Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

වයින්වලට අමතරව අතීතයේදී භාවිත වූ වෙනත් මත්පැන් මොනවාද?

බයිබලයේ “වයින් සහ මත්පැන්” යන යෙදුම් දෙකම එකම අවස්ථාවේ සඳහන් කර තිබෙනවා. (ද්විතීය කතාව 14:26; ලූක් 1:15) නමුත් අතීතයේ භාවිත වූ මත්පැන් අද මෙන් තාක්ෂණික ක්‍රම යොදාගෙන නිෂ්පාදනය කළ ඒවා නොවේ. අද මත්පැන් නිපදවන්නේ ද්‍රව වාෂ්ප බවට පත් කර ඒ වාෂ්ප ඝනීභවනය කිරීමෙනුයි. එම ක්‍රියාවලිය හඳුන්වන්නේ ආසවනය ලෙසයි. අතීතයේදී මත්පැන් නිපදවීමට මිදි, රටඉඳි, අත්තික්කා, ඇපල් සහ දෙළුම් වැනි පලතුරු මෙන්ම මීපැණිද භාවිත කර තිබෙනවා.

මත්පැන් ගැන බයිබලයේ සඳහන් කරන විට එයින් බියර් පවා අදහස් විය හැකියි. ඇත්තෙන්ම “මත්පැන්” යන වචනය සඳහා යොදාගෙන තිබෙන හෙබ්‍රෙව් වචනය සෑදී තිබෙන්නේ එක් අක්කාඩියානු වචනයකිනුයි. එම වචනයෙන් යොමු දැක්වෙන්නේ මෙසපොතේමියාවේ බාර්ලිවලින් සෑදූ බියර්වලටයි. එම බියර්වල එතරම් මද්‍යසාර ප්‍රමාණයක් අඩංගු නොවුණත් යම් කෙනෙක් එය අධිකව පාවිච්චි කළා නම් ඔහු මත් වුණා. (හිතෝපදේශ 20:1) එමෙන්ම ඊජිප්තුවේ සොහොන් ගෙවල්වලින් සොයාගෙන තිබෙන පින්තූර සහ මැටි ආකෘතිවලින්ද පෙනී යන්නේ අතීතයේදී ඊජිප්තුවේ බියර් නිෂ්පාදනය කර ඇති බවයි. ඊට අමතරව එදා බැබිලෝනියේ රජ මාලිගාවලත් දිලිඳු නිවෙස්වලත් බියර් පානය කිරීම සාමාන්‍යය දෙයක් බවට පත් වී තිබුණා. පිලිස්තිවරුන්ද ඒ හා සමාන බීම වර්ගයක් භාවිත කර තිබෙනවා. උදාහරණයකට බාර්ලිවලින් සෑදූ බියර් පෙරාගැනීමට යොදාගත් මැටි භාජන පලස්තීනය අවට කළ කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. මෙම භාජන යොදාගෙන තිබෙන්නේ බාර්ලිවල ඇති රොඩු පෙරාගැනීම සඳහායි.

අතීතයේදී ඇතැම් කාලවල් මුහුදු ගමන් සඳහා සුදුසු නොවූයේ ඇයි?

අතීතයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ පාවුල් දිනක් නැවකින් ගමන් කරමින් සිටින විට සුළඟ ඔවුන්ට බාධාවක් වුණා. ඒ නිසා ඔවුන් එය මඟහැරීමට කුඩා ආසියානු මුහුදු තීරය දිගේ බස්නාහිර දෙසට ගොස් එක් වරායක නතර වුණා. ඉන් දින කිහිපයකට පසු ඔවුන් නැවතත් ගමන ඇරඹීමට ගිය අවස්ථාවේ “අනතුරුදායක තත්වයක් උද්ගත” වී තිබුණ අතර “සමඟි කිරීමේ දවස වෙනුවෙන් නිරාහාරව සිටීමේ කාල සීමාවත් අවසන්” වී තිබුණා. සමඟි කිරීමේ දවස වෙනුවෙන් නිරාහාරව සිටීම ඇරඹුණේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල දිනයකයි. මෙවැනි කාලයක “මේ ගමන ගියොත් නැවේ බඩුවලට විතරක් නොව අපේ ජීවිතවලටත් මහත් හානියක් සිදු වෙයි” කියා පාවුල් පැවසුවා.—ක්‍රියා 27:4-10.

සාමාන්‍යයෙන් මැයි 27 සිට සැප්තැම්බර් 14 දක්වා කාලය මුහුදු ගමන් සඳහා සුදුසු බව රෝම නාවිකයන් දැන සිටියා. නමුත් සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 11 අතර කාලය මුහුදු ගමන් සඳහා යෝග්‍ය වුණේ නැහැ. එමෙන්ම නොවැම්බර් 11 සිට මාර්තු 10 අතර කාලය මුහුදු ගමන්වලට කොහෙත්ම සුදුසු වුණේ නැහැ. ඊට හේතුව ඒ කාලයේදී අයහපත් කාලගුණයක් පැවතීමයි. ඒ කාලයේ මුහුදු ගමන්වල යෙදෙන අයට දරුණු චණ්ඩ මාරුතවලට මුහුණ දීමට සිදු වුණා. ඒ බව ඉහත සඳහන් පාවුල්ගේ සිදුවීමෙන්ද පැහැදිලි වෙනවා. (ක්‍රියා 27:13-44) එමෙන්ම ගන වලාකුළු නිසා දහවල් කාලයේදී ඉරවත් රාත්‍රියේදී තරුවත් දිස් නොවූ අතර වර්ෂාව සහ තද මීදුම නිසා මුහුදේ තිබූ අනතුරුදායක දේවල් පවා නාවිකයන්ට හඳුනාගැනීමට හැකි වුණේ නැහැ. මේ හේතු නිසා එවැනි කාලයක් මුහුදු ගමන් සඳහා කොහෙත්ම සුදුසු වුණේ නැහැ.

[23වන පිටුවේ පින්තූරය]

අතීතයේදී ඊජිප්තුවරුන් භාවිත කළ බියර් බෝතල්වල ලී ආකෘතියක්

[හිමිකම් විස්තර]

Erich Lessing/​Art Resource, NY

[23වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 100ත් 200ත් අතර කාලයට අයත් රෝම වෙළඳ නැවක්

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.