Skip to content

පටුනට යන්න

කඩිසර ලෙස වැඩ කළ ගෘහණියන්

කඩිසර ලෙස වැඩ කළ ගෘහණියන්

පළමු සියවසෙන් බිඳක්

කඩිසර ලෙස වැඩ කළ ගෘහණියන්

“[යේසුස්] ඔවුන් සමඟ එතැනින් පිටත් වී එක්තරා ගමකට ගියේය. එහිදී මාර්තා නම් එක්තරා ස්ත්‍රියක් ඔහුව ඇගේ නිවසට පිළිගත්තාය. මේ ස්ත්‍රියට මරියා නම් සහෝදරියක්ද සිටියාය. ඇය පුරුදු වී සිටියේ ස්වාමීන්ගේ පාමුල ඉඳගෙන ඔහු ඉගැන්වූ දේවලට සවන් දීමටය. මේ අතර මාර්තා ගෙදරදොරේ බොහෝ වැඩකටයුතුවල නිරත වී සිටියාය. ඇගේ අවධානය යොමු වී තිබුණේ ඒ දේවලට පමණි. එහෙයින් ඇය යේසුස් ළඟට ඇවිත්, ‘ස්වාමීනි, බලන්නකෝ මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදු වෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න’ කියා කීවාය. එවිට යේසුස් ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. ‘මාර්තා, මාර්තා, ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ? බොහෝ දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.’”—ලූක් 10:38-42.

ඉහත සිදුවීමෙහි සඳහන් වන මාර්තා, ගෙදරදොරේ වැඩකටයුතු කඩිසර ලෙස කළ කාන්තාවක්. ඒ නිසා බොහෝ අය ඇයව අගය කරන්න ඇති. සාමාන්‍යයෙන් එවකට පැවති යුදෙව් සමාජය තුළ දක්ෂ කාන්තාවක් ලෙස ගණන්ගැනුණේ කඩිසර ලෙස වැඩ කරමින් පවුල බලාගත් කාන්තාවන්වයි.

‘ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කරන්න’ කියා බයිබලයේ කාන්තාවන්ට උපදෙස් දී තිබෙනවා. (තීතස් 2:5) කඩිසර ලෙස නිවසේ වැඩකටයුතු කරන අතර දෙවි ගැන අන් අයට කියා දීමේ වගකීමත් පළමු සියවසේ සිටි කාන්තාවකට තිබුණා. (මතෙව් 28:19, 20; ක්‍රියා 2:18) එවකට ජීවත් වූ කාන්තාවකට කිරීමට තිබූ වැඩ කොටස කුමක්ද? එමෙන්ම මරියා ගැන යේසුස් පැවසූ දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

ගෙදරදොරේ බොහෝ වැඩකටයුතු යුදෙව් ගෘහණියකගේ වැඩකටයුතු ආරම්භ වෙන්නේ හිමිදිරි උදෑසනින්මයි. (හිතෝපදේශ 31:15) උදේ ආහාර වේල පිළියෙල කළ පසු පිරිමි දරුවන්ව පාසැල වෙත ගෙන යෑමේ වගකීම තිබෙන්න ඇත්තේත් ඇයටයි. එමෙන්ම නිවසේ නතර වී සිටින ගැහැනු දරුවන්ට ගෙදරදොරේ වැඩකටයුතු පුහුණු කිරීමත් ඔවුන්ට පැවරුණු තවත් කාර්යයක් වුණා. එමගින් ගැහැනු දරුවන්ට ලැබුණේ මතු දිනක දක්ෂ බිරිඳක් වීමට අවශ්‍ය පුහුණුවයි.

