Skip to content

පටුනට යන්න

“පොළොවේ දුර ඈත කෙළවර” දක්වා යවනු ලබන දේවසේවකයන්

“පොළොවේ දුර ඈත කෙළවර” දක්වා යවනු ලබන දේවසේවකයන්

127වන ගිලියද් පාසැල

“පොළොවේ දුර ඈත කෙළවර” දක්වා යවනු ලබන දේවසේවකයන්

“පොළොවේ දුර ඈත කෙළවර” දක්වා මා ගැන සාක්ෂි දරන්න කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට ආඥා කළා. (ක්‍රියා 1:8) යේසුස් දුන් එම ආඥාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ආකාරයෙන්ම පිළිපදිනවා.

ගෙවුණු වසර 65 තුළ ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලැබූ දේවසේවකයන් රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයක ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දැඩි වෙහෙසක් දරා තිබෙනවා. වර්ෂ 2009 සැප්තැම්බර් 12වන දිනද අද්දැකීම් ලත් දේවසේවකයන් 56දෙනෙකු ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පුහුණුව නිම කර තම පැවරුම් ලබාගත්තා. මෙම පාසැල පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ පැටසන්වලයි. එම දේවසේවකයන් මාස පහක කාලයක් පුරා එම පාසැලෙන් පුහුණුව ලබා තිබුණා.

කල්පනා ශක්තිය හොඳින් භාවිත කරන්න

දේවසේවකයන්ට පැවරුම් ලබා දුන් දවසේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ස්ටීවන් ලෙට් කතාවක් ඉදිරිපත් කළා. එහි මාතෘකාව වූයේ “කල්පනා ශක්තිය හොඳින් භාවිත කරන්න” යන්නයි. ඔහු මුලින්ම දේවසේවකයන් කල්පනා නොකළ යුතු කාරණා හතරක් සඳහන් කළා. ඒවා නම් (1) අපට ස්ථිරසාර ආරක්ෂාවක් සැපයීමට ධනයට හැකියි කියා කල්පනා කරන්න එපා. (2) අනාචාරයට සම්බන්ධ දේවල් කල්පනා කරන්න එපා. (3) හෙට දවස ගැන සිතමින් ළත වෙන්න එපා. (හිතෝපදේශ 18:11; මතෙව් 5:28; 6:34) එම කරුණ ගැන ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න ගැන සිතමින් ළත වන කෙනෙක් ඊයේ දවසේ ප්‍රශ්න ගැනත් හෙට දවසේ ප්‍රශ්න ගැනත් සිතමින් අද දවසේ ළත වෙනවා. “ඒ නිසා එවැනි කෙනෙක් මානසිකව ලොකු පීඩනයක් අද්දකිනවා.” (4) දේවසේවකයන් වීමට පෙර අපි හොඳ ජීවිතයක් ගත කළා කියා සිතන්න එපා. එසේ කළොත් අලුත් රටකට ගොස් කරන සේවයේ ප්‍රීතිය ඔබට අහිමි වෙයි කියා ඔහු තවදුරටත් පැවසුවා.

ඉන්පසු කල්පනා ශක්තිය භාවිත කළ හැකි හොඳ ආකාර හතරක් ගැනත් ඔහු සඳහන් කළා. (1) දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හා අපගේ සෞඛ්‍යයට හානි ගෙනෙන දේවල් මොනවාද කියා කල්පනා කර ඒවායින් වළකින්න. (2) බයිබලය කියවන විට එහි සඳහන් දේවල් සිතින් මවාගැනීමට උත්සාහ කරන්න. (3) දේවසේවයේදී මුණගැසෙන සෑම කෙනෙකුටම දෙවිගේ සේවකයෙක් වීමට හැකියාව තිබෙනවා කියා සිතන්න. (4) අන් අයට දේශනා කරන විට ඔබත් ඔවුන්ගේම තත්වයේ සිටියා නම් කුමක් වෙයිද කියා සිතමින් ඔවුන්ව තේරුම්ගැනීමට උත්සාහ කරන්න.—හිතෝපදේශ 22:3.

