Skip to content

පටුනට යන්න

පුරාණයේ සිටි කානානිවරුන්ව විනාශ කරන්න කියා දෙවි පැවසුවේ ඇයි?

පුරාණයේ සිටි කානානිවරුන්ව විනාශ කරන්න කියා දෙවි පැවසුවේ ඇයි?

පුරාණයේ සිටි කානානිවරුන්ව විනාශ කරන්න කියා දෙවි පැවසුවේ ඇයි?

“යෙහෝවා දෙවි අණ කළ ආකාරයටම හිත්තීවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන්, යෙබූසිවරුන් යන ජාතීන්ව ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.”—ද්විතීය කතාව 20:17.

“මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:18.

ඉහත සඳහන් බයිබල් පද දෙක කියවන විට ඒවා එකිනෙකට පරස්පර විරෝධීයි කියා ඔබ සිතනවා ඇති. ඊට හේතුව කානානිවරුන්ව විනාශ කරන්න කියා පවසන දෙවිම සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න කියාත් පැවසීමයි. *යෙසායා 2:4; 2 කොරින්ති 13:11.

ඔබට ඒ ගැන දෙවිගෙන් විමසන්න අවස්ථාව ලැබුණොත් ඔබ ඔහුගෙන් අසන්නේ මොන වගේ ප්‍රශ්නද? කානානිවරුන්ව විනාශ කිරීම සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න පහක් සහ ඊට බයිබලයේ සපයා ඇති පිළිතුරු මොනවාද කියා අපි මේ ලිපියෙන් සලකා බලනවා.

1. කානානිවරුන්ව දේශයෙන් ඉවත් කරන්න කියා දෙවි පැවසුවේ ඇයි? ඇත්තටම කානානිවරුන් වාසය කළේ ඔවුන්ට උරුම වූ දේශයක නොවෙයි. ඊට හේතුව එම දේශය ආබ්‍රහම්ගෙන් පැවත එන අයට උරුම කර දෙන බව බොහෝ කාලයකට ඉහතදී දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වී තිබීමයි. (උත්පත්ති 15:18) නමුත් ඊශ්‍රායෙල්වරුන් කානාන් දේශයට පැමිණීමට පෙර සිටම කානානිවරුන් එම දේශයේ වාසය කළ නිසා ඔවුන්ට එය උරුම විය යුතුයි කියා ඔබ සිතන්න පුළුවන්. ඒත් කානානිවරුන්ව දේශයෙන් ඉවත් කර ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල් ජාතියට එය උරුම කර දීමෙන් දෙවි ආබ්‍රහම්ට වූ තම පොරොන්දුව ඉටු කළා. එමෙන්ම යෙහෝවා දෙවි විශ්වයේ පාලකයා නිසා කුමන ජාතිය කුමන දේශයක ජීවත් විය යුතුද කියා තීරණය කිරීමට ඔහුට අයිතිය තිබෙනවා.—ක්‍රියා 17:26; 1 කොරින්ති 10:26.

2. ඊශ්‍රායෙල්වරුන් සමඟ හවුලේ ජීවත් වීමට දෙවි ඔවුන්ට ඉඩ නොදුන්නේ ඇයි? කානානිවරුන් සම්බන්ධයෙන් දෙවි මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ දේශයේ ඔබ සමඟ ජීවත් වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි. මන්ද එසේ කළොත් මට විරුද්ධව පව් කිරීමට ඔවුහු ඔබව පොලඹවනු ඇත. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් එය ඔබේ විනාශයට මඟ පාදනු ඇත.” (නික්මයාම 23:33) ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා හැටියට කටයුතු කළ මෝසෙස්ද පැවසුවේ, “යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසා” කියායි. (ද්විතීය කතාව 9:5) ඇත්තටම කානානිවරුන් දුෂ්ටයි කියා පවසන්නේ ඇයි?

