Skip to content

පටුනට යන්න

මත්පැන් පානය දෙවි සලකන්නේ කෙසේද?

මත්පැන් පානය දෙවි සලකන්නේ කෙසේද?

මත්පැන් පානය දෙවි සලකන්නේ කෙසේද?

අපව නිර්මාණය කළ දෙවිට අවශ්‍ය වන්නේ අප සතුටින් ජීවත් වෙනවා දැකීමටයි. එමනිසා මනා පාලනයකින් යුතුව මත්පැන් පානය කිරීම දෙවි තහනම් කර නැහැ. * බයිබලයේද සඳහන් වෙන්නේ “සිත් සතුටු කරන වයින්ද මුහුණු පැහැපත් කරන තෛලයද පෝෂණය ලබා දෙන ආහාරද” දෙවි සපයන බවයි. (ගීතාවලිය 104:15) එමෙන්ම යේසුස්ද විවාහ සාදයකදී ආශ්චර්යවත් ආකාරයකින් වතුර “හොඳ වයින්” බවට පත් කළා.—යොහන් 2:3-10.

අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවි නිසා මත්පැන් අපගේ ශරීරයට සහ මනසට බලපාන ආකාරය ඔහු දන්නවා. අපගේ “ප්‍රයෝජනය සඳහා” බයිබලය තුළින් ඔහු අපට උපදෙස් දී තිබෙන්නේ ඒ නිසයි. (යෙසායා 48:17) එවැනි උපදෙස් කිහිපයක් සලකා බලන්න.

“වයින්වලින් වෙරි නොවන්න. මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.” (එෆීස 5:18) එමෙන්ම ‘බේබද්දන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති’ බවද බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 6:9-11) එපමණක්ද නොව “බේබදුකම, ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල්ද” දෙවි දැඩි ලෙස හෙළාදකිනවා.—ගලාති 5:19-21.

මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමෙන් සිදු විය හැකි හානි කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

ප්‍රතිවිපාක

මත්පැන්වල අඩංගු වන යම් රසායනික ද්‍රව්‍ය අපේ මනස සහ ශරීරය ක්‍රියා කරන ආකාරයට අහිතකර ලෙස බලපානවා. එමනිසා ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් කෙනෙකුට පහත සඳහන් ගැටලුවලට මුහුණ දීමට සිදු වෙයි.

“සිතුවිලි විකෘති” වන නිසා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම. (හිතෝපදේශ 23:33) මුල් ලිපියේ අදහස් දැක්වූ ඇලන් මෙසේ පැවසුවා. “මත්පැන්වලින් හානි සිදු වෙන්නේ අපේ ශරීරයට විතරක් නෙවෙයි. ඒකෙන් අපේ සිහිකල්පනාවටත් හානි වෙනවා. ඒ නිසා වෙරි වුණාම අපි අනික් අයට මොන තරම් කරදර කරනවාද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ.”

මානසික ශක්තිය හීණ වීම. බයිබලයේ සඳහන් වෙන්නේ මත්පැන් නිසා අපේ “සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි” කියායි. (හොෂෙයා 4:11) එවැනි දෙයක් සිදු වන්නේ කෙසේද? අධික මත්පැන් පානය නිසා හරි දේ සහ වැරදි දේ අතර තිබෙන වෙනස හඳුනාගැනීමට තිබෙන හැකියාව දුර්වල වෙනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේදී නොකරන දේවල් පවා වෙරි වූ විට කෙනෙක් අතින් සිදු විය හැකියි. එවිට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයද නැති වී යනවා.

ජෝන්ගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඔහුගේ භාර්යාව සමඟ ඇති වූ ප්‍රශ්නයක් නිසා ඔහු තැබෑරුමට ගියා. එහිදී ඔහු මත්පැන් පානය කරමින් සිටින විට කාන්තාවක් ඔහු අසලට පැමිණියා. ටිකෙන් ටික ඔහු කොතරම් මත්පැන් පානය කළාද කියනවා නම් අවසානයේදී ඔහු ඒ කාන්තාව සමඟ අනාචාරයේ යෙදීමට පෙලඹුණා. පසුව තමා අතින් සිදු වූ වරද ගැන ජෝන් දැඩි ලෙස ශෝක වෙමින් පැවසුවේ තමා පියවි සිහියෙන් සිටියා නම් එවැනි දෙයක් කිරීම ගැන සිතන්නේවත් නැහැ කියායි.

ආරවුල් ඇති වීම. සීමාව ඉක්මවා මත්පැන් පානය කරන අයට සිදු වන දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ගැටලු ඇත්තේ කාටද? අඬදබර කරන්නේ කවුද? නිකරුණේ තුවාල ලබන්නේ කවුද? මේ සියල්ල සිදු වන්නේ බොහෝ වයින් බොන අයටය.” (හිතෝපදේශ 23:29, 30) අධික ලෙස මත් වී සිටින කෙනෙකුට දැනෙන්නේ තමා ‘මුහුදු පත්ලටම ගිලී යන කෙනෙකු මෙන් සහ කුඹගසක් උඩ සිටින කෙනෙකු’ ලෙසයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 23:34) එවැනි තත්වයක සිටින කෙනෙකුට තදින් පහර දුන්නත් ඔහුට ඒ කිසිවක් දැනෙන්නේ නැහැ කියාත් එහි සඳහන් වෙනවා.—හිතෝපදේශ 23:35.

