Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

යෙහෝවා දෙවිගේ සිත සතුටු කළ රෙබෙකා

යෙහෝවා දෙවිගේ සිත සතුටු කළ රෙබෙකා

ඔයා රෙබෙකා ගැන අහලා තියෙනවාද?— * රෙබෙකා කියන්නේ බයිබලයේ සඳහන් වෙන වැදගත් චරිතයක්. ඒ නිසා අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි දැන් බලමු.

දෙවිට විශ්වාසවන්තව සිටි ස්ත්‍රීන්ගේ නම් අතරින් බයිබලයේ දෙවෙනියට සඳහන් වෙන්නේ රෙබෙකාගේ නමයි. ඒ අතරින් පළමුවෙනියට සඳහන් වෙන්නේ කාගේ නමද කියලා ඔයා දන්නවාද?— ඒ ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරාගේ නම. සාරාට ඊසාක්ව ලැබුණේ එයා මහලු වයසේ ඉන්නකොටයි. ඊසාක්ගේ බිරිඳගේ නම රෙබෙකා. මේ දෙන්නා මුණගැහුණේ කොහොමද කියලත් රෙබෙකා යෙහෝවා දෙවිගේ සිත සතුටු කළේ කොහොමද කියලත් දැන් අපි බලමු.

ඒ වෙන කොට යෙහෝවා දෙවි හාරාන්වල සිටි ආබ්‍රහම්වයි සාරාවයි කානාන් දේශයට යවලා අවුරුදු 60කටත් වඩා ගත වෙලා තිබුණා. ඒ කාලයේදී තමයි ඒ දෙන්නට පුතෙක්ව දෙනවා කියලා දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණේ. එතකොට ඒ දෙන්නා හුඟක් වයසයි. ඒ පුතාට ඊසාක් කියලා නම දාන්න කිව්වෙත් දෙවිමයි. මහලු වයසේදී ලැබුණ ඒ පුතාට ආබ්‍රහම් සහ සාරා කොච්චර ආදරේ කරන්න ඇතිද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? කොහොමවුණත් අවුරුදු 127දී සාරා මිය ගියා. ඒ ගැන ඊසාක් හුඟක් දුක් වුණා. ඒ වෙන කොට ඊසාක් වැඩිහිටියෙක්. එයාලා ජීවත් වුණේ කානාන් දේශයේ නිසා කානාන් ජාතික තරුණියක් එක්ක ඊසාක් විවාහ වෙනවාට ආබ්‍රහම් කැමති වුණේ නැහැ. ඒකට හේතුව කානාන් ජාතිකයන් යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැති නිසයි. ඒ නිසා හාරාන් දේශයට ගිහින් ආබ්‍රහම්ගේ නෑදෑයන් අතරින් කෙනෙක්ව ඊසාක්ට බිරිඳක් හැටියට තෝරාගෙන එන්න කියලා ආබ්‍රහම් එයාගේ සේවකයා වූ එලියේසර්ට කිව්වා. මේ ගමන කිලෝමීටර් 800කටත් වඩා දුරයි.—උත්පත්ති 12:4, 5; 15:2; 17:17, 19; 23:1.

ඊටපස්සේ එලියේසර් තෑගිබෝග හුඟක් අරගෙන ඔටුවන් දසදෙනෙකුයි තවත් සේවකයන් කිහිපදෙනෙකුයි එක්ක හාරාන් දේශයට ගියා. එහේ තිබුණ ළිඳක් ළඟින් එලියේසර් නතර වුණා. ඒ වෙලාවට වතුර ගෙනියන්න සෙනඟ එතැනට එනවා කියලා එයා දැනගෙන හිටියා. ඒ නිසා එතැන ඉඳන් ඊසාක්ට ගැළපෙන තරුණියක් හොයාගන්න උදව් කරන්න කියලා එයා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එයා කිව්වේ මම ස්ත්‍රියකගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලුවාම “බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර ඇද දෙන්නම්” කියා පවසන තරුණිය ඊසාක්ගේ බිරිඳ හැටියට තෝරාගන්නම් කියලයි.