දවස ආරම්භයේදීම මවටත් දියණියන්ටත් කිරීමට වැඩ රාජකාරි බොහොමයක් තිබෙනවා. (1) ලාම්පුවලට අවශ්‍ය තෙල් පිරවීම, (2) නිවස අතුගෑම සහ (3) එළුදෙනුන්ගෙන් කිරි දොවාගැනීම ඊට ඇතුළත්. එමෙන්ම දවසටම සරිලන ආහාර පිළියෙල කරගැනීම සඳහාත් ඔවුන්ට විශාල වෙහෙසක් දරන්න සිදු වුණා. (4) ඒ සඳහා මුලින්ම ධාන්‍ය පොළා රොඩු ඉවත් කරගත්තා. (5) ඉන්පසු එම ධාන්‍ය ඇඹරුම් ගලක දමා අඹරාගන්නවා. බොහෝවිට ඒ සියල්ල කරන්න ඇත්තේ දියණියන් විසිනුයි. (6) මෙසේ අඹරාගත් පිටිවලින් රොටි සාදාගැනීම සඳහා මුහුන් සහ ජලය දමා එය හොඳින් අනාගැනීම මවගේ වගකීමයි. මෙසේ අනාගත් පිටි පිපෙන්න හැර ඔවුන් වෙනත් කාර්යයන්වල නිරත වෙනවා. (7) මේ අතර කාලයේදී දොවාගත් කිරිවලින් චීස් හෝ මුදවාගත් කිරි සාදාගැනීම දියණියන් කරන්න ඇති.

එම වැඩ කොටසින් පසු මවට පැවරෙන තවත් කාර්යයක් වන්නේ එදාට අවශ්‍ය ආහාර මිල දී ගැනීමයි. (8) ඒ සඳහා මව සහ දියණියන් වෙළෙඳපොළට යනවා. වෙළෙඳපොළ අවටින් කුළු බඩුවල සුවඳ හමන්න ඇති. එමෙන්ම වෙළෙඳපොළේ සිටි විවිධ සතුන්ගේ සහ කෑගසන වෙළෙඳුන්ගේ ඝෝෂාකාරී හඬ ඒ අවට නිහැඬියාව බිඳින්න ඇති. ගෘහණියක් ගොස් මිල දී ගන්නා ආහාර අතර අලුත් එළවළු, කරවල වැනි දේවල් තිබුණා විය හැකියි. ඒ අතරවාරයේදී වෙළෙඳපොළේදී හමු වෙන අයට දෙවි ගැන කියා දෙන්නත් ඔවුන් අවස්ථාව උදා කරගත් බවට සැකයක් නැහැ.—ක්‍රියා 17:17.

ක්‍රිස්තියානි මවක් වෙළෙඳපොළට යන එන අවස්ථාවලදී දෙවිගේ ප්‍රමිතිවල වටිනාකම ගැන දරුවන්ට කියා දෙන්න ඇති. (ද්විතීය කතාව 6:6, 7) ඊට අමතරව බඩු මිල දී ගැනීමේදී සුපරික්ෂාකාරී වන්නේ කෙසේද කියා මවක් තම දියණියන්ට කියා දෙන්න ඇත්තේ එවැනි අවස්ථාවලදී විය හැකියි.—හිතෝපදේශ 31:14, 18.

වෙළෙඳපොළට ගොස් පැමිණි පසු ඔවුන්ට කිරීමට තවත් කාර්යයක් තිබෙනවා. (9) එය නම් ළිඳට ගොස් වතුර ගෙන ඒමයි. එවැනි අවස්ථාවලදී ඔවුන් ළිඳට ඇවිත් සිටි අනික් කාන්තාවන් සමඟ සුහද කතාබහකද යෙදෙන්න ඇති. (10) වතුර පුරවාගෙන නිවසට ගිය පසු උදෙන්ම අනාගත් පිටිවලින් රොටි පුලුස්සාගන්නවා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ එළිමහන් ස්ථානයක්. රොටි පිලිස්සෙන අතරතුර මව සහ දියණිය කතා කරමින් සිටින්න ඇති.

ඉන්පසු ඔවුන්ට කිරීමට තිබෙන්නේ රෙදිපිළි සෝදාගැනීමයි. (11) ඒ සඳහා ඔවුන් යන්න ඇත්තේ අසල පිහිටි ගඟකටයි. සෝදාගත් රෙදි අවට තිබූ ගල් හෝ පඳුරු මත දමා වියළාගන්න ඇති.

ඉන්පසු වියළාගත් රෙදි නිවසට ගෙන එනවා. (12) ඒවා නවා අදාළ ස්ථානයට දැමීමට පෙර ඉරී ඇති තැන් මසන්න ඔවුන් අමතක කළේ නැහැ. බොහෝවිට එසේ රෙදි මසාගැනීම සඳහා ඔවුන් නිවසේ පැතලි වහලට යන්න ඇති. (13) ඉන් අනතුරුව මවක් තම කාලයෙන් කොටසක් වැය කරන්න ඇත්තේ තම දියණියන්ට මැහුම් ගෙතුම් ගැන කියා දීමට විය හැකියි. (14) දිවා කාලය ගෙවුණු පසු ඔවුන් රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට පටන්ගන්නවා. සාමාන්‍යයෙන් යුදෙව්වන් ආගන්තුක සත්කාරයට ළැදියි. ඒ නිසා රාත්‍රී ආහාරයට අමුත්තන් හවුල් වුණා නම් ඔවුන් වෙනුවෙන් පිළියෙල කළ ආහාර අතර රොටි, එළවළු, චීස්, කරවල තිබෙන්න ඇති.