ලෙඩ රෝග ඇති වීම. මත්පැන් “සර්පයෙකු මෙන් දෂ්ට කරයි. පොළඟෙකු මෙන් විෂ පිට කරයි” කියාද බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 23:32) එම වදන් සත්‍යයක් බව අද වෛද්‍ය විද්‍යාවෙන්ද ඔප්පු වී හමාරයි. මත්පැන්වල අඩංගු වන රසායනික ද්‍රව්‍ය නිසා විවිධ පිළිකා ඇති වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම මත්පැන් සීමාව ඉක්මවා පානය කිරීම නිසා හෙපටයිටිස්, සිරෝසිස්, අග්න්‍යාශයේ රෝග, දියවැඩියාව, ආඝාතය, හෘදයාබාධ වැනි රෝගද ඇති විය හැකියි. එමෙන්ම නූපන් දරුවන්ටත් එය බලපාන නිසා මන්දබුද්ධික දරුවන් ඉපදීමටද ඉඩ තිබෙනවා. (fetal alcohol syndrome) එමෙන්ම ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් කෙනෙක් සිහිසුන් තත්වයකට පත් විය හැකි නිසා ඔහු මරණයට පවා ගොදුරු විය හැකියි. නමුත් මත්පැන් පානය කිරීම නිසා සිදු වන ලොකුම හානිය ගැන වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ නැහැ. එසේනම් ඒ හානිය කුමක්ද?

ලොකුම හානිය. පුද්ගලයෙක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් සිදු වන ලොකුම හානිය වන්නේ ඔහුට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය නැති වී යෑමයි. ඒ ගැන බයිබලයේ සඳහන් වන දේ සලකා බලන්න. “හිමිදිරි පාන්දරින්ම නැඟිට මත්පැන් සොයා ගොස් රෑ යාමය දක්වාම බොමින් වෙරිමත් වී සිටින අයට අත් වන්නේ දුක පමණි.” එවැනි අයට දුක අත් වෙනවා කියා සඳහන් වෙන්නේ ඇයි? ඊට හේතුව එහි මෙසේ විස්තර කර තිබෙනවා. “යෙහෝවා දෙවිගේ ක්‍රියා ඔවුහු ගණනකටවත් ගන්නේ නැත. ඒවා ගැන සොයා බලන්න ඔවුන්ට කිසිම වුවමනාවක් නැත.”—යෙසායා 5:11, 12.

“වයින්වලට ලොල් වූ අය සමඟ” එකතු නොවන්න කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 23:20) ඊට අමතරව වැඩිහිටි ස්ත්‍රීන්ටත් උපදෙස් දී තිබෙන්නේ “බොහෝ වයින් පානයට ඇබ්බැහි” නොවී සිටින්න කියායි. (තීතස් 2:3) බයිබලයේ එවැනි උපදෙස් දී තිබෙන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන් තමන්ටවත් නොදැනී ටිකෙන් ටික මත්පැන්වලට ඇබ්බැහි වීමට ඉඩ තිබෙන නිසයි. එසේ ඇබ්බැහි වූ කෙනෙකුට පසු දින මානසිකවත් ශාරීරිකවත් යම් අපහසුතා දැනෙන නිසා ඒ තත්වයෙන් මිදෙන්න ඔහු නැවතත් මත්පැන් සොයා යනවා. එවැනි අය ‘අවදි වන විට තව තවත් එය සොයා යනවා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 23:35.

අධික වයින් පානය කරන අය, ඝෝෂාකාරී උත්සවවලට හවුල් වන අය සහ තරඟයට මත්පැන් බොන අය දෙවිට ගණන් දිය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘස් 4:3, 5) එමෙන්ම විනාශය අබියස ජීවත් වන අපට යේසුස් මෙවැනි අනතුරු ඇඟවීමක් දුන්නා. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට [එනම් විනිශ්චය දවසට] මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි.”—ලූක් 21:34, 35.

පමණ ඉක්මවා මත්පැන් පානය කරන කෙනෙකුට ඉන් මිදිය හැකිද? ඔව්. එසේනම් ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

[පාදසටහන]

^ 2 ඡේ. මෙම ලිපියේ මත්පැන් කියා සඳහන් කරන විට එයට බියර්, වයින් සහ වෙනත් සැර බීම වර්ග අයත් වෙනවා.

[4, 5වන පිටුවේ පින්තූර]

අධික මත්පැන් පානය නිසා ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වෙයි