අන් අයව පුහුණු කිරීමේ වටිනාකම

පාලක මණ්ඩලයේ සේවය කරන ඩේවිඩ් ස්ප්ලේන් “අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න” යන මාතෘකාවෙන් යුත් කතාවක් ඉදිරිපත් කළා. එය පදනම් වී තිබුණේ බයිබලයේ 2 තිමෝති 2:2හි සඳහන් අදහස් මතයි. විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න කියා එම බයිබල් පදයේ දී ඇති උපදෙසෙන් අදහස් වෙන්නේ බයිබලයේ සඳහන් සත්‍යය කියා දීම පමණක් නොවෙයි. අන් අයව පුහුණු කළ හැකි තත්වයකට පුරුෂයන්ව ගෙන ඒමත් ඊට ඇතුළත් වෙනවා. ඩේවිඩ් ස්ප්ලේන් තම කතාවේදී දේශනා සේවයේ සහ සභාවේ වැඩකටයුතුවලදී මූලිකත්වය ගැනීමට පුරුෂයන්ගේ අවශ්‍යතාවක් තිබෙන බවද සඳහන් කළා. පුරුෂයන්ව ඒ සඳහා පුහුණු කිරීම ඇරඹෙන්නේ කුමන අවස්ථාවේදීද? ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගන්නා අවස්ථාවේ සිට ඔවුන්ව පුහුණු කරන්න කියා ඔහු පැවසුවා.

බයිබලය අලුතින් පාඩම් කිරීමට පටන්ගෙන ඇති අයව පුහුණු කිරීම සඳහා දේවසේවකයන්ට කළ හැක්කේ කුමක්ද? ඩේවිඩ් ස්ප්ලේන් එය කළ හැකි ආකාර කිහිපයක් සඳහන් කළා. මුලින්ම, අලුතින් බයිබලය පාඩම් කිරීමට පටන්ගන්නා අයව පාඩමට හොඳින් සූදානම් වීමට පුහුණු කළ යුතුයි. ඔවුන් ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට පටන්ගත් විට රැස්වීමේදී සාකච්ඡා කරන ප්‍රකාශනද කියවා හොඳින් සූදානම් වීම වැදගත්. “කෙනෙක් පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කරන්නේ නැත්නම් අන් අයට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ” කියාද ඔහු සඳහන් කළා. එමෙන්ම කලට වේලාවට වැඩ කරන්නේ කෙසේද කියා ඉගැන්වීම, දේශනා සේවයට මූල්‍යමය අතින් සහයෝගය දීම සහ වගකීම් දරන සහෝදරයන්ට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන්ද ඔවුන්ට පුහුණුවක් දීම වැදගත් බව ඔහු පැවසුවා. ඊට හොඳ ආදර්ශයක් තැබීම අවශ්‍ය බවද ඩේවිඩ් ස්ප්ලේන් සඳහන් කළා.

යෙහෝවා දෙවි ගැන සාක්ෂි දැරීමේ වරප්‍රසාදය

පාලක මණ්ඩලයේ සේවය කරන ගයි පියර්ස් ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව වූයේ ‘ඔබ මා ගැන සාක්ෂි දරයි’ යන්නයි. එය පදනම් වී තිබුණේ බයිබලයේ ක්‍රියා 1:8හි සඳහන් වදන්වලිනුයි. අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ගැන සාක්ෂි දැරීමේ වරප්‍රසාදය ලැබී තිබුණත් ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී ඔවුන්ට එය අහිමි වුණා. ඉන්පසු එම වරප්‍රසාදය ලැබුණේ පල උපදවන අලුත් ජාතියකටයි. (මතෙව් 21:43) ඒ පල උපදවන අලුත් ජාතිය වූයේ අභිෂේක ලත් ක්‍රිස්තියානීනුයි. ඔවුන් “ශුද්ධ ජාතියක්” බවත් යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ ‘සෑම තැනකම ප්‍රකාශ කරන’ බවත් ගයි පියර්ස් සඳහන් කළා. (1 පේතෘස් 2:6-9) ඔබ මා ගැන සාක්ෂි දරයි කියා යේසුස් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිව අමතක කරමින් තමන් ගැන පමණක් සාක්ෂි දරන බව නොවෙයි. ඊට හේතුව යේසුස් පවා යෙහෝවා දෙවිගේ ‘විශ්වාසවන්ත සාක්ෂිකරුවෙකු’ වීමයි. (එළිදරව් 1:5; 3:14) ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවා වන්නේ යේසුස්. එමෙන්ම අප අනුකරණය කළ යුතු ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවාද ඔහුයි.—1 පේතෘස් 2:21.