රාත්‍රී ආහාර වේලෙන් පසු දරුවන් නින්දට යන්න සූදානම් වෙනවා. දඟකාර දරුවන් දවස පුරා දුවපැන නටමින් තුවාල කරගෙන සිටියා නම් රාත්‍රී කාලයේදී ඒවාට තෙල් ගෑම සාමාන්‍ය දෙයක් වුණා. ලාම්පු එළියෙන් නිවස ආලෝකවත් වී තිබෙන නිස්කලංක රාත්‍රියේ දෙමව්පියන් දරු පැටවුන්ට බයිබලයේ සඳහන් කතන්දරයක් කියා දී යාච්ඤාවක් කරන්න ඇති. වෙහෙසකර දවසක් අවසානයේ සියලුදෙනාම නින්දට යන විට ගුණවත් බිරිඳක් ගැන බයිබලයේ සඳහන් මේ වදන් ස්වාමිපුරුෂයාට මතක් වූ බවට සැකයක් නැහැ. “ගුණවත් බිරිඳක් සොයාගත හැක්කේ කාටද? ඇය අනර්ඝ මැණික්වලටත් වඩා අගනේය.”—හිතෝපදේශ 31:10.

‘හොඳම දෙය තෝරාගැනීම’ පළමු සියවසේ සිටි දක්ෂ ගෘහණියකට “ගෙදරදොරේ බොහෝ වැඩකටයුතු” තිබුණු බව පැහැදිලියි. (ලූක් 10:40) ඒ හා සමානව අද දින සිටින ගෘහණියන්ටත් බොහෝ වැඩකටයුතු කිරීමට තිබෙනවා. තාක්ෂණය දියුණු නිසා ඇතැම් වැඩකටයුතු කිරීම පහසු වුණත් විවිධ තත්වයන් නිසා අමතර රැකියාවක් කිරීමටත් සිදු වී තිබෙනවා.

අද සිටින ක්‍රිස්තියානි කාන්තාවන්ට බොහෝ අභියෝග තිබුණත් ඔවුන් කටයුතු කරන්නේ මේ ලිපියේ මුලින් සඳහන් කළ මරියා හා සමානවයි. ඔවුන්ද දෙවිට කරන නමස්කාරයට ජීවිතයේ මුල් තැන දෙනවා. (මතෙව් 5:3) එමෙන්ම පවුල බලාගන්නා අතරවාරයේ ඔවුන් බයිබලයේ සඳහන් උපදෙස්වලටත් අවනත වෙනවා. (හිතෝපදේශ 31:11-31) එමෙන්ම යේසුස් මරියාගේ සහෝදරිය වූ මාර්තාට දුන් උපදෙසත් ඔවුන් ක්‍රියාත්මක කරනවා. මාර්තා යේසුස් පැවසූ දෙය සිතට ගෙන ඊට එකඟව වැඩ කළා. (15) වැඩ රාජකාරි බහුල වුණත් එදා සිටි කාන්තාවන් මෙන් අද සිටින ක්‍රිස්තියානි කාන්තාවන්ද දෙවි ගැන තව තවත් ඉගෙනගැනීමට කාලය වැය කරනවා. (හෙබ්‍රෙව් 10:24, 25) එමෙන්ම දෙවි ගැන අන් අයට කියා දීමද ඔවුන් අතපසු කරන්නේ නැහැ. (මතෙව් 24:14) මරියා මෙන් ඔවුන් “වඩාත් හොඳ දෙය” තෝරාගෙන තිබෙනවා. (ලූක් 10:42) එවැනි කාන්තාවන් යෙහෝවා දෙවිගේත් යේසුස්ගේත් තම පවුලේ අයගේත් ආදරය දිනාගැනීම පුදුමයක් නොවෙයි.—හිතෝපදේශ 18:22.