අනාචාරය, බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සහ දරුවන්ව පූජා කිරීම ඔවුන් අතර සුලබව සිදු වුණා. ඒ සම්බන්ධයෙන් එක් ඉතිහාසඥයෙක් වන හෙන්රි එච්. හැලී පැවසූ දෙය සලකා බලන්න. “බාල් දෙවිට පූජා කළ දරුවන්ගේ ඇටකටු දැමූ මැටි බඳුන් රාශියක් මේ ප්‍රදේශයේ කළ කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. මේ පළාත අලුත උපන් දරුවන්ව වළ දැමූ සොහොන් පිටියක් කියා පවසන්න පුළුවන්. ඔවුන්ගේ නමස්කාර පිළිවෙත්වලට දෙවිවරුන් ඉදිරියේ අනාචාරයේ හැසිරීමත් තම කුලුඳුල් දරුවන්ව ඒ දෙවිවරුන් වෙනුවෙන් පූජා කිරීමත් ඇතුළත් වුණා. ඇත්තටම කානානිවරුන් ගත කර තිබෙන්නේ සොදොම් සහ ගොමෝරාවේ සිටි දුෂ්ට මිනිසුන් ගත කළා හා සමාන නරක ජීවිතයක්. ඒ නිසා දෙවි ඔවුන්ව මීට කලින්ම විනාශ කර නොදැමීම ගැන පුරාවිද්‍යාඥයන් පුදුම වෙනවා.”

3. ඒ කාලයේ සිටි දුෂ්ට මිනිසුන් අතරින් කානානිවරුන්ව පමණක් විනාශ කළේ ඇයි? අතීතයේදී යෙහෝවා දෙවි දුෂ්ට ජාතීන්ව විනාශ කර දැමූ අවස්ථා කිහිපයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න. නෝවාගේ කාලයේදී “පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී” තිබුණා. (උත්පත්ති 6:11) ඒ නිසා ජලගැල්මකින් ඒ දුෂ්ට සමාජය දෙවි විනාශ කර දැමුවා. නමුත් නෝවාව සහ ඔහුගේ පවුලේ අයව දෙවි ගලවාගත්තා. (2 පේතෘස් 2:5) පසු කාලයකදී සොදොම් සහ ගොමෝරාවේ සිටි දුෂ්ට මිනිසුන්ට සිදු වූ දෙයද සලකා බලන්න. ඔවුන්ගේ ‘පාප ඉතා බරපතළව’ තිබූ නිසා දෙවි ඒ නගර දෙකත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. (උත්පත්ති 18:20; 2 පේතෘස් 2:6) එමෙන්ම “ලේ පිපාසිත නගරය” ලෙස හැඳින්වූ නිනිවයේ වැසියන්ද දෙවිගෙන් දඬුවම් ලැබීමට සුදුසු තත්වයක සිටියා. ඒ වුණත් එහි වැසියන් තම වැරදි ගැන පසුතැවිලි වී ඒවා අත්හැරිය විට දෙවි ඔවුන්ට සමාව දුන්නා. (නාහුම් 3:1; යෝනා 1:1, 2; 3:2, 5-10) කොහොමවුණත් යෙහෝවා දෙවි කානානිවරුන්ව විනාශ කරන්න කියා පැවසුවේ යම් විශේෂ හේතුවක් නිසයි. එනම් ගැලවුම්කරු පැමිණීමට නියමිතව තිබූ ඊශ්‍රායෙල් ජාතිය ආරක්ෂා කරගැනීමටයි.—ගීතාවලිය 132:11, 12.

4. දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා කානානිවරුන්ව විනාශ කිරීම ඔහුගේ ප්‍රේමයට පටහැනි දෙයක් නොවේද? දෙවි ප්‍රේමයේ උල්පත වන නිසා කානානිවරුන්ව විනාශ කර දැමීම ඔහුගේ ප්‍රේමයට පටහැනි දෙයක් කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. (1 යොහන් 4:8) නමුත් මේ ගැන වඩා ගැඹුරින් කල්පනා කර බැලීමෙන් දෙවි ගත් එම ක්‍රියාමාර්ගය ඔහුගේ ප්‍රේමයට පටහැනි නොවන බව ඔබට පැහැදිලි වෙයි.

කානානිවරුන් ඉතා නරක ජීවිතයක් ගත කරන බව දෙවි දුටුවත් දෙවි ඔවුන්ව ඒ අවස්ථාවේදීම විනාශ කර දැමුවේ නැහැ. ඔහු වසර 400ක් පුරා ඔවුන්ගේ පාපතර ක්‍රියා ඉවසාගෙන සිටියා. ඒ කාලය තුළ ඔවුන්ගේ පාපතර ක්‍රියා ‘පහත්ම අඩියට බැස්සා.’—උත්පත්ති 15:16.