බයිබලයේ ක්‍රියා 1:8හි සඳහන් වදන්වලට මේ කාලයේදීද විශේෂ අර්ථයක් තිබෙන බව ගයි පියර්ස් තවදුරටත් සඳහන් කළා. ඒ ඇයි? ඊට හේතුව බයිබලයේ එළිදරව් 11:15හි සඳහන් ලෙස යේසුස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දේවරාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා තිබීමයි. එමෙන්ම සාක්ෂි දැරීමේ කාර්යය “පොළොවේ දුර ඈත කෙළවර” දක්වාම සිදු වෙනවා. (ක්‍රියා 1:8) දේවසේවකයන් සාක්ෂි දරන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ රාජ්‍යය පිළිබඳවයි. එම දේවසේවකයන් තමන් ගැනවත් තමන්ගේ රට හෝ සංස්කෘතිය ගැනවත් සාක්ෂි දරන්නේ නැහැ කියා ගයි පියර්ස් ප්‍රකාශ කළා. “ඉතිරි වී තිබෙන කෙටි කාලය තුළ හැකි තරම් දෙනෙකුට උගන්වන්න” කියා ඔහු තවදුරටත් දේවසේවකයන්ට මතක් කළා.

වැඩසටහනේ වෙනත් අංග

ඇලෙක්ස් රෙයින්මුවෙල ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව වූයේ “යෙහෝවා දෙවි ඔබට ශක්තිය දෙයි” යන්නයි. දේවසේවකයන් යෙහෝවා දෙවිගෙන් ශක්තිය ඉල්ලනවා නම් තමන්ගේ හැකියාවන් හඳුනාගෙන අඩුපාඩු හදාගැනීමටත් අභියෝගවලට හොඳින් මුහුණ දී යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කිරීමටත් හැකි වන බව ඔහු පැවසුවා.

සෑම් රොබර්සන් සහ විලියම් සැමුවෙල්සන් යන දෙදෙනාද දේවසේවකයන්ට උපදෙස් හා වටිනා මඟ පෙන්වීම් ලබා දුන්නා. සෑම් රොබර්සන් ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව වූයේ “මම ඔබ සමඟ සිටින්නෙමි” යන්නයි. එය පදනම් වී තිබුණේ යෙසායා 41:10හි සඳහන් වදන් මතයි. දේවසේවකයන්ට සතුටු වීමට බොහෝ හේතු තිබෙන බවත් ඒ අතරම අභියෝගවලට මුහුණ දීමට සිදු වන බවත් ඔහු මතක් කළා. ඒ වුණත් අතීතයේ සිටි දාවිත් මෙන් සෑම අභියෝගයකදීම යෙහෝවා දෙවිට යාච්ඤා කළොත් ඒවාට හොඳින් මුහුණ දීමට හැකි වන බවද ඔහු පැවසුවා. (ගීතාවලිය 34:4, 6, 17, 19) විලියම් සැමුවෙල්සන් ඔහුගේ කතාවෙන් උනන්දු කළේ සිතීමේ හැකියාව දියුණු කරගැනීමේ අවශ්‍යතාව ගැනයි. එම හැකියාව දියුණු කරගෙන තිබෙන දේවසේවකයන් අන් අයගේ අසාධාරණකම් ඉවසන අතර එකට එක කිරීමෙන් වළකින බවත් ඔහු සඳහන් කළා.—හිතෝපදේශ 2:10, 11.

ජිම් මාන්ට්ස් අද්දැකීම් ලත් සහෝදරයන් තුන්දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. ඉන් දෙදෙනෙක් ජෝජියාවේ සහ හොන්ඩ්‍යුරාස්වල ශාඛා කමිටු සාමාජිකයනුයි. අනික් සහෝදරයා ටජිකිස්තානයේ වැඩකටයුතු අධීක්ෂණය කරන කමිටුවේ සාමාජිකයෙක්. මේ අද්දැකීම් ලත් සහෝදරයන් ‘යහපතින් නපුර පරාජය කර’ විරුද්ධවාදීන් ලෙස කටයුතු කරන අයවත් මිතුරන් කරගැනීම ගැන යම් අදහස් ඉදිරිපත් කළා. (රෝම 12:21) මාක් නූමැර් මෙහෙයවූ කොටසේ මාතෘකාව වූයේ “අන් අයට උපකාර කළ හැකි ආකාරය” යන්නයි. එම කොටසේදී මාස පහක් පුරා දේවසේවකයන් පුහුණුව ලැබූ කාලයේදී දේවසේවයේ ගොස් ලැබූ අද්දැකීම් ගැන පැවසුවා.