ඒ විදිහටම දේවල් සිදු වුණාද? ඔව්. ඒ වෙලාවේ “ඉතා රූමත් තරුණියක්” වුණ රෙබෙකා එතැනට ආවා. එලියේසර් එයාගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලුවාම රෙබෙකා මෙහෙම කිව්වා. “ඔබේ ඔටුවන්ටත් ඇති වන තුරු බොන්න මම වතුර ඇද දෙන්නම්.” ඔටුවන් හුඟක් වතුර බොන නිසා පිපාසයෙන් සිටි ඒ ඔටුවන්ට දෙන්න වතුර ලීටර් 1,000ක් විතර රෙබෙකාට අදින්න සිදු වුණා. රෙබෙකා කඩිසරව ළිඳෙන් වතුර ඇදලා ඔටුවන්ට දෙනකොට එලියේසර් ඒ දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න ඇති.

ඊටපස්සේ එලියේසර් එයා ගෙනාව වටිනා තෑගිබෝග රෙබෙකාට දුන්නා. ටික වෙලාවක් යනකොට එලියේසර් දැනගත්තා රෙබෙකා බෙතුයෙල්ගේ දුව කියලා. බෙතුයෙල් ආබ්‍රහම්ගේ නෑදෑයෙක්. රෙබෙකා ඒ අයට කිව්වා ඒගොල්ලන්ගේ ගෙදර රෑට නතර වෙන්න කියලා. ඒත් එක්කම එයා දුවගෙන ගිහින් මේ අමුත්තන් ගැන ගෙදර අයටත් කිව්වා.

එලියේසර් කවුද කියලා දැනගත්තාම රෙබෙකාගේ අයියා, ඒ කියන්නේ ලාබන් ඒ අයව නිවසට ආරාධනා කළා. ඒ වගේම එලියේසර් තමන්ගේ නංගිට දුන්න වටිනා තෑගිත් එයා දැක්කා. ඊටපස්සේ මේ අමුත්තන්ට කෑම දුන්නම එලියේසර් කිව්වා කෑම කන්න කලින් මම ආව හේතුව ඕගොල්ලන්ට කියන්නම් කියලා. ඊළඟට එයා ඒක පැහැදිලි කළා. ඒ යෝජනාවට රෙබෙකාගේ පවුලේ හැමෝමත් කැමති වුණා.

කෑම කෑවට පස්සේ එලියේසර් සහ එයා එක්ක පැමිණි සේවකයන් එදා රෑ රෙබෙකාගේ ගෙදර නතර වුණා. පහුවෙනිදා උදෙන්ම “මගේ ස්වාමියා වෙතට යන්න මට අවසර දෙන්න” කියලා එලියේසර් රෙබෙකාගේ පවුලේ අයට කිව්වා. ඒ වුණාට රෙබෙකාගේ අම්මයි අයියයි කිව්වේ රෙබෙකාට අපිත් එක්ක “තව දවස් දහයක්වත් ඉන්න දෙන්න” කියලයි. ඒත් මේ අමුත්තන් එක්ක යන්න කැමතිද කියලා රෙබෙකාගෙන් ඇහුවම එයා කිව්වා “මම කැමතියි” කියලා. ඊටපස්සේ එයා එලියේසර් එක්ක කානාන් දේශයට ගිහින් ඊසාක් එක්ක විවාහ වුණා.—උත්පත්ති 24:1-58, 67.

රෙබෙකාට එයාගේ පවුලේ අයවයි මිතුරන්වයි දාලා යන එක පහසු වෙන්න ඇති කියලා ඔයා හිතනවාද?— එයාට ඒක හුඟක් අමාරු වෙන්න ඇති. මොකද එයා යන්නේ හුඟක් දුර ප්‍රදේශයකට නිසා එයාගේ පවුලේ අයවයි මිතුරන්වයි නැවත දකින්න පුළුවන් වෙයිද කියලාවත් එයා දන්නේ නැහැ. කොහොමවුණත් රෙබෙකා ඊසාක් එක්ක විවාහ වෙන්න කැමති වුණ එකෙන් පැහැදිලි වෙන්නේ එයා යෙහෝවා දෙවි කැමති දේ කළ බවයි. ඒ නිසා දෙවි එයාට හුඟක් ආශීර්වාද කළා. ඒ වගේම ගැලවුම්කරු වුණ යේසුස්ගේ මුතුන්මිත්තනියක් වීමේ වරප්‍රසාදයත් එයාට ලැබුණා. ඒ නිසා අපිත් රෙබෙකා වගේ දෙවි සතුටු වන දේවල් කළොත් දෙවි අපිටත් ආශීර්වාද කරන බවට කිසිම සැකයක් නැහැ.—රෝම 9:7-10.

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.