ඒ නිසා ඔවුන්ට දඬුවම් කිරීමට දෙවි පියවර ගත්තා. ඒ වුණත් දෙවි සෑම කානානිවරයෙකුවම විනාශ කළේ නැහැ. ඊට හේතුව ඇතැම් මිනිසුන් තම පව්කාර ජීවිත රටාව වෙනස් කර යහමඟට ඒමට කැමැත්තෙන් සිටීමයි. එවැනි අය අතරට රාහබ් නම් කාන්තාව සහ ගිබියොන්වරුන් ඇතුළත් වෙනවා.—යොෂුවා 9:3-11, 16-27; හෙබ්‍රෙව් 11:31.

5. ප්‍රේමණීය දෙවි මිනිසුන්ව විනාශ කර දැමුවේ ඇයි? දුෂ්ට කානානිවරුන්ව විනාශ කර දමන්න දෙවි පෙලඹුණේ ඔහුගේ ප්‍රේමය නිසයි. එය තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. මාංස පේශි කුණු වීමේ රෝගය යම් කෙනෙකුට වැලඳුණොත් බොහෝවිට වෛද්‍යවරුන්ට ගැනීමට තිබෙන්නේ එක තීරණයයි. එය නම් කුණු වී තිබෙන මාංස පේශි කපා ඉවත් කිරීමයි. සමහරවිට කෙනෙකුගේ ශරීරයේ අවයවයක් පවා කපා ඉවත් කිරීමට සිදු විය හැකියි. මෙවැනි දෙයක් කිරීමට වෛද්‍යවරුන් අකමැති වුණත් රෝගය ශරීරය පුරා පැතිරීම වළක්වාගැනීම සඳහා වෛද්‍යවරුන්ට එම තීරණය ගැනීමට සිදු වෙනවා.

ඒ හා සමානව කානානිවරුන්ව විනාශ කර දැමීම දෙවි සතුටින් කළ දෙයක් නොවෙයි. ඊට හේතුව ‘දුෂ්ටයෙකු මිය යනවාට මම කිසිසේත් කැමති නැත’ කියා දෙවි පවසා තිබීමයි. (එසකියෙල් 33:11) එසේනම් දෙවි එවැනි දෙයක් කළේ ඇයි? මිනිසුන්ට ගැලවීමේ මාර්ගය විවෘත කර දෙන ගැලවුම්කරු එනම් යේසුස් පැමිණීමට නියමිතව තිබුණේ ඊශ්‍රායෙල්වරුන්ගෙනුයි. (යොහන් 3:16) ඒ නිසා ඔවුන්ව කානානිවරුන්ගේ පව්කාර ක්‍රියාවලින් ආරක්ෂා කරගැනීමට නම් කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතු වුණා. ඒත් දෙවි ඒ ක්‍රියාමාර්ගය ගත්තේ සතුටින් නොවෙයි. නමුත් දෙවි ප්‍රේමණීය කෙනෙකු නිසා ඔහු කෙරෙහි විශ්වාසය තබන අයගේ යහපත වෙනුවෙන් ඔහු ඒ දේ කළා.

අපට ගත හැකි පාඩම්

කානානිවරුන්ව විනාශ කිරීම සම්බන්ධයෙන් බයිබලයේ ඇති වාර්තාව අපට ප්‍රයෝජනවත්ද? ඔව්. ඊට හේතුව බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.” (රෝම 15:4) නමුත් කානානිවරුන්ව විනාශ කිරීම ගැන සඳහන්ව ඇති වාර්තාව “බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත්” වන්නේ කෙසේද?

මේ වාර්තාවෙන් අපට බොහෝ තොරතුරු ඉගෙනගත හැකියි. කානානිවරුන් අතර සිටි රාහබ් සහ ගිබියොන්වරුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා දෙවි ඔවුන්ගේ ජීවිත විනාශ කළේ නැහැ. ඉන් අපට පැහැදිලි වන්නේ පුද්ගලයෙකු කුමන වාතාවරණයක හැදී වැඩුණත් දෙවි කෙරෙහි ප්‍රේමයක් ඔහු තුළ තිබෙනවා නම් තම වැරදි අත්හැර නිවැරදි මාර්ගයට ඒමට ඔහුට හැකි බවයි.—ක්‍රියා 17:30.

