුන් එම පුරුද්ද අතහැර තිබෙන අතර සමහර අය එය තමන්ගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. එසේ කිරීම ගැන ඔවුන් දුක් වෙන්නේ නැහැ. ඔබත් එසේ කළොත් ඔබටත් සතුටු විය හැකියි.

ඔබ මත්පැන් පාලනයකින් යුතුව පානය කිරීමට තීරණය කළත් එය සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කළත් දෙවි ඔබට දී තිබෙන මෙම ප්‍රේමණීය උපදෙස මතක තබාගන්න. “ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.”—යෙසායා 48:18.

[පාදසටහන්වල]

^ 7 ඡේ. අටවන පිටුවේ ඇති  “ඔබ මත්පැන්වලට වහල් වෙලාද?” යන කොටුව බලන්න.

^ 24 ඡේ. බීමට ඇබ්බැහි වී සිටින අයට උපකාර කිරීමට විවිධ පුනරුත්ථාපන කඳවුරු, රෝහල් සහ වෙනත් ආයතන තිබෙනවා. ඒ කෙසේවෙතත් ඔබ තෝරාගත යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමයද කියා මුරටැඹ සඟරාව නිර්දේශ කරන්නේ නැහැ. එක් එක් පුද්ගලයා බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන එය පෞද්ගලිකව තීරණය කළ යුතුයි.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 ඔබ මත්පැන්වලට වහල් වෙලාද?

ඔබගෙන්ම මේ ප්‍රශ්න අසාගන්න.

• මම දැන් ඉස්සරට වඩා බොනවාද?

• ඉස්සරට වඩා මම දැන් බොන වාර ගණන වැඩිද?

• මම දැන් බොන්නේ සැර වැඩි බීමද?

• මානසික පීඩනය හා ප්‍රශ්න මඟහරවා ගන්න මම බොනවාද?

• පවුලේ කෙනෙක් හෝ මිතුරෙක් මගේ බීම ගැන මට අවවාද කර තිබෙනවාද?

• මගේ බීමත්කම නිසා නිවසේ, රැකියා ස්ථානයේ හෝ මඟ තොටේදී මම යම් ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවාද?

• බොන්නේ නැතුව මට සතියක් ඉන්න අමාරුද?

• අන් අය නොබී සිටින විට මම අපහසුතාවට පත් වෙනවාද?

• බොන ප්‍රමාණය මම අන් අයගෙන් සඟවනවාද?

ඉහත සඳහන් ප්‍රශ්න අතරින් එකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට ඔබ ඔව් කියා පිළිතුරු දෙනවා නම් මත්පැන් පාලනය කිරීමට දැන්ම පියවර ගන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඥානවන්ත වන්න

මත්පැන් පානයට පෙර මෙම ප්‍රශ්න සලකා බලන්න.

මම මත්පැන් පානය කළ යුතුද? නැත්නම් සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද?

ඔබට මත්පැන් පාලනය කරන්න බැරි නම් එය සම්පූර්ණයෙන්ම නතර කරන්න.

මම කොපමණ මත්පැන් ප්‍රමාණයක් පානය කළ යුතුද?

මත්පැන් නිසා ඔබේ කල්පනා ශක්තිය දුර්වල වීමට පෙර ඔබේ සීමාව තීරණය කරන්න.

මම මත්පැන් පානයෙන් වැළකී සිටිය යුතු අවස්ථා මොනවාද?

රිය පැදවීමට පෙර, ආගමික කටයුතුවල හවුල් වීමට පෙර, ගැබිනි කාලය තුළ සහ වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අතරතුර මත්පැන් පානය කිරීමෙන් වළකින්න.

මම මත්පැන් පානය නොකළ යුතු අවස්ථා මොනවාද?

රහසිගතව හෝ මත්පැන් පානයට අකමැති අය ඉදිරියේ මත්පැන් පානය කිරීමෙන් වළකින්න.

මම මත්පැන් පානය කළ යුත්තේ සහ නොකළ යුත්තේ කා සමඟද?

ආදර්ශවත් මිතුරන් සහ පවුලේ අය සමඟ මත්පැන් පානය කිරීම වරදක් නොවෙයි. නමුත් මත්පැන්වලට ලොල් වූ අය සමඟ හවුල් නොවන්න.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බයිබලය නිසා මතින් මිදුණු මිනිසෙක්

තායිලන්තයේ වෙසෙන සූපෝට් මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක්. මුලදී ඔහු මත්පැන් පානය කළේ සවසට පමණයි. නමුත් කාලයත් සමඟම ඔහු උදෑසනත් දහවල් කාලයේත් මත්පැන් පානය කළා. ඔහුට ඕනෑ වුණේ සෑමවිටම වෙරි මතින් සිටින්නයි. කොහොමවුණත් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර යෙහෝවා දෙවි බේබදුකම හෙළාදකින බව ඔහු දැනගත්තා. ඒ නිසා ඔහු මත්පැන් පානය නතර කළා. නමුත් වැඩි කල් යෑමට පෙර ඔහු නැවතත් ඒ නරක පුරුද්දට වැටුණා. ඒ නිසා ඔහුගේ මුළු පවුලම අසරණ තත්වයකට පත් වුණා.

සූපෝට් යෙහෝවා දෙවිට ප්‍රේම කළ නිසා දෙවිව සතුටු කරන ආකාරයෙන් ජීවත් වෙන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහුට ඇත්තටම ආදරය කළ අය මත්පැන්වලින් මිදීමට ඔහුට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දුන්නා. ඊට අමතරව සූපෝට් සමඟ කාලය ගත කරන්න කියා ඒ මිතුරන් පවුලේ අයටත් පැවසුවා. මත්පැන්වලට ඇබ්බැහි වී සිටීම කොතරම් භයානකද කියා කාලයත් සමඟ සූපෝට් තේරුම්ගත්තා. ඒ සඳහා ඔහුට උපකාරවත් වුණේ ‘බේබද්දන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත’ බයිබලයේ සඳහන් වන පාඨයයි. (1 කොරින්ති 6:10) ඒ නිසා මත්පැන් පානය නතර කිරීමට ඔහු දැඩි අධිෂ්ඨානයක් ගත්තා.

මේ වතාවේදී නම් මත්පැන්වලට සම්පූර්ණයෙන්ම සමු දීමට ඔහු තීරණය කළා. බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත් නිසාත් දෙවිගේ උපකාරය ඔහුට ලැබුණ නිසාත් ඔහුගේ පවුලේ අයගෙන් සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු සහයෝගය නිසාත් ඔහුට එම නරක පුරුද්දෙන් මිදෙන්න හැකි වුණා. පසු කාලයේදී ඔහු යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වූ වීම ගැන ඔහුගේ පවුලේ අය මහත් සේ ප්‍රීති වුණා. දැන් ඔහු යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන තිබෙන අතර අන් අයටත් යෙහෝවා දෙවි ගැන කියා දෙනවා.