වැඩසටහන අවසානයේදී අලුතින් කරන ලද “ඔබත් සිටීවිද සියල්ල අලුත් කරන විට” නමැති ගීතිකාවේ වදන් පිළිබඳව සඳහන් කළා. දේවසේවකයන්ට පැවරුම් ලැබෙන අවස්ථාව දැක බලා ගැනීමට පැමිණ සිටි 6,509දෙනාම නිවෙස් බලා ගියේ “පොළොවේ දුර ඈත කෙළවර” දක්වාම යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් සාක්ෂි දැරීමේ අධිෂ්ඨානය ඇතුවයි.

[31වන පිටුවේ වගුව⁄සිතියම]

සහභාගි වූවන්ගේ විස්තර

8 නියෝජනය කළ රටවල් සංඛ්‍යාව

56 ශිෂ්‍යයන් සංඛ්‍යාව

28 විවාහ යුවළයන් සංඛ්‍යාව

33.6 වයසේ සාමාන්‍යය

18.3 සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය

13.6 පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය

[සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රටවල් 22ක සේවය කිරීමට පැවරුම් ලැබූ දේවසේවකයන්ගේ විස්තර

පැවරුම් ලැබූ රටවල්

ඇල්බේනියාව

බොලිවියාව

බුරුන්ඩි

කාම්බෝජය

චිලී

කොංගෝව, ඩොමිනිකන් සමූහාණ්ඩුව

කොස්ටාරිකා

අයිවරි කොස්ට්

කුරාකාඕ

ගයනාව

හයිටි

ජැමෙයිකාව

මෝල්දාවියාව

මොසැම්බික්

නේපාලය

නිකරගුවාව

පැනමා

පැරගුවේ

පේරූ

සර්බියාව

ටැන්සානියාව

උගන්ඩාව

[31වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 127වන පන්තිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) මාෂල්, ටී.; පෲඩන්ට්, එල්.; මැෂ්බන්, ඒ.; රොසෙන්ස්ට්‍රෝම්, එස්.; ටෙස්ටා, ඒ.; ටාකෙයාමා, එම්.; සිස්ක්, එම්.

(2) ගෲම්ස්, කේ.; මියූර, එස්.; කාමාචෝ, එම්.; රෝසාස්, එස්.; බර්ක්, එම්.; මේසා, අයි.; යොං, ජී.; ගෙරට්, එස්.

(3) බෝනියා, සී.; ක්නාලර්, ඩී.; පාර්රාලෙස්, ආර්.; හෝටේ, එස්.; ටාකාඩැ, ඒ.; ටූනාඩ්, එම්.; සෝපෙල්, සී.

(4) මියුර, වයි.; පැරලස්, කේ.; පෲඩන්ට්, කේ.; කෝල්බර්න්, එස්.; විලස්, එල්.; වැරනෙන්, ඒ.; සිස්ක්, බී.; ටාකාඩැ, ආර්.

(5) ගෲම්ස්, ජේ.; වැරනෙන්, එම්.; ගෙරට්, බී.; ස්ටැක්හව්ස්, ආර්.; විල්සන්, ඒ.; බෝනෙල්, ඊ.; කාමාචෝ, ඩී.; මෙසා, ආර්.; බෝනෙල්, එම්.

(6) ටාකෙයාමා, එස්.; ටෙස්ටා, ජී.; කෝල්බර්න්, ටී.; මැෂ්බන්, සී.; විලස්, ඩබ්ලිව්.; ටූනාඩ්, එල්.; බර්ක්, ජේ.; ස්ටැක්හව්ස්, ජේ.

(7) විල්සන්, ජේ.; යොං, ජේ.; මාෂල්, ඊ.; රෝසාස්, එම්.; ක්නාලර්, ජේ.; හෝටේ, එන්.; රොසෙන්ස්ට්‍රෝම්, ඒ.; සෝපෙල්, ජේ.; බෝනියා, ඕ.