තවදුරටත් දෙවි අනාගතයේදී කිරීමට යන දෙය තේරුම්ගැනීමටත් මෙම වාර්තාව අපට උපකාර කරනවා. ඔහු කිසිදාක දුෂ්ටකම සදහටම පැවතීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු නුදුරු අනාගතයේදී සියලුම දුෂ්ට මිනිසුන්ව විනාශ කර දමා ධර්මිෂ්ඨ මිනිසුන්ට මේ පොළොවේ සාමයෙන් ජීවත් වීමට අවස්ථාව උදා කරනවා. (2 පේතෘස් 2:9; එළිදරව් 21:3, 4) ධර්මිෂ්ඨ මිනිසුන්ට අනාගතයේදී බලාපොරොත්තු විය හැකි දේ බයිබලයේ වාර්තා වී ඇත්තේ මෙසේයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න. එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.”—ගීතාවලිය 37:34.

[පාදසටහන]

^ 4 ඡේ. මේ ලිපියේ “කානානිවරුන්” කියා සඳහන් කරන විට ඉන් අදහස් කරන්නේ දෙවි විනාශ කරන්න කියා පැවසූ සියලුම ජාතීන්වයි.

[14වන පිටුවේ කොටුව]

බයිබලය යුද්ධවලට අනුබල දෙනවාද?

කානානිවරුන්ව විනාශ කරන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කිරීම, අද දින යුධ වැදීමට පදනමක්ද? නැහැ. ඊට හේතු තුනක් සලකා බලන්න.

පොළොවේ සිටින යම් ජාතියකට දෙවි විශේෂ අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. ගැලවුම්කරු වූ යේසුස්ව ඊශ්‍රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළා. එමනිසා දුෂ්ට ජාතීන්ට දඬුවම් කිරීමට දෙවි ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව යොදාගත්තේ නැහැ. (මතෙව් 21:42, 43) ඉන් පැහැදිලි වන්නේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අනික් ජාතීන්ට වඩා විශේෂ අනුග්‍රහයක් නොදැක්වූ බවයි. (ලෙවී කතාව 18:24-28) එදා සිට කිසිම ජාතියකට දෙවි වෙනුවෙන් සටන් කිරීමට ඔහු අවස්ථාව දුන්නේ නැහැ.

තමන්ට නමස්කාර කරන අය යම් නිශ්චිත ප්‍රදේශයක ජීවත් විය යුතුයි කියා දෙවි පවසා නැහැ. අද දින සියලු ජාතීන්ට සහ ගෝත්‍රවලට අයත් ජනයා දෙවිට නමස්කාර කරන නිසා ඔවුන් පොළොව පුරා විසිරී සිටිනවා.—එළිදරව් 7:9; ක්‍රියා 10:34, 35.

තම අනුගාමිකයන් යුද්ධවලට හවුල් වීම යේසුස් අනුමත කළේ නැහැ. යෙරුසලම සතුරු ජාතීන්ගේ ප්‍රහාරයට ලක් වන බව යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. නමුත් සතුරන්ට විරුද්ධව යුධ වදින්න කියනවා වෙනුවට යේසුස් පැවසුවේ යෙරුසලම අතහැර පලා යන්න කියායි. ඔවුන්ද ඊට කීකරු වුණා. (මතෙව් 24:15, 16) ඒ හා සමානව අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් දුෂ්ටකම්වලට නිමාව ගෙනෙන දේවරාජ්‍යය කෙරෙහි බලා සිටීමයි.—දානියෙල් 2:44; යොහන් 18:36.

[15වන පිටුවේ පින්තූරය]

නරක ජීවිතයක් ගත කළත් ඕනෑම කෙනෙකුට හරි මඟට එන්න හැකියාව තිබෙන බව රාහබ්ගේ ආදර්ශයෙන් පැහැදිලි වෙනවා